ජන සංහාරයකට උල්පන්දම් දීම වැළැක්වීමට ඊශ්‍රායලය ප්‍රමාණවත් පියවර ගෙන තිබේ ද?

    • Author, නටාලී මර්සෝගී සහ මාරියා රෂෙඩ්
    • Role, බීබීසී අරාබි සේවය

"දැන් ගාසා තීරය පුච්චලා දාන්න, කරන්න වෙන දෙයක් නෑ!" ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ (ඊශ්‍රායල් පාර්ලිමේන්තුව 'Knesset' නමින් හැඳින්වේ) නියෝජ්‍ය කතානායකවරයා නොවැම්බර් මාසයේදී X හි මෙම අදහස පළ කළ විට, එම සමාජ මාධ්‍ය වේදිකාව ඔහු අවහිර කර එය මකා දමන ලෙස දන්වා සිටියේ ය.

නිසිම් වතුරි ඔවුන් දැනුම් දුන් පරිදි ක්‍රියා කළ අතර, පසුව ඔහුගේ X ගිණුම යළිත් සක්‍රීය විය. එහෙත්, ඔහු සමාව ඉල්ලුවේ නැත. ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ගාසා තීරයේ ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් එරට සන්නද්ධ හමුදා විසින් සිදු කරනු ලබද්දී, ඔහුගේ ප්‍රකාශය ඇතැම් ඉහළ පෙළේ ඊශ්‍රායල් ජාතිකයන් විසින් කරන ලද බොහෝ මතභේදාත්මක ප්‍රකාශ අතරින් එකකි.

X හි තවමත් දැකිය හැකි එම අදහස, ගාසා යුද්ධයේදී ඊශ්‍රායලය, පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් කරන බවට දකුණු අප්‍රිකාව චෝදනා කරමින් ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව ගොනු කළ නඩුවේදී උපුටා දක්වන ලදී. ඊශ්‍රායලය එම නඩුව හැඳින්වූයේ, "මුළුමනින් ම පදනම් විරහිත සහ "පක්ෂපාතී, සාවද්‍ය චෝදනා" මත පදනම් වූවක් ලෙස ය.

අදාළ නඩුව සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී දෙන ලද අතරමැදි විනිශ්චයකදී, ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේ, ජන සංහාරයක් සඳහා පෙළඹවීම් ඇති කරන ප්‍රකාශ ප්‍රසිද්ධියේ නිකුත් කිරීමෙන් ඊශ්‍රායලය වැළකී සිටිය යුතු බව ය. එය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට බලයක් නැතත්, ප්‍රකෝප කළ හැකි අවස්ථා විමර්ශනය කර නඩු පැවරීමට තමන් ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කෙරෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඊශ්‍රායලය එකඟ විය. එම වාර්තාව පෙබරවාරි මාසයේදී ලැබුණු බව අධිකරණය තහවුරු කළ නමුත් එහි අන්තර්ගතය ප්‍රසිද්ධියට පත් කර නැත.

ඇතැම් නීති විශේෂඥයින් විශ්වාස කරන්නේ, ඊශ්‍රායලය අදාළ නඩු විභාග කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බව ය. "ජන සංහාරයට උල්පන්දම් දෙන හෝ ජන සංහාරයකට පොළඹවන සුළු ආකාර්ෂණීය කතා භාවිත කරන ඊශ්‍රායල ජාතිකයින් නීතිමය වශයෙන් ආරක්ෂාව ලබනවා," ඊශ්‍රායලයේ මානව හිමිකම් නීතිඥ මයිකල් ස්ෆාර්ඩ් පවසයි.

ජාත්‍යන්තර සහ ඊශ්‍රායල නීතිය යටතේ අපරාධයක් වන ජන සංහාරයට පෙළඹවීම ඔප්පු කිරීම දුෂ්කර ය. ජන සංහාරය යනු ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ කිරීමට අදහස් කරන ක්‍රියාවන් ලෙස අර්ථ දැක්වේ. එහෙත්, ජන සංහාරයට පෙළඹවීම සහ ප්‍රචණ්ඩත්වය හෝ ජාතිවාදය අවුළුවාලීම අතර වෙනස හඳුනා ගැනීම - සහ භාෂණයේ නිදහස ලෙස සැලකිය හැකි දේ - සංකීර්ණ විය හැකි ය.

ජාත්‍යන්තර අධිකරණයේ නියෝගයෙන් පසු කරන ලද ප්‍රකාශ කිහිපයක් දෙස බලා ඔවුන් නියෝගය කඩ කර ඇත්දැයි බැලීමට සහ ඔවුන්ගේ තක්සේරුව සඳහා නීති විශාරදයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට බීබීසී පියවර ගෙන තිබේ. ඊට අමතරව, මෙම තීන්දුව ඊශ්‍රායලය දෙසට යොමු වූ එකක් වුවද, ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරය පිළිබඳව ඇතැම් හමාස් නිලධාරීන් භාවිත කළ භාෂාව ද අපි විමසු බැලුවෙමු.

ගැටුම නිරීක්ෂණය කරන ලොව පුරා සිටින විශේෂඥයින් සහ පර්යේෂකයන්ගේ ජාලයකින් සැදුම් ලත් පලස්තීන හිතවාදී මානව හිමිකම් ආයතනයක් වන Law for Palestine සංවිධානය, ඊශ්‍රායල් නිලධාරීන් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින් ජන සංහාරයට පෙළඹවීම් කර ඇති බවට විශ්වාස කරන අවස්ථා සොයා බැලී ය.

ඊශ්‍රායල් ජාතිකයන් එහි පදිංචි විය යුතු බව පවසමින් බෙන්-ගිවියර් පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටවීම දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ ය.

වාර්ගික වශයෙන් වෙනස් කොට සැලකීමේ, අරාබි විරෝධී ප්‍රතිපත්තිවලට අනුබල දීම සම්බන්ධයෙන් පුළුල් ලෙස විවේචනයට ලක්ව ඇති අධිජාතිකවාදී පක්ෂයකට ඔහු නායකත්වය දෙයි. ජාතිවාදය ඇවිස්සීම සහ ත්‍රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අධිකරණයකින් ඔහුට මීටපෙර දඬුවම් නියම කර ඇත - එය ඔහු රජයට එක් වීමට පෙර සිට පැවතිණි.

ජනවාරියේ ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුවෙන් දින දෙකකට පසු, ගාසා තීරයෙන් ඉවත් වීමට පලස්තීනුවන් දිරිමත් කිරීම සහ ඔවුන් වෙනුවට ඊශ්‍රායල් වැසියන් පදිංචි කිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් ඔහු යෝජනා කළේ ය. ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය නැවත සිදුවීම වැළැක්වීම සඳහා "අපි ආපසු මව්බිමට පැමිණ [ගාසා] භූමිය පාලනය කළ යුතුයි... සංක්‍රමණය දිරිමත් කරමින් ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය ලබා දිය යුතු යි”, පවසමින් ඕනෑ ම සංක්‍රමණයක් ස්වේච්ඡාවෙන් කළ යුතු බවට ඔහු යෝජනා කළේ ය.

Law for Palestine ආයතනයේ නිර්මාතෘ ඉහ්සාන් ඇඩෙල් පවසන්නේ, "ගාසා තීරයේ සිදුවෙමින් පවතින වාර්ගික පවිත්‍රකරණයේ කොටසක් ලෙස ගාසා තීරයේ ජනතාව ඉවත් කිරීම අපි සලකනවා." ඔහු විශ්වාස කරන්නේ, එම ප්‍රකාශ වාර්ගික සංහාරය සඳහා පෙළඹවීමක් ලෙස සැලකිය යුතු බවත්, ජන සංහාරයක් සිදුවෙමින් පවතින බවත් ය. එය, ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරන චෝදනාවකි.

කෙසේ වෙතත්, සෑම දෙනා ම ඔහුගේ තක්සේරුව සමග එකඟ නැත. "මම අනිවාර්යයෙන් ම එවැනි ප්‍රකාශයන් ආරක්ෂා කිරීමට යන්නේ නැත, නමුත් ඒවා ජන සංහාරයක මට්ටමට බරපතළ නැහැ," ඊශ්‍රායල් හිතවාදී ස්ථාවරයක් දරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා කරන NGO Monitor ආයතනයේ නීති උපදේශකවරියක වන ඈන් හර්ස්බර්ග් පවසයි.

ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා බෙන්-ගිවීර් හෝ වතුරිගෙන් බීබීසී පුවත් සේවය කළ ඉල්ලීමට ප්‍රතිචාර නොලැබිණි.

දේශපාලඥයින් පවසන දේ සහ ඊශ්‍රායල සොල්දාදුවන් පවසන දේ අතර වන සම්බන්ධය ජාත්‍යන්තර අධිකරණයේ විභාගයට ගැනුණු දකුණු අප්‍රිකා නඩුවේ මූලික කොටසකි.

2023 අග භාගයේ සිට යූ ටියුබ් වීඩියෝවක, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) සොල්දාදුවන් පිරිසක් "අත්පත් කර ගනු, නෙරපා හරිනු සහ පදිංචි වනු” (“Occupy, expel and settle") යනුවෙන් කෑගසන ආකාරය ඇසිය හැකි ය. ගාසා තීරය විනාශ කිරීම සරදමට ලක් කරමින් සහ සමරමින් ජනවාරි මාසයේ අධිකරණ තීන්දුවෙන් පසුව සොල්දාදුවන් වෙනත් වීඩියෝ දර්ශන සකසා තිබේ.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා අපට පැවසුවේ, ඔවුන් විසින් ඉන්ටර්නෙට් වීඩියෝ වාර්තා පරීක්ෂා කරන බවත් සාපරාධී වරදක් කර ඇතැයි සැකයක් ඇත්නම්, මිලිටරි පොලිසිය එය විමර්ශනය කරන බවත්, "පරීක්‍ෂා කරන ලද සමහර අවස්ථාවලදී, දර්ශනවල සොල්දාදුවන්ගේ ප්‍රකාශනය හෝ හැසිරීම නුසුදුසු බව නිගමනය කළහොත් ඒ අනුව එයට අවශ්‍ය පියවර ගන්නා" බව ය.

ඊශ්‍රායලයේ ආගමික නායකයන් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. ඊශ්‍රායල් රාජ්‍යය කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති ඊශ්‍රායලයේ සියොන්වාදී යෙෂිවා නමැති යුදෙව් ආගමික පාසල් සඳහා වූ සම්මන්ත්‍රණයකදී මාර්තු මාසයේදී දේශනයක් පැවැත්වීමෙන් පසු රබ්බි එලියාහු මාලි පිළිබඳ අවධානයක් යොමු විය. රබ්බි මාලි යනු ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරමුදල් ලබන ජාලයක කොටසක් වන යෙෂිවා අධ්‍යාපන ආයතනයක ප්‍රධානියා ය. එහි සිසුන් හමුදා සේවය සමග ටෝරා අධ්‍යයනය සම්මිශ්‍රණය කරගෙන සිටී.

ඔහු සම්මන්ත්‍රණය "යුද්ධය අතරතුර ගාසා තීරයේ සිවිල් ජනතාවට සැලකීම" පිළිබඳව වන බවට විස්තර කළේය.

එහි වීඩියෝවක් ඉන්ටර්නෙට්හි සංසරණය විය. ශුද්ධ වූ යුද්ධ පිළිබඳ 12 වන සියවසේ යුදෙව් විද්වතෙකු උපුටා දක්වමින් රබ්බි මාලි මෙසේ පැවසීය: "[එසේ නම්] අපට ඇති මූලික නීතිය වන ශුද්ධ ලියවිල්ලට අනුව, අපි මිට්ස්වා යුද්ධයක් කරන විට, මෙම සිද්ධියේදී නම් ගාසා තීරය, 'ඔබ එකඳු ආත්මයකට හෝ ජීවත් වීමට ඉඩ නොතබනු ඇත', එම විස්තර කිරීම ඉතා පැහැදිලි යි - ඔබ ඔවුන්ව නොමැරුවොත්, ඔවුන් ඔබව මරා දමනු ඇත."

යුදෙව් ආගමේ, මිට්ස්වා යුද්ධයක් යනු යුදෙව් ජීවිතය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට අදාළ වන අතර එය තෝරා ගැනීමකට වඩා අනිවාර්ය කටයුත්තක් ලෙස සැලකේ.

අප රබ්බි මාලි සම්බන්ධ කර ගත් අතර, ඔහු වෙනුවෙන් අප වෙත යොමු කරන ලද ප්‍රතිචාරයක දැක්වුණේ, ඔහුගේ වචන "උපුටා ගැනීම් දැඩි ලෙස වැරදි ලෙස නිරූපණය කර ඇති," බව ය.

එහි දක්වා තිබුණේ ඔහු පුරාණ කාලයේ දැක්වූ ස්ථාවරය කුමක්දැයි දක්වා ඇති නමුත්,"දැන් එම බයිබලානුකුල ආඥාව පිළිපදින ඕනෑම අයෙකු හමුදාවට සහ ජාතියට අන්ත හානියක් සිදු කරන බව" ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත්; ජාතික නීතිය යටතේ "කුඩා දරුවෙකුගේ සිට මහල්ලෙකු දක්වා සිවිල් ජනතාවට හානි කිරීම තහනම් කර තිබෙන" බවත් ය.

අප සම්පූර්ණ කතාව නැරඹූ අතර, අවස්ථා කිහිපයකදී ඔහු අවසානයේදී ඇතුළුව එම කරුණු ප්‍රේක්ෂකයින්ට මතක් කර දුන් අතර ආරම්භයේදී ම පැවසුවේ "හමුදා නියෝගවලින් කියන දේ හරියට ම කළ යුතු යි,” යනුවෙනි.

කෙසේ වෙතත්, දේශනය අතරතුර, ඔහු විශේෂයෙන් ගාසා තීරයේ වැසියන් ගැන සඳහන් කරමින් පැවසුවේ: "මම හිතන්නේ වෙනත් ස්ථානවල සිවිල් ජනගහනය සහ ගාසා තීරයේ සිවිල් ජනගහනය අතර වෙනසක් තියෙනවා," යනුවෙනි. ඔහු එසේ පැවසුවේ, "අපේ මළ සිරුරු ගැන 95% ඉඳලා 98% දක්වා උනන්දු යි. ඒක බහුතර ප්‍රතිශතයක්. ඒක හිතා ගන්න බැහැ," යනුවෙන් තහවුරු කළ නොහැකි චෝදනාවක් එක් කරමිනි.

කතාව අසා සිටි අයෙකු දරුවන් ගැන විමසූ අවස්ථාවේ ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වීය: "ඒක ම තමයි... ටෝරා කියන්නේ, 'කිසි ම ආත්මයකට පණ පිටින් ඉන්න දෙන්න එපා කියලා'... අද ඔහු දරුවෙක්, හෙට තරුණයෙක්, ඊට පස්සෙ සටන්කරුවෙක්."

එම කතාව අතරතුර, රබ්බි ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු සටන් කිරීමට ගිය තම පුතාට පැවසූ දේ ද විස්තර කළේ ය. ඔහු පැවසුවේ, ඔහු "සෙලවෙන සියල්ලන් මරා දැමිය යුතු" බව ය. ඔහු තම ස්ථාවරය පැහැදිලි කළේ, තම පුතාගේ අණ දෙන නිලධාරියා තමාට එය ම පැවසූ බවත්, "සෙන්පතියාගේ නියෝගවලට සවන් දෙන ලෙස" තම පුතාට උපදෙස් දුන් බවත් ය.

පසුව, ටෝරාහි (පැරණි හීබෲ බයිබලයේ මුල් පොත් පහ) දක්වා ඇති දේ සොල්දාදුවන් කරනු ඇතැයි තමා අපේක්ෂා නොකළ බව ඔහු නැවත නැවතත් පැවසීය. රාජ්‍යයේ නීති ටෝරාහි නීතිවලට පටහැනි නම්, අනුගමනය කළ යුත්තේ රාජ්‍ය නීතිය බවත්, "රාජ්‍යයේ නීතිවලට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදීන් ඝාතනය කිරීම මිස සිවිල් ජනතාව නොවන" බවත් ඔහු පැවසීය.

ජාතිවාදයට සහ වෙනස් ලෙස සැලකීමට එරෙහිව උද්ඝෝෂණ කරන ඊශ්‍රායල් කණ්ඩායමක් වන Tag Meir හි නීතිවේදියෙකු වන එයිටේ මැක් පවසන්නේ, ජන සංහාරය, ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය සඳහා පෙළඹවීම සම්බන්ධයෙන් සැකපිට රබ්බි පිළිබඳව විමර්ශනය කරන ලෙස තමා පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව ය.

ඔහු පවසන්නේ, තමන් ඉල්ලා සිටින පරීක්ෂණය සිදු කරන්නේ දැයි දැන ගැනීමට තමන් තවමත් බලා සිටින බව ය.

ජාත්‍යන්තර අධිකරණයේ පැවති නඩු විභාගයේදී දකුණු අප්‍රිකාව විසින් කරන ලද තවත් ප්‍රකාශයක් වූයේ, "ජන සංහාරක පණිවිඩ - වාරණ හෝ අවසරයකින් තොරව - ඊශ්‍රායල් මාධ්‍ය තුළ නිතිපතා විකාශනය වීම" ගැන ය.

පෙබරවාරියේ, දක්ෂිණාංශික චැනල් 14 මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී යාකි ඇඩම්කර් මෙසේ පැවසීය: "මා සලකන පරිදි, ගාසා වැසියන් බඩගින්නේ මිය යා හැකි ය. මම ඔවුන් වෙනුවෙන් මොනව කරන්න ද?"

අප්‍රේල් මාසයේදී, රට තුළ වැඩිපුර ම නරඹන ලද නාලිකාව වන චැනල් 12හි ඊශ්‍රායල් මාධ්‍යවේදියෙකු වන යෙහුඩා ස්ක්ලෙසිංගර් ද සමාන හැඟීම් දරමින් මෙසේ පැවසීය: "ගාසා තීරයේ අහිංසකයන් නැහැ. ඔවුන් හමාස් එකට ඡන්දය දුන්නා, ඔවුන්ට හමාස් අවශ්‍ය යි."

NGO Monitor ආයතනයේ ඈන් හර්ස්බර්ග් අනුව, මෙය "ගාසා තීරයේ මිනිසුන් සහ ඔවුන් අත්විඳින දේ කෙරෙහි කැළඹිලිසහගත සංවේදනයේ අඩුවක්" වන නමුත් "එය ජන සංහාරයක් සඳහා කැඳවීමක් නොවන" පෙනියන්නකි.

බීබීසී පුවත් සේවය රූපවාහිනී නාලික දෙක ම සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ප්‍රතිචාරයක් නොලැබිණි. යෙහුඩා ස්ක්ලෙසිංගර් පිළිතුරු දෙමින්, ඔක්තෝබර් 7 දා ම්ලේච්ඡත්වය ඉස්මතු කළේ ය.

බලධාරීන් විකාශනය කරන දේ වඩාත් දැඩි ලෙස නියාමනය කළ යුතු ද යන්න සම්බන්ධයෙන්, ඊශ්‍රායල් මානව හිමිකම් නීතිවේදියෙකු වන මයිකල් ස්ෆාර්ඩ් අනතුරු අඟවමින් කියා සිටියේ, "රාජ්‍යය වන නියාමකයින්, ප්‍රකෝපකාරී අදහස් දක්වන පුද්ගලයන් මහජන විකාශනය සූරාකෑමට ලක් නොකරන බවට වග බලා ගත යුතු," බව ය.

ජන සංහාරයක් සඳහා පෙළඹවීම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව ඊශ්‍රායලය වෙත යොමු වූ අතර, හමාස් වෙත "ජන සංහාරක චේතනාවෙන්" ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ නීති උපදේශක ටාල් බෙකර් පවසන්නේ, "හමාස් ප්‍රඥප්තියේ සමූල ඝාතනවාදී භාෂාව එහි නායකයන් නිතිපතා පුනරුච්චාරණය කරනවා" යනුවෙනි.

2021 වසරේදී, හමාස්හි නායකයා බවට පත්වූ යෙහ්යා සින්වර් පැවසුවේ: "ජිහාඩ් සහ සන්නද්ධ අරගලය හරහා ඊශ්‍රායලය තුරන් කිරීමට අපි සහය දෙන්නෙමු, එය අපගේ ධර්මය යි," යනුවෙනි.

තව ද, වඩාත් මෑතකදී, ඇතැම් හමාස් නිලධාරීන් තමන්ට ඔක්තෝබර් 7 වන දා එල්ල කළ ආකාරයේ ප්‍රහාර නැවත එල්ල කිරීමට අවශ්‍ය බව පවසා තිබේ. (එම කාලය තුළ පුද්ගලයින් 1,200ක් පමණ මිය ගියහ. - වැඩි වශයෙන් සිවිල් වැසියන් - සහ 251 ක් ප්‍රාණ ඇපයට ගෙන ඇත.)

නොවැම්බරයේදී හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජික ගාසි හමාඩ් පැවසුවේ, "අපි ඊශ්‍රායලයට පාඩමක් ඉගැන්විය යුතු අතර අපි මෙය නැවත නැවතත් කරන්නෙමු," යනුවෙනි.

ඒ අතර ම, විදේශයන්හි කටයුතු භාර හමාස් නායක කලිඩ් මෂාල්, ඔක්තෝබර් 7 "ඊශ්‍රායලය තුරන් කිරීම සඳහා අධිවේගී මාර්ගයක් විවෘත කළ" බව පැවසීය.

ප්‍රතිචාර දක්වන ලෙස බීබීසී පුවත් සේවය හමාස් සංවිධානයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර නොලැබිණි.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ වෙනත් රටවල් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති - කණ්ඩායම වගකීම භාර ගනු දැකීම බොහෝ දෙනෙකුට අවශ්‍ය වේ.

"ඔවුන්ට ජන සංහාරක චේතනාවක් ඇති බව ඉතා පැහැදිලි යි. හමාස් ගැන විමර්ශනය කිරීම ගැන අපට ඇසෙන්නේ ඉතා අල්ප වශයෙන්. මම හිතන්නේ එය මෙම සමස්ත ගැටුමේ ඇත්තට ම අතුරුදන් වූ කොටසක්," බව NGO Monitorහි ඈන් හර්ස්බර්ග් පවසයි.

ඊශ්‍රායල් ක්‍රියාවන් පිළිබඳ තමන්ගේ විවේචන සම්බන්ධයෙන් දැඩි ලෙස අභියෝගයට මුහුණ දී සිටින -විශේෂයෙන් ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ - , පලස්තීන ප්‍රදේශවල මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, ෆ්‍රැන්සිස්කා ඇල්බනීස්, හමාස් නායකයින් වගකිව යුතු බව පවසයි. නමුත් ඇය පවසන්නේ, "ජන සංහාරය තක්සේරු කිරීමේදී, නායකයන් පවසන වචන දෙස බැලීම එක ක්‍රමයක්, ඒ වගේ ම ජන සංහාරයක් කරන්න තියෙන හැකියාව සොයා බැලිය යුතු යි. හමාස් සංවිධානයට ඒක නැති බව පෙනෙනවා."

ඊශ්‍රායලය මෙන් හමාස් සංවිධානය රාජ්‍යයක් නොවන හෙයින් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා නොහැක. කෙසේ වෙතත්, වෙනත් ආයතනයක් වන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාග කළ හැකි ය. මැයි මාසයේදී එහි නීතිඥවරයා හමාස් නායකයන් වන යෙහ්යා සින්වර්, මොහොමඩ් ඩෙයිෆ් සහ ඉස්මයිල් හනියේ (හනියේ ඉරානයේදී ඝාතනය කර ඇති අතර ඊශ්‍රායලය පවසන්නේ, ගාසාහිදී ඩෙයිෆ් ඝාතනය කළ බව ය) මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීය. ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සඳහා ද වරෙන්තු ඉල්ලා සිටියේය. හමාස් සහ ඊශ්‍රායලය ප්‍රතිචාරය දැක්වූයේ කෝපයෙනි.

ප්‍රචණ්ඩත්වයට පොළඹවන බවට සැක කරන පුද්ගලයින් ඉන් වැළැක්වීමට සහ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ඊශ්‍රායල් බලධාරීන් ගන්නා පියවරක් වශයෙන්, සිවිල් වැසියන්ට හිතාමතා ම හානි කරන ලෙස ඉල්ලා සිටින ඕනෑ ම ප්‍රකාශයක් "පෙළඹවීමේ වරදක් ඇතුළුව සාපරාධී වරදක් විය හැකි" බව රටේ නීතිපතිවරයා සහ රජයේ නීතිපතිවරයා පිළිගෙන ඇත. ජනවාරි මාසයේදී ජාත්‍යන්තර අධිකරණය නඩු විභාගය ආරම්භ කිරීමට පෙර ඔවුන් පැවසුවේ, සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව ය.

කෙසේ වෙතත්, මෑතකදී Haaretz වාර්තා කළේ, "ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීමට කැඳවූ" ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් සහ සාමාජිකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ ප්‍රභූ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ ආරම්භ නොකළ යුතු බවට රජයේ නීතිපතිවරයා නිර්දේශ කර ඇති බව ය. අවසාන තීරණය නීතිපතිවරයා සතු ය.

අදහස් දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය ඊශ්‍රායලයේ රාජ්‍ය නීතීඥ, පොලිස් කොමසාරිස් සහ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධ කර ගත්තේ ය. අධිකරණ අමාත්‍යාංශය පමණක් පිළිතුරු දෙමින් කියා සිටියේ, “හානිකර පෙළඹවීම්වලින් ආරක්‍ෂා කර ගනිමින් භාෂණයේ නිදහස සඳහා ව්‍යවස්ථාපිත අයිතිය සමතුලිත කළ යුතු” බව ය. ඔවුන් තවදුරටත් මෙසේ පැවසීය: "පෙළඹවීමේ වැරදි අවම කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් නිරන්තරයෙන් ක්‍රියා කරන අතර මෑත මාසවලදී ඊශ්‍රායලයේ නීතිපතිවරයා මෙම ප්‍රයත්නයන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ." යනුවෙනි.

ජාත්‍යන්තර අධිකරණය එහි නඩුවේ අවසාන තීන්දුවක් සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටිද්දී, මිනිසුන් දිගට ම මිය යමින් තිබේ- ඔක්තෝබර් මාසයේ සිට පලස්තීනුවන් 40,000කට වැඩි පිරිසක් ගාසා තීරයේදී මරා දමා ඇති බව වාර්තා වන බව එහි හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.