ට්‍රම්ප්ගේ නිවසට ඇතුළු වීමට ගිය සන්නද්ධ පුද්ගලයෙකු ඝාතනය කරයි

    • Author, ජෝර්ජ් රයිට්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවල පිහිටි මාර්-ඒ-ලාගෝ නිවසේ අධිආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි රහස් සේවය පවසයි.

බලධාරීන් පැවසූ පරිදි, එම පුද්ගලයා ගිනිඅවියක් සහ ඉන්ධන කෑන් එකක් රැගෙන යමින් සිටියදී, රහස් සේවා නියෝජිතයන් සහ ප්‍රාන්තය භාර ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු නවතා වෙඩි තබනු ලැබ තිබේ.

එරට වේලාවෙන් ඉරිදා අලුයම 01:30ට පමණ මෙම සිදුවීම සිදු වූ අතර, ඒ වන විට ජනාධිපතිවරයා වොෂින්ටන් ඩීසීහි සිටි තිබේ.

බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් පුවත් සේවයට අනුව, සැකකරු උතුරු කැරොලිනාවේ කැමරන්හි ඔස්ටින් ටී මාටින් ලෙස නම් කර ඇත.

උතුරු කැරොලිනාවේ වෙසෙන ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉරිදා අලුයම ඔහු අතුරුදහන් වී ඇති බවට වාර්තා කළ බව මුවර් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය බීබීසීය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ඒ අනුව, අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ෆෙඩරල් බලධාරීන් වෙත භාර දී ඇති බව ෂෙරිෆ් කාර්යාලය පැවසීය.

මාටින් සම්බන්ධයෙන් මීට පෙර වාර්තා හෝ පැමිණිලි ලැබී නොමැති බවත් තමන් ෆ්ලොරිඩා විමර්ශනයට සම්බන්ධ නැති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

සීබීඑස් පුවත් සේවයට අනුව, ඔහු උතුරු කැරොලිනාවේ සිට ෆ්ලොරිඩාවට මෝටර් රථය පදවා ගෙන යන අතරතුර ගිනිඅවිය මිල දී ගත්තේ ද යන්න සම්බන්ධයෙන් නිලධාරීහු විමර්ශනය කරමින් සිටිති.

"අද අලුයම මාර්-ඒ-ලාගෝහි අධිආරක්‍ෂිත කලාපයට නීති විරෝධී ලෙස ඇතුළු වන බව" දුටු රහස් සේවා නියෝජිතයන් ඔහුට වෙඩි තැබූ බව ඒජන්සි ප්‍රකාශක ඇන්තනි ගුග්ලියෙල්මි X සටහනක් තබමින් පැවසීය.

"මා-ඒ-ලාගෝ නිවසේ උතුරු දොරටුව අසලදී සැකකරු ගිනිඅවියක් සහ ඉන්ධන පිරවූ කෑන් එකක් වැනි දෙයක් රැගෙන යන අයුරු නිරීක්ෂණය විය," යනුවෙන් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

නියෝග පිළිපැදීමට අපොහොසත් වූ එම පුද්ගලයාට පසුව වෙඩි තබා ඇති බව පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් රික් බ්‍රැඩ්ෂෝ පැවසීය.

"අපි ඔහුට කිව්ව එක ම වචන ටික 'අතේ තියෙන දේවල් බිමට දාන්න' කියන එක විතරයි, ඒ කියන්නේ ගෑස් කෑන් එකයි තුවක්කුවයි," බ්‍රැඩ්ෂෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

"ඒ වෙලාවේ ඔහු ගෑස් කෑන් එක බිමට දාලා, තුවක්කුවෙන් වෙඩි තියන්න සැරසුණා," ඔහු පැවසීය.

එම අවස්ථාවේදී, නියෝජිතයන් "තර්ජනය උදාසීන කිරීමට" ඔවුන්ගේ ආයුධ භාවිත කර වෙඩි තැබූ බව ඔහු සඳහන් කළේ ය.

නිලධාරීන් බොඩි කැම් ඇඳ සිටි අතර කිසිදු නිලධාරියෙකුට තුවාල සිදු නොවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සැකකරුගේ තුවක්කුවේ පතරොම් තිබුණේ ද යන්න තමා නොදන්නා බවත්, එය ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහය ඇතිව සිදුවන විමර්ශනය මත දැන ගැනීමට ලැබෙනු ඇති බවත් ය.

එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ ෂෝන් කරන් ඉරිදා ෆ්ලොරිඩාවට ගියේ සිද්ධියෙන් "අනතුරුව ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග" ගැනීම සඳහා වන අතර ඒජන්සිය X සටහනක් තබමින් පැවසුවේ, හදිසි අවස්ථාවලදී ඒජන්සිය සන්නිවේදනය කරන සහ ප්‍රතිචාර දක්වන ආකාරය ඔහු ශක්තිමත් කර ඇති බවත් ය.

මාර්-ඒ-ලාගෝහි ආරක්ෂාව අතිශයින් දැඩි වන අතර, එහි පිටත කලාපය පාම් බීච් ෂෙරිෆ් නිලධාරීන් ද අභ්‍යන්තර කලාපය රහස් සේවයේ නිලධාරීන් විසින් ද ආරක්ෂා කරනු ලැබේ. ඊට ඇතුළු වන අමුත්තන් පරීක්ෂා කරනු ලබන අතර, මෝටර් රථ සහ බෑග් සුනඛයින් සහ ලෝහ හඳුනා ගැනීමේ උපකරණ මගින් පරීක්ෂා කෙරේ.

ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ හෝ උත්සායන් කිහිපයක ම ඉලක්කය වී තිබේ.

2024 ජූලි මාසයේදී, පෙන්සිල්වේනියාවේ බට්ලර්හි ජනකායක් ඉදිරියේ සිටගෙන සිටියදී ට්‍රම්ප්ගේ කනකට වෙඩි වැදිණි. ඉන් ඒ අසල සිටි අයෙකු මිය ගොස් දෙදෙනෙක් තුවාල ලැබූහ. වෙඩික්කරු වූ 20 හැවිරිදි මැතිව් කෲක්ස් ආරක්ෂක අංශ විසින් ඒ මොහොතේ ම වෙඩි තබා ඝාතනය කරන ලද අතර ඔහුගේ අරමුණ තවමත් අනාවරණය වී නොමැත.

ඉන් මාස කිහිපයකට පසු, එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයෙක් වෙස්ට් පාම් බීච්හි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් සමාජයේ පඳුරු අතරින් රයිෆලයක් නෙරා තිබෙනු දුටුවේ ය. පසුව රයන් රූත් ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා පලා ගිය නමුත් අත්අඩංගුවට ගැනිණි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත 59 හැවිරිදි ඔහුට මේ මස මුලදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

මෙම සිදුවීමෙන් පසු ෆොක්ස් බිස්නස්හි පෙනී සිටි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, 2024දී ට්‍රම්ප්ගේ ජීවිතයට එල්ල වූ තර්ජන දෙක උපුටා දක්වමින්, දේශපාලන ප්‍රචණ්ඩත්වය "සාමාන්‍යකරණය" කිරීම සම්බන්ධයෙන් දේශපාලන වාමාංශයට දොස් පැවරීය.

"ඝාතකයින් දෙන්නෙක් මැරිලා, එක්කෙනෙක් ජීවිතාන්තය දක්වා හිරේ, මේ විෂ එන්නේ අනිත් පැත්තෙන්," බෙසන්ට් පැවසුවේ, "ඔවුන් මේ ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කරනවා. ඒක නවත්තන්න ඕනේ."

පසුගිය වසරේ පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ජොෂ් ෂැපිරෝගේ මන්දිරයට ගිනි තැබීම, මිනෙසෝටාහි ඩිමොක්‍රටික් නීති සම්පාදකවරියකට සහ ඇගේ සැමියාට එල්ල වූ මාරාන්තික වෙඩි තැබීම සහ දක්ෂිණාංශික ක්‍රියාකාරික චාලි කර්ක්ට ප්‍රසිද්ධියේ වෙඩි තැබීම ඇතුළු තවත් සිදුවීම් මාලාවකින් පසුව, දේශපාලන ප්‍රචණ්ඩත්වය එක්සත් ජනපදයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත.