බන්ධනාගාරවල සිරකරුවන් 300% ඉක්මවයි: සිරකරුවන් පිරිසකට නිදහස ඉල්ලයි

බන්ධනාගාරයක දොරටුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

"අපි කියන්නේ එක පාර නිදහස් කරන්න කියලා නෙමෙයි, පොදු සමාවක් යටතේ හරි මොකක් හරි තියෙන ක්‍රමයක් යටතේ තාත්තාව නිදහස් කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ."

මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වීමෙන් පසු මරණීය දණ්ඩනය ලබා දස වසරකට ආසන්න කාලයක් තිස්සේ වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කර සිටින තම පියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින හලාවත පදිංචි රොෂෙල් ලක්ෂාන් බීබීසි සිංහල සේවයක එම අදහස් පළ කළේ ය.

පෙර ජනාධිපතිවරුන්ගෙන් කළ ඉල්ලීම්

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ ගම්වාසීන් සහ ආගමික නායකයන්ගේ ඉල්ලීම් ද සහිතව තම පියාට නිදහසක් ලබා දෙන මෙන් එම ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිය ද එය අසාර්ථක වූ බව ඔහු පැවසීය.

"රනිල් මහත්තයා ඉද්දී ගෝඨාභය මහත්තයා ඉද්දී අපි ලියුම් හදලා යැව්වා නිදහස් කරන්න කියලා. අපේ ගමේ කට්ටියත් ඒකට අත්සන් කළා. පල්ලිවලින්, පන්සල්වලින්, මුන්නේෂ්වරම් කෝවිලෙන් පවා වෙන ම ලියුමක් හදලා දුන්නා. ඒත් අපිට කිසි ම රිප්ලයි එකක් ආවේ නැහැ."

දුම්බර බන්ධනාගාරයේ වසර 27කට වැඩි කාලයක් රඳවා සිටින තම ඥාති සහෝදරයා නිදහස් කර ගැනීමට මාතර පදිංචි රුක්මනී ප්‍රියංගිකා වෙහෙසෙයි. අවුරුදු 51ක් වයසැති තම සොහොයුරාගේ මව ද වියපත්ව අසනීප තත්ත්වයෙන් සිටින බව ඇය බීබීසි සිංහල සේවය වෙත කියා සිටියා ය.

"දුම්බර බන්ධනාගාරය අපිට ගොඩක් දුර නිසා බලන්න යන්න වෙන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් පවුල් හමුව තියෙනවා වැලිකඩ බන්ධනාගාරයේ. ඒකට ගෙනාපුවා ම තමයි බලන්න යන්නේ."

"අපි කියන්නේ එයාලව නිදහස් කරන්න කියලා, ළඟ ම තියෙන පොලිසියේ මාසයකට සැරයක් අත්සන් කරන්න දාලා හරි නිදහස් කරනවා නම් ඒත් කමක් නැහැ. අවුරුදු 27ක් කියන්නේ දැන් එයාට 51ක් වෙනවා වයස," ඇය පැවසුවා ය.

"මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ රැඳවියන්ට හිමි සහන ලබා දෙනු!" මැයෙන් ඔක්තෝබර් 23 වන දා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් කොළඹදී පවත්වනු ලැබූ වැඩසටහනකට පැමිණ අප සමග අදහස් දැක්වූ ඔවුන් දෙදෙනා මෙන් ම තවත් රැඳවියන් බොහෝ දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් එම වැඩසටහනට සහභාගී වී සිටියහ.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරගත කළ රැඳවියන්ගේ කාලය ගත වන්නේ කොහොම ද?

මරණ දඬුවම හිමි වූ සිරකරුවන් සිරමැදිරියෙන් පිටතට ගනු ලබන්නේ දිනකට විනාඩි 30ක කාලයක් සඳහා පමණි. ඒ ව්‍යායාම කටයුතු සඳහා ය.

එසේ ම එම රැඳවියන් බැලීමට පවුලේ සාමාජිකයින්ට මසකට එක් වරක් අවස්ථාව ලබා දෙන අතර එය ද ඉතා සීමිත වේලාවකට ය. බොහෝ දෙනෙකුට එම අවස්ථාව ද අහිමි වන්නේ ඇතැම් රැඳවියන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පදිංචි ප්‍රදේශවලින් දුර බැහැර පිහිටි බන්ධනාගාරයක රඳවා සිටීම හේතුවෙනි.

අලුත් අවුරුදු, වෙසක් හෝ නත්තල් වැනි විශේෂ දිනවල ද එම රැඳවියන් හමුවීමට අවස්ථාව සැලසෙන අතර සිරකරුවන් වෙනුවෙන් පවත්වනු ලබන "පවුල් හමුවේදී" ද මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා දඬුවම් හිමිව ඇති සිරකරුවන්ට පවුලේ සාමාජිකයින් හමුවීමට අවස්ථාව ලැබේ.

බන්ධනාගාර තුළ රැඳවියන් ගෙවන 'දුක්ඛිත ජීවිත'

"මරණ දඬුවම නියම වෙච්ච සිරකරුවෙකුට ඉතා ම දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. බන්ධනාගාර පද්ධතිය තුළ සියලු ම සිරකරුවන්ට තියෙන්නෙත් අවාසනාවන්ත තත්ත්වයක්. එම අවසනාවන්ත තත්ත්වය තුළ මරණ දඬුවම ලැබිච්චි ඒ වගේ ම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිච්ච රැඳවියන්ට තියෙන්නේ ඒ සියලු ම දෙනාට වඩා අන්තදුක්ඛිත අවාසනාවන්ත තත්ත්වයක්," සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අවධාරණය කළේ ය.

1976 වසරේ සිට මෙරට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවන බවත් එවැනි තත්ත්වයක් තුළ එම රැඳවියන් වසර ගණනාවක් බන්ධනාගාර තුළ රඳවා තිබෙන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

'ඒ ප්‍රශ්න කිරීම, ඒ ඉල්ලීම වෙනුවෙන් තමයි අපි ඒකරාශී වෙන්න ඕනේ'

මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිව ඇති සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඇතැම් අවස්ථාවල රැකියාවක් ලබා ගැනීමට පවා අපහසු වී ඇති අවස්ථා වාර්තා වී තිබෙන බව ද නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ ය.

"මේ අයට හිමි සහන තියෙනවා. සිරකරු සමාලෝචන තියෙනවා. සිව් වස් සමාලෝචනය තියෙනවා. මේ වසරේ මාර්තු මාසයේ වර්තමාන බන්ධනාගාර අමාත්‍යවරයා බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවේදී රටට කිව්වා සිව් වස් සමාලෝචනය ක්‍රියාත්මක කරනවා කියලා. පුනරුත්ථාපනය වෙච්ච ඒ රැඳවියා හිටිය කාල සීමාව ගණනය කරලා ඒගොල්ලන්ගේ යහපත් කල් ක්‍රියාව ගැන බලලා ඒ රැඳවියන්ට ඒ සහනය දෙනවා කිව්වා. නමුත් ඒ වැඩපිළිවෙළේ සතුටුදායක ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. මොක ද එක අතකට මේවා ප්‍රශ්න කරන්න කවුරුත් නැහැ කියලා හිතනවා ද දන්නේ නැහැ. ඒ ප්‍රශ්න කිරීම, ඒ ඉල්ලීම වෙනුවෙන් තමයි අපි ඒකරාශී වෙන්න ඕනේ."

'මෙයාලා එළියට ගිහිල්ලා ආයේ වැරදි කරන අය නෙමෙයි'

වසර විසි පහක, තිහක කාලයක් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සිටියදී හිටපු ජනාධිපතිවරුන්, ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් වසර 5කට අඩු කාලයක් සිරගත කර සිටි සිරකරුවන් පවා නිදහස් කළ බවත්, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මෙහිදී සිහිපත් කළේ ය.

"අවුරුදු 5ක් බන්ධනාගාරයේ ඉඳලා, මරණීය දණ්ඩන 8ක් ලබපු පුද්ගලයෝ ගෝඨාභය රාජපක්ෂලා නිදහස් කළා. පොඩි ළමයින්ගේ බෙල්ල කපපු මිනිස්සු ගෝඨාභයලා නිදහස් කළා, අවුරුදු පහේදී රණවිරුවෝ කියලා. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ ඉන්න මිනිස්සු පුනරුත්ථාපනය වෙච්ච මිනිස්සු. මෙයාලා එළියට ගිහිල්ලා ආයේ වැරදි කරන අය නෙමෙයි. අවුරදු 13ක් බන්ධනාගාරයේ හිටපු මනුස්සයෙක් එක ම කූඩුවක විනාඩි 10යි 15යි එළියට දාන්නේ, එහෙම හිටපු මේගොල්ලෝ මම හිතන්නේ නෑ සීයට එක් කෙනෙක්වත් නැවත වැරදි කරයි කියලා," සිරකරු අයිතිවාසිකම් සුරුකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පැවසීය.

ක්‍රමවේදයක් සොයා බලන්න ඇමතිගෙන් කමිටුවක්

මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් වසර ගණනක් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව වත්මන් රජයේ ප්‍රතිචාරය බීබීසි සිංහල සේවය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂ නානායක්කාරගෙන් විමසීය.

එම ගැටලුව ගැන සිය අවධානය යොමුව ඇති බව කී ඇමතිවරයා ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළේ ය.

"ලයිෆ් සෙන්ටෙන්ස් සහ ඩෙත් කිව්වා ම ඒගොල්ලන්ට නෝර්මල් කැල්ක්‍යුලේෂන් එක අනුව දඬුවම් කාලය අඩු වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දීර්ඝකාලීනව බන්ධනාගාරයේ ඉන්නවා. දැන් මම කමිටුවක් පත් කරලා තියෙනවා විනිසුරු තුරේයිරාජ මහත්මයාගේ මැදිහත්වීමෙන්. ඒගොල්ලෝ මොනවා හරි ක්‍රමවේදයක් බලමින් ඉන්නවා දඬුවම් කාලය ගැන."

බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍ය හර්ෂ නානායක්කාර බීබීසි සිංහල සේවය කියා සිටියේ ය.

'මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතු ම යි'

"එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා 805ක්, ඒ වගේ ම ගැහැනු 21 දෙනෙක් ඉන්නවා එල්ලා මරන්න නියමිත. මේ 805න් 5 දෙනෙක් ඉන්නේ පාසල් ශිෂ්‍යයෝ එල්ලා මරන්න නියමිත," යැයි බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නාවලපිටියේ පැවති වැඩසටහනකදී පවසා තිබේ.

"මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරයෝ අනිවාර්යෙන් ම එල්ලා මැරිය යුතු යි. මොක ද ඔවුන් විනාස කරන්නේ ජාතියක්. ඒක නිසා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතු ම යි," බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත්, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආගමික නායකයින් මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන ද අදහස් දක්වා තිබේ.

දිවයින පුරා පවතින බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ගණන 10,500ක් බවත් එහෙත් මේ වන විට එම ධාරිතාව ඉක්මවා ගොස් බන්ධනාගාර තුළ 36,000ක රැඳවියන් ගණනක් සිටින බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ ය.