ලෝඩ්ස් පිටියේ ශතක මැෂිම ජෝ රූට්, සචින් ටෙන්ඩුල්කාර් අභිබවා යයි ද?

එංගලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස මේ වන විටත් තරගාවලිය පරාජයට පත්වී අවසන් ය.

කෙසේ වෙතත්, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතා මතු වුණු අතර, වැඩි ම කතාබහකට ලක්වූයේ, එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් ය.

ජෝ රූට් දැක්වූ දක්ෂතා

33 හැවිරිදි ජෝ රූට් ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරග දෙකේදී ඉනිම 4කදී ලකුණු 350ක් රැස් කිරීමට සමත් විය.

ඒ, පිළිවෙළින් 42, 62*, 143 සහ 103 වශයෙනි.

තරගාවලියේ වැඩි ම ලකුණු රැස් කළ ජෝ රූට් රැස් කළ ලකුණු සාමාන්‍යය 116.66ක් විය.

දෙවන ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදී ම ශතක රැස් කරමින්, ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එවන් දක්සමක් දැක්වූ 4 වන පිතිකරු ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

ඊට අමතරව, එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ශතක රැස් කළ ක්‍රීඩකයා බවට ද පත්වූයේ, දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ශතකයක් රැස් කරමිනි.

එය ඔහුගේ 34 වන ටෙස්ට් ශතකය විය.

එය ඔහු ලෝඩ්ස් පිටියේදී රැස් කළ 7 වන ටෙස්ට් ශතකය යි.

ඔහු එහිදී හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ඇලස්ටෙයාර් කුක් පිහිටුවා තිබූ ශතක 33ක වාර්තාව අභිබවා ගියේ ය.

මේ වන විට එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ලකුණු රැස් කළ පිතිකරුවා ලෙස දෙවන ස්ථානයේ පසු වන ජෝ රූට්ට ඇලස්ටෙයාර් කුක් අභිබවා යමින් පළමු ස්ථානයට පැමිණීමට තවත් අවශ්‍ය වන්නේ, ලකුණු 96ක් පමණි.

එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ලකුණු ලාභියා වන ඇලස්ටෙයාර් කුක් ලකුණු 12,472ක් රැස් කර ඇති අතර, ජෝ රූට් තරග 145කදී ලකුණු 12,377ක් රැස් කර සිටී.

ක්‍රිකට් විශ්ලේෂකයින් පවසන්නේ, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහු ඇලස්ටෙයාර් කුක් අභිබවා යනු ඇති බව ය.

ජෝ රූට්ගේ ටෙස්ට් ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 50.93කි.

සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ හෙළයි ද?

ජෝ රූට් මෙවර තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු සචින් ටෙන්ඩුල්කාර්ගේ ටෙස්ට් ලකුණු වාර්තාව අභිබවා යනු ඇති බවට ද අනාවැක් පළවී තිබේ.

ලොව වැඩි ම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ටෙන්ඩුල්කාර් තරග 200කදී ලකුණු 15,921ක් රැස් කර තිබේ.

ජෝ රූට්ට එම ඉලක්කය සපුරා ගැනීමට තවත් ලකුණු 3544ක් අවශ්‍ය වේ.

තවමත් 33 හැවිරිදි වියේ පසු වන ජෝ රූට් එම ඉලක්කය සපුරා ගනු ඇතැයි ක්‍රිකට් විශ්ලේකයින් විශ්වාසය පළ කර තිබේ.

'මට ඕන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මගේ දායකත්වය දෙන එක විතරයි'

ටෙස්ට් ලකුණු වාර්තා අභිබවා යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට ජෝ රූට් දුන් පිළිතුරු සම්බන්ධයෙන් ද ක්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි ප්‍රසාදයක් හිමි වී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

"මට ක්‍රීඩා කරනවා විතරයි. මට ඕන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මගෙන් අපේක්ෂා කරන දායකත්වය ලබා දෙන එක විතරයි. ලකුණු 100ක් රැස් කරන එක සතුටක්. ඒත්, තරගයක් ජය ගන්න එක තමයි, ලොකු ම සතුට," ජෝ රූට් පවසා තිබිණි.

දක්ෂතම ක්‍රීඩකයා සම්මානය

පළමු තරගයේදී ලකුණු 42ක් සහ නොදැවී ලකුණු 62ක් රැස් කළ ද, දෙවන තරගයේ ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ද ඔහුට තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි නොවිණි.

පළමු තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පළමු ඉනිමේ ලකුණු 111ක් රැස් කළ ජැමී ස්මිත් නම් කෙරුණු අතර, දෙවන තරගයේදී ශතකයක් සහ කඩුලු 7ක් දවා ගත් ගස් ඇට්කින්සන් සම්මානයට පාත්‍ර විය.

2012 වසරේදී ඉන්දියාව සමග දෙසැම්බර් 13 වන දා සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජෝ රූට් තමන් පන්දුවට පහර දුන් පළමු ඉනිමේදී ම ලකුණු 73ක් රැස් කිරීමට සමත් විය.