'තත්ත්වය භයානක යි' - ඊශ්‍රායල් අවහිර කිරීම් නිසා කුසගින්නේ සිටින බිළිඳුන් සොයා බීබීසීය ගාසා තීරයට

    • Author, ෆර්ගල් කීන්
    • Role, විශේෂ වාර්තාකරු

අපගේ කැමරාව පසුකරමින් ගිය කිසිවෙකු තුළ අප කෙරෙහි උද්යෝගයක් නොවීය. දරුවන් පමණක් යන්තම් අප දෙස බැල්මක් හෙළූහ. මළවුන් අතර ජීවත් වන, මිය යමින් සිටින, මරණය එන තුරු බලා සිටින දරුවෙකු උද්යෝගයට පත් විය හැක්කේ කුමකින් ද? කුසගින්න ඔවුන්ව විඩාවට පත් කර තිබේ.

ඔවුන් පෝලිම්වල රැඳී සිටින්නේ, ආහාර ස්වල්පයක් වෙනුවෙන් එසේ නැතහොත් ආහාර කිසිවක් ම නොලබමිනි. ඔවුහු මගේ සගයාට සහ බීබීසී පුවත් සේවය වෙනුවෙන් රූගත කිරීම් කරන ඔහුගේ කැමරාවට හුරුවී සිටිති. ඔහු ඔවුන්ගේ කුසගින්න, ඔවුන්ගේ මරණය සහ ඔවුන්ගේ සිරුරු - එසේ නැතහොත් ඔවුන්ගේ ශරීර කොටස් - සුදු පැහැති රෙදිවලින් මෘදු ලෙස ඔතා, ඒවායේ ඔවුන්ගේ නම් ලියා ඇති ආකාරය දැක ඇත.

මාස 19ක් තිස්සේ පැවති යුද්ධයක් සහ ඊශ්‍රායලය අලුතින් එල්ල කරන ප්‍රහාර යටතේ, මෙම ප්‍රාදේශීය කැමරා ශීල්පියා, (ඔහුගේ ආරක්ෂාව සඳහා නම හෙළි නොකරමි) රෝහල් මිදුල්වල දිවි ගලවා ගත් අයගේ දුක්ඛිත කෑමොරදීම් අසා තිබේ.

ඔහු භෞතිකව ඔවුන්ගෙන් බොහෝ දුරස්ව සිටිය ද, දිවා රෑ දෙකෙහි ම ඔවුහු ඔහුගේ මනසෙහි සැරි සරති. ඔහු ද එක ම නිරයක කොටුවී සිටින ඔවුන්ගෙන් ම අයෙකි.

අද උදෑසන ඔහු ඛාන් යුනිස්හි පිහිටි නසාර් රෝහලේ මාස පහක් වයසැති සිවාර් අෂූර් නම් දැරිය සොයා පිටත් විය. කෙසඟ සිරුරකින් යුත් ඇය විඩාවට පත්ව කෑ ගැසූ අතර, මේ මස මුලදී ඔහු ඇයව කැමරාවට හසු කර ගනිමින් සිටියදී දැරියගේ කෑගැසීම ඔහුට මහත් බලපෑමක් ඇති කර තිබිණි. ඔහු ඉන් කම්පනයට පත්වූ බව ඔහු මට ලියා තිබිණි.

ඇගේ බර කිලෝග්‍රෑම් 2කට වඩා මදක් වැඩි ය (රාත්තල් 4 අවුන්ස 6). සාමාන්‍යයෙන් මාස පහක් වයසැති ගැහැනු දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් 6ක් හෝ ඊට වැඩි විය යුතු ය.

සිවාර් රෝහලෙන් පිටව ගොස් නිවසට වී සිටින බව මගේ සගයාට ආරංචි විය. කැන්වස් රෙදි සහ තහඩුවලින් සාදන ලද තාවකාලික නිවාස සහිත වීදිය ඔහුගේ මතකයට නැගිණි.

දුෂ්කර තත්ත්වයන් යටතේ ඔහු ඇයව සොයයි. දින කිහිපයකට පෙර මම ඔහු ගැන විමසමින් පණිවුඩයක් යැව්වෙමි. "මට සනීප නැහැ," ඔහු පිළිතුරු දුන්නේ ය. "ටික වේලාවකට කලින්, ඊශ්‍රායල් හමුදාව ඛාන් යුනිස් නගරයේ ගොඩක් තැන්වලින් ජනාතාවට ඉවත් වෙන්න කියල දැනුම් දුන්නා... අපි මොනව ද කරන්නෙ කියලා හිතාගන්න බැහැ. යන්න තරම් ආරක්ෂාව තියෙන තැනක් නැහැ."

"අල්-මවාසි ප්‍රදේශය අවතැන් වුණ අයගෙන් පිරිලා. අපි අතරමං වෙලා, මේ මොහොතේ ගන්න ඕන හරි තීරණය මොකක් ද කියලා අපිට අදහසක් නෑ."

ඔහුට එක නිදන කාමරයක් සහිත පැල්පතක් හමුවිය. එහි පිවිසුම අළු සහ කළු පැහැති මල් රටා සහිත තිර රෙද්දකින් ආවරණය කර තිබේ. පැල්පත ඇතුළත මෙට්ට තුනක්, ලාච්චු පෙට්ටියක කොටසක් තිබූ අතර, සිවාර්, ඇගේ මව නජ්වා සහ ඇගේ මිත්තණිය වන රීම් ඉදිරිපිට හිරු එළිය පරාවර්තනය කරන කැඩපතක් විය.

සිවාර් නිහඬව සිටින අතර, කාන්තාවන් දෙදෙනාගේ රැකවරණය නිසා ඇය දැන් ආරක්ෂිතව සිටී. දරුණු අසාත්මිකතාවක් හේතුවෙන් දරුවාට නිරන්තරයෙන් ලබා දිය යුතු කිරිපිටි දිරවා ගැනීමේ අපහසුතා පවතී. යුදමය තත්ත්වය සහ ගසා තීරය වෙත ආධාර සැපයීම සඳහා ඊශ්‍රායලය සිදුකර ඇති අවහිර කිරීම් හමුවේ, ඇයට අවශ්‍ය කිරිපිටිවල දැඩි හිඟයක් පවතී.

23 හැවිරිදි නජ්වා පැහැදිලි කරන්නේ, දැරිය නසාර් රෝහලේ සිටියදී ඇගේ තත්ත්වය ස්ථාවර වූ එබැවින් වෛද්‍යවරුන් දින කිහිපයකට පෙර ළදරු කිරිපිටි ටින් එකක් ලබා දී ඇයව රෝහලෙන් මුදාහළ බව ය.

ඇය පවසන්නේ දැන්, නිවසට රැගෙන ඒමෙන් පසු දරුවාගේ බර නැවතත් අඩු වීමට පටන් ගෙන ඇති බව ය. "දොස්තරලා මට කිව්වා සිවාර් හොඳ අතට හැරිලා, කලින්ට වඩා හොඳයි කියලා, නමුත් මම හිතන්නේ ඇය තවමත් කෙට්ටුයි, එතරම් වැඩිලා වෙලා නෑ. ඔවුන් ඇයට දීලා තිබ්බේ එක ම කිරිපිටි ටින් එකක් විතරයි, ඒකත් ඉවර වෙන්න ළඟ යි."

සිවාර්ගේ මුහුණ ඉදිරිපිටින් මැස්සෝ පියාසලති. "තත්ත්වය ගොඩක් භයානක යි," නජ්වා පවසයි, "කෘමි සත්තු එයා ළඟට එනවා, මං එයාව ස්කාෆ් එකකින් වහනවා ආරක්ෂා කර ගන්න ඕන නිසා".

පසුගිය නොවැම්බර් මාසයේ උපත ලද දිනයේ සිට සිවාර් ජීවත් වන්නේ, යුද හඬ සමගිනි. කාලතුවක්කු, රොකට්, බෝම්බ පිපිරීම් - ඈතින් මෙන් ම සමීපයෙන් ද ඇසෙයි. වෙඩි ශබ්ද මෙන් ම, හිසට ඉහළින් කැරකෙන ඊශ්‍රායල් ඩ්‍රෝන යානාවල ශබ්ද ගැන නජ්වා පැහැදිලි කරයි: "එයාට මේ දේවල් තේරෙනවා. යුද්ධ ටැංකි, ප්ලේන් සහ රොකට්වල ශබ්දය හරි ම ඝෝෂාකාරී යි, ඒවා ළඟින් ම ඇහෙනවා. සිවාර් ඒ ශබ්ද ඇහෙනකොට, ගැස්සිලා අඬනවා. එයා නිදාගෙන ඉන්නවා නම්, තිගැස්සිලා ඇහැරිලා අඬනවා."

ගාසාහි වෛද්‍යවරුන් පවසන්නේ, බොහෝ තරුණ මව්වරුන් පෝෂණය නොමැතිකම නිසා තම ළදරුවන්ට මව්කිරි දීමට නොහැකි යැයි පවසන බව ය. දැවෙන ගැටලුව වන්නේ, ආහාර සහ පිරිසිදු ජලය යි.

සිවාර් ඉපදෙන විට නජ්වා මන්දපෝෂණයෙන් පෙළිණි. ඇයට සහ ඇගේ මව රීම්ට තවමත් කෑමට කිසිවක් සොයා ගැනීම දුෂ්කර ය. එය අවදිව සිටින සෑම පැයක ම කරන අරගලයකි. "අපිට මේ මිල ගණන් එක්කයි, දේශසීමා වසා දැමීම එක්කයි කිරිපිටිවත් ඩයිපර්වත් ගන්න විදිහක් නෑ."

මැයි 22 වන දින, ඊශ්‍රායල් හමුදා නියෝජිත ආයතනයක් වන කොගාට් පැවසුවේ, ගාසා තීරයේ ආහාර හිඟයක් නොමැති බව ය. මෑත දිනවල "ළදරු ආහාර සහ බේකරි සඳහා පිටි සැලකිය යුතු ප්‍රමාණයක්" එම ප්‍රදේශයට ගෙනැවිත් ඇති බව එහි සඳහන් විය.

හමාස් සංවිධානය ආධාර සොරකම් කරන බව එම ආයතනය නැවත නැවතත් අවධාරණය කරන අතර, ඊශ්‍රායල් රජය පවසන්නේ, හමාස් සංවිධානය විනාශ කර ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යන බව ය. අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අනුව, 2023 ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින අතර තවත් 30 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විශ්වාස කෙරේ.

ආධාර සපයන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බ්‍රිතාන්‍යය ඇතුළු බොහෝ විදේශීය රජයන්, ආහාර හිඟයක් නොමැති බවට කොගාට් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ගාසා තීරයේ ජනතාව "කුසගින්නෙන් පෙළෙන" බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබේ.

ගාසා තීරයට ඊශ්‍රායලය ලබා දී ඇති ආධාර ප්‍රමාණය "තේ හැන්දක" තරම් යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විස්තර කළේ ය. ඉන්ධන, නවාතැන් පහසුකම්, ගෘහස්ථ ගෑස් සහ ජල පිරිපහදු සැපයුම් සීමිත වීමත් සමග පලස්තීනුවන් "මෙම කුරිරු ගැටුමේ කුරිරු ම අවධියට මුහුණ දෙමින්" සිටින බව ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසා තීරයෙන් 80%ක් දැන් ඊශ්‍රායල් හමුදාවට නතුවූ කලාපයක් ලෙස හෝ ජනතාවට ඉවත්ව යන ලෙස නියෝග කර ඇති ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.

මෙම යුද්ධය පුරා ම ප්‍රතික්ෂේප කිරීම්, කණස්සල්ල පළ කිරීම්, හෙළා දැකීම් සහ හැරවුම් ලක්ෂ්‍යයන් සේ පෙනෙන අවස්ථා කොතෙකුත් ඇති වී නැති වී ගිය ද, නොවෙනස්ව පවතින එක ම නියතය ලෙස පවතින්නේ, නජ්වා සහ ඇගේ දියණිය සිවාර් වැනි ගාසා තීරයේ මිලියන 2.1ක ජනතාවගේ දුක් වේදනා පමණි.

"කිසි ම කෙනෙක් අනාගතය ගැනවත් අතීතය ගැනවත් හිතන්නේ නැහැ," නජ්වා පවසයි.

ඔවුන් තුළ ඇත්තේ, වර්තමාන මොහොතට මුහුණ දෙන්නේ කෙසේ ද? සහ මෙම උවදුරෙන් ගැලවෙන්නේ කෙසේ ද? යන සිතිවිලි පමණි.

අතිරේක වාර්තාකරණය: මලක් හසූනේ, ඇලිස් ඩොයාර්ඩ් සහ නික් මිලාර්ඩ්.