කංසා අපනයනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ වෙනසක් සිදු වී තිබේ ද?

Nalinda Jayathissa & Diana Gamage

ඡායාරූප මූලාශ්‍රය, Facebook | BBC

    • Author, බීබීසී සිංහල

"ඩයනා මන්ත්‍රීතුමිය ගිහිල්ල ගංජා විකුණන්න කතා කරනව. මේක තමයි හොඳ ම බිස්නස් එක කියල. නිකං ගංජා සමුළුවක් වුණා ඒක."

"ලංකාවෙ ගංජා හදල ද ආර්ථිකය හදන්න යන්නෙ? එහෙනම්, කුඩු විකුණලත් අපට පුළුවන් නෙ සල්ලි හොයන්න. එහෙනම්, අපට අපේ ආර්ථිකය හදන්න ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් ලෝකෙට කුඩු විකුණලා. ඒක හරි ද?"

කංසා වගා කර අපනයන ආදායමක් ලබා ගැනීම සඳහා පෙර පැවති රජයේ ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ඉහත කී ප්‍රතිචාරය (රූපවාහිනී සංවාදයක) දැක්වූයේ, වත්මන් රජයේ විදේශ අමාත්‍ය ධූරය දරන විජිත හේරත් ය. ඒ, මීට වසර කිහිපයකට පෙර ය.

එකල විපක්ෂයේ සිටි විජිත හේරත් මන්ත්‍රීවරයා අපනයන බෝගයක් ලෙස කංසා වගා කිරීම නිර්දය ලෙස විවේචනය කළේ ය.

එහෙත්, දැන් වෙනස්කම් රැසක් සිදු වී තිබේ. මේ වන විට පාලන බලය ඇත්තේ,ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ය.

කංසා අපනයනයට වත්මන් රජයෙන් තීරණයක්

රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා පමණක් ආයෝජකයන්ට ලංකාවේ කංසා වගා කිරීමට පළමු වරට අවස්ථාව ලැබී ඇතැයි රජය පවසයි.

අගෝස්තු 12 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2024 වසරේ එවක පැවති රජයේ කැබිනට් තීරණයක් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව ය.

"මේ සඳහා අනුමැතිය ලබා දෙන්නේ, 2024 අප්‍රේල් මාසයේ. එවකට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය හැටියට කටයුතු කරපු සිසිර ජයකොඩි ඇමැතිතුමාගේ කාලයේදී මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව අයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලේදී මෙවැනි ආයෝජකයන් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයේ තිබුණ අඩුපාඩුකම් නිසා කාලයක් ගත වෙලා තියෙනවා."

මෙම ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී ඇත්තේ, දැඩි ආරක්ෂණ ක්‍රමවේද යටතේ වගාවේ සියලු ම කොටස් අපනයනය කිරීමට බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

"පළවෙනි වතාවට මේ ආකාරයට කටයුතු සිද්ධ වෙන්නේ මේ විදියට. රජයේ නියාමනයට යටත්ව අපනයනය සඳහා ආයෝජකයන්ට ලබා දෙන්නේ."

ආයුර්වේද දෙපාර්තුමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එකතුව අයෝජන කලාපවල පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

කංසා වැවීමේ යෝජනාවේ ඉතිහාසය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කැබිනට් අනුමැතිය ලද වහා ම අපනයන කර්මාන්තයක් ලෙස කංසා වගා කිරීම සඳහා අවස්ථාව හිමි වන බව හිටපු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඖෂධීය කංසා මෙරට වගා කර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වූ බව එවක සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ 2024 වසරේ පෙබරවාරි මාසයේදී පැවසුවා ය.

ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බව මෙන් ම මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමි වන අතර සියලු ආයෝජන ඇමෙරිකානු ඩොලර් මගින් පමණක් කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබිණි.

කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයෙන් අවසර ගැනීමට කටයුතු කරන බව හිටපු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම 2023 වසරේ ජුනි මාසයේදී මාධ්‍ය වෙත පැවසීය.

එම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මෙන් ම කංසා වගාව සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ දේශීය ආයෝජකයින් සමග ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු කියා තිබිණි.

මේ අතර, අපනයනය සඳහා පමණක් කංසා පාදක කර ගත් නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවට ද එම වකවානුවේදී මාධ්‍ය වාර්තා පළ විය.

කංසා අපනයනය කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ ඩයනා ගමගේ

අපනයනය සඳහා කංසා වගා කර ඉන් විදේශ විනිමය උපයා ගත යුතු බව පවසමින් ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර ගැනීමට මෙන් ම අනිකුත් බාධා ඉවත් කර ගැනීමට හිටපු අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ක්‍රියාකාරී විය.

"රජයේ අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කළ යුතුයැ" යි ද වරක් ඇය යෝජනා කළා ය.

තේ, රබර්, පොල් වැනි වාණිජමය බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ, "ස්වභාවධර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගත කර අපනයනයට මෙය කදිම අවස්ථාවක්," බව ඩයනා ගමගේ කියා සිටියාය.

"අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාවධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි," 2021 වසරේදී හිටපු අමාත්‍යවරිය සඳහන් කළා ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇමතුව ද ඔවුහු ඒ පිළිබඳව ඍජුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

එහෙත්, අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි එම මණ්ඩලයේ ඉහළ නිලධාරියකු බීබීසි සිංහල සේවයට පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සඳහා අයැදුම් කරන ලද ආයෝජකයන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකු මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඒ සඳහා වන ගිවිසුම්ගත වීම් සැප්තැම්බර් මාසයේදී සිදුවනු ඇති බව ය.

මීරිගම සහ මිරිජ්ජවිල අයෝජන කලාප තුළ දැනට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) ආරක්ෂාව යටතේ කංසා වගා භූමි පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ව්‍යාපෘති සඳහා 'දැඩි කොන්දේසි යටතේ' බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගිනි.