ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මුතු රාජා' ශ්‍රී ලංකාවට යළි ත් නොලැබෙන ලකුණු
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය බලා සාර්ථකව රැගෙන ගිය මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් යහපත් අතට හැරුණු පසු මෙම හස්තියා සිය නියම හිමිකරු වන අලුත්ගම කන්දේ විහාරය වෙත නැවත ලබා දෙන්නේ දැයි තායි වැසියෝ විමසා සිටිති.
බීබීසී සිංහල සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කන්දේ විහාරයේ විහාරාධිපති හිමියින් පසුගියදා පැවසුවේ "ඇතාව නැවත තායිලන්තයට රැගෙන ගොස් ඔවුන්ගේ වියදමින් ශ්‍රී ලංකාවට නැවත ගෙන එන බවට වූ පොරොන්දුව මත ගිවිසුමක් අත්සන් කිරීමෙන් පස්සේ තමයි ඇතාව භාර දෙන්න එකඟ වුණේ.", යනුවෙනි.
බීබීසී තායි සේවය විසින් විහාරාධිපති හිමියන් සමග කළ සම්මුඛ සාකච්ඡාව පළ කරනු ලැබීමෙන් පසු "හිංසනයට පත් කළ හිමිකරු" වෙත හස්තියා ආපසු යැවීමට එරෙහිව බොහෝ තායි වැසියන් අතර කැළඹීමක් ඇති වීමට තුඩු දී තිබේ.
"ශ්‍රී ලංකාවේ විහාරස්ථානයට ඇතාට හොඳින් සලකන්න තිබුණේ මුලින්," 6,400 වාරයකට වඩා හුවමාරු වී ඇති බීබීසී තායි සේවයේ ෆේස්බුක් සටහනක් වෙත අදහස් දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පැවසීය.
ඒ පිළිබඳව දක්වන ලද වෙනත් අදහස් මගින් සංවේදනය වූයේ මෙම සත්වයා තම මව්බිම වන තායිලන්තයට අයත් බව ය. තායිලන්තය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් කළ ප්‍රකාශය වූ "ප්‍රතිකාර කිරීමෙන්" පසුව මුතු රාජා නැවත ශ්‍රී ලංකාවට එවිය යුත්තේ තායිලන්තයේ වියදමින් යන්න, ඍජුව ම උන්වහන්සේ කෙරෙහි කෝපයක් ඇති කිරීමට ද හේතු වී තිබේ.
"දයානුකම්පාවෙන් කටයුතු කරන්න ඕනේ භික්ෂුවක් නේද මේ?," තව ත් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් ප්‍රශ්න කළේ ය.
බීබීසී තායි සේවය විසින් බීබීසී සිංහල සේවයේ සම්මුඛ සාකච්ඡාව පළ කරනු ලැබීමත් සමග, බීබීසී තායි සේවය එරට බලධාරීන්ට යොමු කළ ප්‍රශ්නයක් වුයේ, තායිලන්තය මේ හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ ද? නැද්ද? යන්න පිළිබඳවය.
එය එරට ස්වභාවික සම්පත් අමාත්‍යංශය වෙත ද පීඩනයක් එල්ල කර තිබේ.
අමාත්‍යංශය නැවත නැවතත් ලබා දුන් පිළිතුරු වුයේ "මුතු රාජා සම්පූර්ණයෙන් සුව වූ පසු ඒ පිළිබඳ සලකා බලනවා" යනුවෙනි.
" බොහෝ විට මුතු රාජාට සදහටම තායිලන්තයේදී ප්‍රතිකාර ගන්න වේවි"
කෙසේ වෙතත්, මුතු රාජා තායිලන්තයට ගෙන ඒමේ ව්‍යාපාරය ආරම්භ කළ, තායිලන්තයේ හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරියක සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයාගේ සොහොයුරියක වන කංචනා සිල්පා-ආකා, ෆේස්බුක්හි සහ ට්විටර්හි සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මුතු රාජා වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර එම හස්තියාගේ ජීවිත කාලය පුරාවට ම සිදු විය හැකි බව ය.
"මුතු රාජා නැවත ශ්‍රී ලංකාවට යැවීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කියන්න කැමතියි, මේ ආදරණීය හස්තියා සම්පූර්ණයෙන් සුවය ලබන්න නම්, එයාගේ මුළු ජීවිත කාලය පුරාවට ම තායිලන්තයේ ඉන්න වේවි," කංචනා සිය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ තායිලන්තයෙන් තෑගි කළ තවත් ඇතුන් දෙදෙනකු සිටින අතර, ඔවුන් ආපසු ගෙන්වා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම් ද ඉහළ යමින් පවතියි. විශේෂයෙන් ම, අයපත් තත්ත්වයෙන් පසුවන අයුරු ඡායරූපගත කරනු ලැබ තිබුණු ශ්‍රී දළදා මාලිගාවේ භාරකාරත්වය යටතේ සිටින ප්‍රයි ෆ්‍රා ටී ෆෝ හස්තියා ද ඒ අතර වෙයි.
"ඒ හස්තියා හරි ම වයසයි. ආපහු අපේ රටට අරගෙන එන එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්," යැයි කංචනා පැවසුවේ, හස්තියාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇති හොඳ ම ක්‍රමය, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට කෙරෙන ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීම බව සඳහන් කරමිනි.
අද වන විට, මුතු රාජා, දසවන රාමා රජුගේ රාජකීය අනුග්‍රහය යටතේ සිටින සතෙකු ලෙස ලියාපදිංචි කර තිබීම සහ මහජන හැඟීම් සැලකිල්ලට ගැනීමේදී එම හස්තියා නැවත ශ්‍රී ලංකාවට එවීම වඩා ත් අපහසු කාර්යයක් වී තිබේ.
‘ථේරවාදි බෞද්ධ රටවල් දෙකක වෙනස’ - සමාජ මාධ්‍යයන්හි අදහස් දැක්වීම්
මුතු රාජා යළි තායිලන්තයට ගෙනයෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි පළවූ ප්‍රතිචාර බොහොමයක්, එම ක්‍රියාවට සහාය පළකර තිබුණි.
බොහෝදෙනා හස්තියාගේ ගමනට "තෙරුවන් සරණ" පතා තිබූ අතර, ඇතැමෙකු හස්තියා නැවතත් ලංකාවට නොපැමිණේවා යි ප්‍රාර්ථනාකොට තිබුණි.
"එවන්නෙ නෑ.. එවන්නත් එපා... තායිලන්ත වැසියො අලි ඇතුන්ට පුදුම ආදරයක් තියෙන්නෙ. ඔච්චර වියදමක් කරල අරන් ගියේ ආයෙ එවන්න නෙමේ.. ලංකාවෙ දම් වැල් දාල තියපු සතා එයාල පලමු දවසෙම soft ලණු වලට මාරු කරල," එක් තැනැත්තෙකු පවසා තිබුණි.
තවෙකෙකු පවසා තිබුණේ, "ථේරවාදි බෞද්ධ රටවල් දෙකක වෙනස... තායිලන්තයේ ඉන්න බෞද්ධ මිනිස්සු සත්තුන්ට කොච්චර ආදරේ ද... අපේ බෞද්ධයෝ ඒකට.. නමට බෞද්ධ," යනුවෙනි.
එක් තායිලන්ත ජාතිකයෙකු මෙසේ පවසා තිබුණි: "මම සියලුම කමෙන්ට්ස් කියවනකොට දැනගත්තා ශ්‍රී ලංකාවේ ගොඩක් මිනිස්සු තවමත් කරුණාවන්ත යි කියලා. මුතු රාජාගේ කතාව මත පදනම් වෙලා, ලංකාවේ මේ සම්බන්ධ අය ඉතුරු අලි ඇතුන් ගැන මීට වඩා හොඳින් බලා ගනීවි කියලා හිතනවා. මම තායි. 🇹🇭🇹🇭 සහ මම අලින්ට ආදරෙයි."
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇතුන්ට මොකද වෙන්නේ?
මුතු රාජා හස්තියා යලි තායිලන්තයට රැගෙන යාමෙන් පසු, ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සෙසු තායි ඇතුන් පිළිබඳවද කතා බහක් මතුව තිබේ.
කොළඹ තායිලන්ත තානාපතිවරයා ඇතුළු පිරිසක් අද (ජූලි 06 වැනිදා) මහනුවර ඓතිහාසික සුදුහුම්පොල රජමහා විහාරයට ගොස් මහනුවර ශ්‍රී දලදා මාලිගාවට ප්‍රදානය කර ඇති ‘තායිරාජා’ හස්තියාගේ සුවදුක් සොයා බැලුවේ එම පසුබිම තුළය.
‘තායිරාජා’ සුවෙන්
මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ ඇත්පන්තියේ වෛද්‍ය ප්‍රතිකාර භාරව සිටින, පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පශූ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල විසින් මෙහිදී තායිරාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තායිලන්ත තානාපතිවරයාට පැහැදිලි කරනු ලැබීය.
අනතුරුව මාධ්‍ය අමතමින් මහාචාර්යවරයා කියා සිටියේ තායිරාජා හස්තියා මනා සුවයෙන් සිටින බවය.
ඇලි ඇතුන්ගේ ශරීර තත්ත්වය පිළිබඳ සලකා බලන ක්‍රම 04ක් ඇති බවත් එම ක්‍රම 04ට අනුවම ‘තායිරාජා’ හස්තියා සුවයෙන් සිටින බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
‘තායිරාජා’ ඇතා රැගෙන යාමේ අරමුණින් මෙම සංචාරයේ නිරත නොවන බව කොළඹ තායිලන්ත තානාපති පොයි හැන්පොල් මෙහිදී පවසා තිබේ.
තානාපතිවරයා මෙහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙහි කිසිම ප්‍රශ්නයක් ඇතැයි තමා නොදකින බවත්, සත්වයා රැගෙන යාමේ අදහසක් නොමැති බවයි
තායි ජනතාව මෙන්ම ශ්‍රී ලංකා ජනතාව අවධානය යොමුකරන වැදගත්ම කරුණ නම් සත්ව සුබ සාධනය බවද තානාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව සතුන්ගේ යහපත උදෙසා, දෙරට අතර සත්ව සුබ සාධනය ඉහළ නැංවීමේ සංයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාවද තායිලන්ත තානාපතිවරයා අවධාරණය කරනු ලැබීය.
“තායිලන්තය ශ්‍රී දළදා වහන්සේට පූජාකළ වස්තුවක් නැවත ඉල්ලන්නේ නැහැ.”
තායි රාජා නැවත ගෙනයෑමට අදහසක් නැතැයි කියමින් තායි තානාපතිවරයා මහනුවරදි කර ඇති ප්‍රකාශය තායි - ශ්‍රී ලංකා බෞද්ධ සබඳතාව බිඳදැමිමට උත්සහ කළ NGO සංවිධානවලට දුන් හොඳ කනේ පහරක් යැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පැවසීය.
ඔහු බීබීසි සිංහල ව පැවසුවේ, වසර 19ක් පුරා තම භාරයේ සිටි තායිරාජා තම පවුලේ සාමාජිකයෙකු මෙන් බවය.
" තායිලන්ත රජ පවුල මෙන්ම එරට වැසියා දළදා මාලිගාවට දක්වන්නේ අසීමිත ගෞරවයක්.ඒ ගෞරවය නිසාම තමයි දැන් ඉන්න රජතුමාගේ පිය රජතුමා මගේ ඉල්ලීමට තායි රාජා දළදා මාලිගාවට පුජා කළේ.ඒ වගේම දැන් සිටින මහා වජිරලොංකෝර්න් මහ රජු රජවිමට පෙර 1993 ජනවාරි 21 දළදා මාලිගාවට ආවා. ඒ නිසා ඒ රජ පවුල හා දළදා මාලිගාව අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයක්."
"අපේ රටට සියම් දේශයෙන් උපසම්පදා ගෙනත් වසර 270ක් වෙනවා.ඊට පෙර පොළොන්නරු යුගයේදි ලංකාවෙන් තායිලන්තයට උපසම්පදාව ගෙනගියා.මේ නිසා අප දෙරට අතර ඇත්තේ කිසිදා බිඳිය නොහැකි සම්බන්ධයක්.මිතුරුකමක්.” ඔහු පැවසීය.
නමුත් මෑතක සිට තායිලන්තයේ සිටින හා මෙරට ඇති සමහර එන්ජිඕ සංවිධාන අපේ මේ සබඳතාව බිඳහෙළන්න නොයෙක් උප්පරවැට්ටි යොදනවා.දෙරටම බෞද්ධ රටවල් නිසා ඔවුන් උත්සහ කරන්නේ බෞද්ධ සංස්කෘතියට පහර ගසන්නයි.මේ තත්ත්වය ගැන තායිලන්ත තානාපතිවරයාට අවබෝධවී තිබිම සතුටට කාරණයක්" යැයිද හිටපු දියවඩන නිලමේවරයා කීය.
“තායිලන්තය ශ්‍රී දලදා වහන්සේට පූජාකළ වස්තුවක් නැවත ඉල්ලන්නේ නැහැ.” හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.