මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මදුෂංක ඇතුළත් කිරීමට ICC අනුමැතිය හිමි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔස්ට්‍රේලියාව සමග පසුගිය සඳුදා (පෙබරවාරි 16) පැවති තරගයේදී වම් කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් කර තිබේ.
ඒ අනුව, මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මදුෂංක ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2026 පන්දු වාර 20 ලෝක කුසලානයේ තාක්ෂණික කමිටුව අනුමැතිය ලබා දී ඇත.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනෙකු වන මතීෂ පතිරණ සහ වනිඳු හසරංග ආබාධයන්ට ලක්වීම ඉදිරි සුපිරි 08 දෙනාගේ වටයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් මෙන් ම අමතර පීඩනයක් ද ගෙන එනු ඇත.
ඩිල්ෂාන් මදුෂංක යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2020 වර්ෂයේදී මධුෂංක සිය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, කොළඹ කොල්ට්ස් ක්‍රීඩා සමාජයෙනි.
2020 වර්ෂයේ ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේදී දඹුල්ල වයිකින්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ඩිල්ෂාන්ට හැකි විය.
ඉන් අනතුරුව 2021 වර්ෂයේදී ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත්, ඉකුත් වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් නියෝජනය කළේ ය.
එමෙන් ම, 2020 වර්ෂයේදී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලැබූ ඩිල්ෂාන්, එම තරගාවලියේ නයිජීරියාවට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු පහක් දවා ගැනීමට සමත් විය.
2022 වසරේ පැවති ආසියානු කුසාලන තරගාවලියේදී පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ඩිල්ෂාන් මධුෂංක සිය පළමු තරගය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළේ ය.
එම තරගාවලියේදී සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයේදී ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී සුපිරි පිතිකරු විරාට් කෝලිගේ කඩුල්ල දවා ගත්තේ, විස්තර විචාරකයින් පවා මවිතයට පත් කළ ඉන් ස්විං පන්දුවක් යොමු කරමිනි.
ඩිල්ෂාන් මධුෂංක අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි 20 තරගයකට ක්‍රීඩා කළේ, 2024 වසරේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ය. එහිදී ඔහු පන්දු වාර 03කට ලකුණු 45ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
එක්දින තරග 28කදී කඩුලු 50ක් සහ විස්සයි 20 තරග 15කදී කඩුලු 15ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබේ.
මතීෂ පතිරණ වෙනුවට යෝජනා වී තිබූ පන්දු යවන්නන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මතීෂ පතිරණගේ අඩුව පිරවීම සඳහා වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකු පිළිබඳව අවධානය යොමු වී තිබිණි.
ඒ අතර, ඩිල්ෂාන් මධුෂංක, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මිලාන් රත්නායක ඉදිරියෙන් ම සිටියහ.































