මුලින් පණිවුඩ එවා, ලෙබනන් ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර හෙළූ ඊශ්‍රායල් මෙහෙයුම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඊතර් ෂලාබි
- Role, බීබීසී අරාබි සේවය
1990 දී රටේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු ලෙබනනයේ මාරාන්තික ම දිනය වූයේ, සඳුදා දිනය යි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් 50ක් ඇතුළුව 550කට අධික පිරිසක් එදින මිය ගියහ.
බොහෝ පුද්ගලයන් සඳහා, දේශසීමා අර්බුදයේ දැවැන්ත උත්සන්න වීමේ පළමු ඇඟවීම් කෙටි පණිවුඩ, ස්වයංක්‍රීය දුරකතන ඇමතුම් හෝ අල්ලාගත් ගුවන් විදුලි විකාශන හරහා පැමිණියේ ය.
සිවිල් වැසියන්ට එම ප්‍රදේශවලින් ඉවත් වීමට අනතුරු ඇඟවීමක් ලෙස ඒවා යොමු කළ බව ඊශ්‍රායල බලධාරීහු පැවසූහ. එහෙත්, ලෙබනනය එය "මනෝවිද්‍යාත්මක යුද්ධයක්" ලෙස විස්තර කරයි.
ඊශ්‍රායලය විසින් ඉවත් වන ලෙස දැනුම් දෙමින් පළමු නිල නිවේදනය එවනු ලැබුවේ, සඳුදා අලුයම් කාලයේදී ය, ලෙබනන වැසියන්ට ඔවුන්ගේ දුරකතනවලට කෙටි පණිවුඩ ලැබීමත් සමග හිස්බුල්ලා ආයුධ ගබඩා කර ඇති බව පවසන ගම්මාන සහ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි.
ඊශ්‍රායල දේශසීමාවේ සිට කිලෝමීටර 4ක් (සැතපුම් 2.5ක්) ඔබ්බෙන් වූ බෙයිට් ලිෆ්හි වෙසෙන නේමට්, බීබීසී අරාබි ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ තම සහෝදරයාට එක් පණිවිඩයක් ලැබුණු බව ය.
" අපි හැකි ඉක්මනින් අපගේ දේවල් එකතු කරගෙන පිටත්වුණා," සිය සහෝදරිය සමග ජීවත් වන ඔහු පැවසීය. “අපි මීට පෙර යුද්ධ දැකලා තිබෙනවා, නමුත් මේ වගේ දෙයක් දැකලා නැහැ. අපිට ලොකු දුකක් සහ හිත් වේදනාවක් දැනෙනවා.”
ඔවුන් දැන් ජීවත් වන්නේ, තාවකාලික අවතැන් කඳවුරක් ලෙස ක්‍රියාත්මක වන පාසලක ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෙබනන් ටෙලිකොම් සමාගමක් වන ඔගෙරෝහි ප්‍රධානී ඉමාඩ් ක්‍රෙයිඩි, රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ, පණිවිඩවලට අමතරව ඊශ්‍රායල හමුදාවෙන් මිනිසුන්ට ඉවත් වන ලෙස ඉල්ලා ඇමතුම් 80,000කට වඩා ලබා ගැනීමට උත්සහ කර ඇති බවට විශ්වාස කෙරෙන බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහු එම ඇමතුම් විස්තර කළේ, "විනාශය සහ අවුල් ජාලාවක් ඇති කිරීමට මනෝවිද්‍යාත්මක යුද්ධයක්" ලෙසිනි.
ලෙබනන් ප්‍රවෘත්ති අමාත්‍යාංශයට ලැබුණු එක් ඇමතුමකින් කියැවුණේ එම මූලස්ථානයේ සිටින්නන්ට පිටව යන ලෙස ය.
ප්‍රවෘත්ති අමාත්‍ය සියාඩ් මාකරි බීබීසී අරාබි ප්‍රවෘත්ති සේවයට පැවසුවේ, ඔවුන්ගේ නියෝගයට ප්‍රතිචාර නොදක්වන බව ය.
"ඊශ්‍රායලය සිය ගැටුම්වලදී සියලු ආකාරයේ මනෝවිද්‍යාත්මක යුද්ධවලට යොමු වනු" ඇතැයි විශ්වාස කරන බව ඔහු පැවසීය.
ඊශ්‍රායල් ජෙට් යානා බ්‍රහස්පතින්දා බේරූට් අගනුවරට ඉහළ අහසේ ශබ්දයට වඩා අධික වේගයෙන් පියාසර කිරීම හරහා ඇති වූ අධික සොනික් ශබ්දය සමග අලුත් ගුවන් ප්‍රහාර පිළිබඳ වූ කැළඹීම් ඉහළ යාමට පටන් ගත්තේ ය.
මෙම පණිවිඩ සහ ඇමතුම් ඊශ්‍රායල් හමුදාවේ අනතුරු ඇඟවීම්වලට සමාන වූයේ, ඔවුන් හිස්බුල්ලා මර්මස්ථාන වෙත වඩාත් ප්‍රබල බෝම්බ හෙළීමට සැලසුම් කරමින් සිටින අතර බේරූට් ඇතුළු ලෙබනනය පුරාවට ඒ වන විටත් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ, නව වටයේ "පුළුල් ප්‍රහාරයක්" බව පවසමිනි.
ලෙබනනයේ සිවිල් යටිතල පහසුකම් තුළ මිසයිල සහ ආයුධ සඟවා තැබීම ඉරානයේ සහය ලබන හිස්බුල්ලා කණ්ඩායමේ එක් උපක්‍රමයක් බව ඊශ්‍රායලය විශ්වාස කරයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඇවීචේ ඇඩ්රේ Xහි සටහනක් පළ කරමින් පැවසුවේ, "හිස්බුල්ලා ආයුධ ගබඩා කර ඇති නිවාසවලින් ඉවත් වන ලෙස" ජනතාවගෙන් ඉල්ලා සිටිමින් පැවසුවේ, "හිස්බුල්ලා ඔබව බිල්ලට දෙන" බව ද පවසමිනි.
ජනතාවට ආරක්ෂිත ප්‍රදේශ කරා යාමට හැකි වන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ අතර ඇතැමුන් පවසා ඇත්තේ, තමන් යා යුත්තේ කොතැනට ද යන්න පිළිබඳව තමන් ව්‍යාකූලව සිටින බව ය.
ඊශ්‍රායලයට මායිම්ව පිහිටි නබතියා ප්‍රාන්තයේ ගම්මානයක වෙසෙන තිදරු මවක වන සෙයිනාබ් තම සහෝදරිය සමග නැවතී සිටියදී ඔවුන් දෙදෙනාගේ ම දුරකතනවලට අනතුරු ඇඟවීමේ පණිවිඩ ලැබී තිබිණි.
තම සොහොයුරියගේ නිවස ආසන්නයේ හිස්බුල්ලා ආයුධ ගබඩා කර නොතිබූ බව ඇය විශ්වාස කළ නමුත් පූර්වාරක්ෂාවක් ලෙස ඉවත්ව ගිය බව පැවසුවා ය.
"අපි ඉක්මනින් ම අපේ දේවල් අරගෙන අයාගේ ගෙදර ඉඳන් මගේ ගෙදරට ආවා."
“මගේ සහෝදරියගේ නිවස දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති නිසා එය කිරීම නිවැරදි දෙයක් යැයි අපි සිතුවා,”ඇය තවදුරටත් පැවසුවාය.
'සමුගන්න'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ජනතාවට ද අනතුරු ඇඟවීමේ කෙටි පණිවිඩ ලැබී තිබිණි.
සැප්තැම්බර් 19 වන දා ඊශ්‍රායල ජාතිකයින්ට කෙටි පණිවුඩ මිලියන 5ක් පමණ ලැබී ඇති අතර, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් එවනු ලැබ ඇති බව එරට සයිබර් බලධාරීහු ප්‍රකාශ කළහ.
ඊශ්‍රායල් රජය ඒවා විස්තර කළේ, “මහජනයා භීතියට පත් කිරීමේ පහත් සහ මන්දබුද්ධික උත්සහයක්” ලෙසත්, ඒවා “අපේ සිවිල් වැසියන්ගේ මනස සමග සෙල්ලම් කිරීමට සතුරා උත්සාහ” කරන බව ය.
සමහර පණිවිඩ දුර්වල ලෙස හීබෲ භාෂාවෙන් සහ තර්ජනාත්මක ස්වරයකින් යුක්තව ලියා ඇති අතර, ඊශ්‍රායල් බලධාරීන් සැක සහිත යැයි පැවසූ වෙබ් සබැඳි ඇතුළත් විය.
“ඔබේ ආදරණීයයන්ට සමුදෙන්න, නමුත් කරදර නොවන්න, ඔබ ඔවුන්ව පැය කිහිපයකින් නිරයේදී වැළඳ ගනීවි,” ඊශ්‍රායල ප්‍රවෘත්ති ආයතනයක් වන Haaretz වාර්තා කළ එක් පණිවිඩයක මෙසේ සඳහන් විය.
යවන්නාගේ නම SyHaNasrala ලෙස පණිවිඩවල දිස් විය, එය හිස්බුල්ලා නායක සයීද් හසන් නස්රල්ලාගේ නම ලෙස අනුමාන කළ හැකි ය.

රේඩියෝ පණිවුඩ
ඊශ්‍රායල හමුදාව ලෙබනන් ගුවන් විදුලි සංඛ්‍යාත ද අවසරයකින් තොරව අත්පත් කරගෙන ඇති අතර, හිස්බුල්ලා කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රදේශවලට ආසන්න ස්ථානවලින් සිවිල් වැසියන්ට ඉවත්වන ලෙස ඉල්ලා ගුවන් විදුලි මධ්‍යස්ථාන කිහිපයක පටිගත කරන ලද පණිවිඩ විකාශය කර ඇත.
පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායල්-ලෙබනන් දේශසීමාවේ සරණාගත අර්බුදය තවත් නරක අතට හැරී ඇති අතර, මෑතකාලීනව ගැටුම් උත්සන්න වීමට පෙර, දේශසීමා දෙපස සිටි 150,000කට වැඩි පිරිසක් තම නිවෙස්වලින් පලා ගොස් තිබිණි.
මිනිසුන් උතුරට පළා යාමට උත්සහ කිරීමත් සමග දකුණු ලෙබනනයේ මාර්ග අවහිර විය.
ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම්වලින් පසුව, ලෙබනනයේ බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල්වලින් රැගෙන යාමට ඉක්මන් වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට අනතුරක් විය හැකි යැයි කියන “ආරක්ෂක සහ හමුදා තත්ත්වයන්” හේතුවෙන් පාසල් සහ විශ්වවිද්‍යාල ගණනාවක් වසා දැමීමට තීරණය කෙරිණි.
හිස්බුල්ලා සංවිධානය පසුගිය දිනවල රොකට් ප්‍රහාර වැඩි කිරීමත් සමග ඊශ්‍රායලයේ ආරක්‍ෂාව ඉහළ දමා ඇත.
උතුරු ඊශ්‍රායලයේ රෝහල්වල රෝගීන් ආරක්ෂිත ප්‍රදේශවලට ගෙන යන ලෙස එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා නියෝග කළේ ය. පාසල් වසා දමා ඇති අතර එළිමහන් රැස්වීම් සඳහා පුද්ගලයින් රැස්විය හැකි සංඛ්‍යාව 10ට වඩා අඩු ගණනකට සීමා කරන ලෙස දන්වා ඇත.
අතිරේක වාර්තාකරණය : බේරූට්හි කැරීන් ටෝබේ සහ ජෙරුසලම්හි මයිකල් ෂුවාල්














