හමාස් සංවිධානයේ වඩාත් ම කැපී පෙනෙන නායකයින් කවුද?

ඔක්තෝබර් 7 සෙනසුරාදා අලුයම හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ දා සිට, නිරීක්ෂකයින් සහ යුද්ධ විශ්ලේෂකයින් පවසන පරිදි ඊශ්‍රායලය පුදුමයට පත් කළ "ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ්" සැලසුම්කර සංවිධානය කළ පුද්ගලයින් පිළිබඳව ප්‍රශ්න පැන නැගී ඇත.

ගාසා තීරය පාලනය කරන සටන්කාමී පලස්තීන කණ්ඩායමක් වන හමාස්හි ඉහළ ම පෙළේ පුද්ගලයන් බොහෝ දෙනෙකු මාධ්‍යවල මුහුණු ආවරණ පැළඳ පෙනී සිටින අතර, අනෙක් පිරිස ඊශ්‍රායලයේ ඝාතන උත්සහයන් මඟහරිමින් ඔවුන්ගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගත කර ඇත.

මෙහිදී අපි වඩා ත් කැපී පෙනෙන වත්මන් හමාස් නායකයන් - දේශපාලන චරිත සහ ඉස් අල්-දීන් අල්-කසාම් බලකායේ අණ දෙන නිලධාරීන් යන දෙපිරිසම - දෙස අවධානය යොමු කරන්නෙමු.

මොහමද් ඩෙයිෆ්

"අබු ඛලීඩ්" සහ "අල්-ඩෙයිෆ්" යන අන්වර්ථ නාමවලින් හඳුන්වන ඔහුගේ නම මොහමද් දියාබ් අල්-මස්රි ය. ඔහු හමාස් සංවිධානයේ හමුදා හස්තය වන ඉස් අල්-දීන් අල්-කසාම් බලකායේ නායකත්වය දරයි. ඔහු 1965 වසරේ දී ගාසාහි උපත ලැබීය.

පලස්තීනුවන් ඔහු දැන සිටින්නේ, "ද මාස්ටර්මයින්ඩ්" ලෙස වන අතර ඊශ්‍රායල ජාතිකයන් ඔහු "ද මෑන් ඔෆ් ඩෙත්" හෝ "ද ෆයිටර් විත් නයින් ලයිව්ස්" ලෙස හඳුන්වයි.

ඔහු ගාසාහි ඉස්ලාමීය විශ්වවිද්‍යාලයයෙන් ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. එහිදී ඔහු රංගනයට සහ රංග කලාවට ඇති ඇල්ම නිසා ප්‍රසිද්ධ වූ අතර, කලා කටයුතු සඳහා කණ්ඩායමක් ද පිහිටුවා ගත්තේ ය.

හමාස් පිහිටුවීම ප්‍රකාශයට පත් කළ විට, ඔහු පැකිලීමකින් තොරව එහි ශ්‍රේණින්ට එකතු විය. ඊශ්‍රායල බලධාරීන් ඔහුව 1989 දී අත්අඩංගුවට ගත් අතර ඔහු මාස ​​16ක් රැඳවුම් භාරයේ ගත කළේය.

ඔහු සිරගතව සිටිය දී, ඊශ්‍රායල භටයින් ග්‍රහණයට ගැනීමේ අරමුණින් හමාස් වෙතින් වෙන්ව ව්‍යාපාරයක් පිහිටුවීමට ඩෙයිෆ් සකාරියා අල්-ෂෝර්බාගි සහ සාලා ෂෙහාදේ සමග එකඟතාවකට පැමිණියේ ය. මෙය අල්-කසාම් බලකායන් බවට පත් විය.

ඩෙයිෆ් සිරෙන් නිදහස් වූ පසු, ඉස් අල්-දීන් අල්-කසාම් බලකාය හමුදාමය මුහුණුවරක් ගත් බලකායක් ලෙස පෙනී සිටීමට පටන්ගත් අතර, ඩෙයිෆ් එහි ආරම්භකයකු ලෙස අනෙකුත් කසාම් නායකයන් සමග එහි පෙරමුණේ සිටියේ ය.

ඩෙයිෆ්, හමාස් සටන්කාමීන්ට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ඇතුළුවීමට ඉඩ සලසන උමං මාර්ග ඉදිකිරීමේ ඉංජිනේරුවරයා වූ අතර රොකට් විශාල ගණනක් එල්ල කිරීමේ උපාය මාර්ගයට අනුබල දුන් අයගෙන් ද කෙනෙකි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව ඇති බරපතලම චෝදනා වන්නේ, හමාස් සංවිධානයේ බෝම්බ නිෂ්පාදනය කළ යෙහ්යා අය්යාෂ්ගේ ඝාතනයෙන් පසු පළිගැනීමේ මෙහෙයුම් මාලාවක් සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම - එනම්, 1996 ආරම්භයේ දී ඊශ්‍රායල ජාතිකයින් 50 දෙනෙකු පමණ මියගිය බස් බෝම්බ ප්‍රහාර - සහ 1990 මැද භාගයේ දී ඊශ්‍රායල භටයින් තිදෙනෙකු ග්‍රහණයට ගෙන ඝාතනය කිරීමට සම්බන්ධ වීම ය. ඊශ්‍රායලය ඔහු අත්අඩංගුවට ගෙන 2000 වසරේ දී සිරගත කළ නමුත් "දෙවන ඉන්ටිෆාඩාව" ලෙස හැඳින්වෙන නැගී සිටීම ආරම්භයේ දී ම ඔහු ඔහු ග්‍රහණයට ගෙන සිටින අයගෙන් මිදී පළායාමට සමත් වූ අතර එතැන් සිට ඔහු ඔහු පිළිබඳව කුඩා හෝඩුවාවක් හෝ ඉතිරි නොකළේ ය.

ඩෙයිෆ්ගේ ඡායාරූප ත්‍රිත්වයක් තිබේ: ඉන් එකක් ඉතා පැරණි ය, දෙවැන්නේ ඔහු මුහුණු ආවරණයක් පැළඳ සිටියි, තුන්වැන්න ඔහුගේ සෙවනැල්ලේ ඡායාරූපයකි.

ඔහු ඝාතනය කිරීමට ගත් බරපතළ ම ප්‍රයත්නයන් සිදුවූයේ 2002 වසරේ දී ය: ඩෙයිෆ් ආශ්චර්යවත් ලෙස දිවි ගලවාගත් නමුත් ඔහුට ඔහුගේ එක් ඇසක් අහිමි විය. ඊශ්‍රායලය පවසන්නේ, ඔහුට ඔහුගේ එක් පාදයක් සහ අතක් ද අහිමි වූ බව ත්, විවිධ ඝාතන ප්‍රයත්නයන්ට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට කතා කිරීමේ අපහසුතාවක් පවතින බව ත් ය.

2014 වසරේ දී, ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කළ දින 50කට වැඩි කාලයක් පැවති ප්‍රහාර අතරතුර, ඊශ්‍රායල හමුදාව නැවතත් ඩෙයිෆ් ඝාතනය කිරීමට අසමත් වූ නමුත් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකු මරා දැමීය.

"ද කල්වුන්" නම් නාට්‍යයේ "අබු ඛලීඩ්" ලෙස රඟ දැක්වීම තුළින් ඔහුට "අබු ඛලීඩ්" යන අන්වර්ථ නාමය පටබැඳිණි. "අබු ඛලීඩ්" යනු, මධ්‍යතන යුගයේ මුල් අවධියේ උමයියාද් සහ අබ්බාසිද් යුගය අතර කාලයේ ජීවත් වූ ඓතිහාසික චරිතයකි.

ඩෙයිෆ්, අරාබි බසින් "ආගන්තුකයා" යන අර්ථය ගෙන දෙන අතර, එය ඔහු ඊශ්‍රායල් ඝාතන ප්‍රයත්නයන්ගෙන් ගැලවීමට සෑම රැයක් ම ගෙවීමට නව ස්ථානයක් වෙත ගමන් කිරීමෙන් හා කිසිදු විටෙක වැඩි කලක් එක තැනක නොසිටීම නිසා තෝරා ගන්නා ලද අන්වර්ථ නාමයකි.

මර්වාන් ඊසා

"ෂැඩෝ මෑන්" හෙවත් මර්වාන් ඊසා මොහොමඩ් ඩෙයිෆ්ගේ දකුණු අත වන අතර ඉස් අල්-දීන් අල්-කසාම් බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ය. ඔහු හමාස් සංවිධානයේ දේශපාලන හා හමුදා කාර්යාංශයේ සාමාජිකයෙකි.

ඔහු කුඩා වියේදී ම හමාස් සංවිධානය සමග සම්බන්ධ වූ අතර ඒ තුළ ඔහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඊශ්‍රායල හමුදා ඔහු "පළමු ඉන්ටිෆාඩා" ලෙසින් හැඳින්වෙන කාලය තුළ වසර පහක් රඳවා තබා ගත්තේ ය.

ඔහු ජීවතුන් අතර සිටින තාක් කල් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සමග පවතින "බුද්ධිමය යුද්ධය" අඛණ්ඩව පවතිනු ඇති බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය මර්වාන් ඊසා හඳුන්වන්නේ "වචනයෙන් නොව ක්‍රියාවෙන්" ඔප්පු කරන මිනිසෙකු ලෙස වන අතර, ඔහු කෙතරම් දක්ෂයෙකු ද යත් "ප්ලාස්ටික් ලෝහ බවට පත් කළ හැක්කෙක්'' යනුවෙන් වහරේදී හැඳින්වේ.

ඔහු කීර්තිමත් පැසිපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඉස්මතු වූ නමුත් හමාස් ව්‍යාපාරයට සම්බන්ධ වීමේ චෝදනාව මත ඊශ්‍රායලය 1987 වසරේ දී ඔහු අත්අඩංගුවට ගත් බැවින් ඔහුට ක්‍රීඩා දිවියක් හිමි නොවීය. පලස්තීන අධිකාරිය පසුව 1997 වසරේ දී ඔහු අත්අඩංගුවට ගත් අතර, 2000 වසරේ දී "අල්-අක්සා ඉන්ටිෆාඩා" ලෙස හැඳින්වෙන සිදුවීම සිදුවෙන තෙක් ඔහු නිදහස් නොවීය.

පලස්තීන අධිකාරියේ බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු, අල්-කසාම් බලකායේ හමුදා පද්ධති සංවර්ධනය කිරීමෙහි ලා ඊසා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය.

හමාස් සංවිධානය තුළ ඔහුගේ ප්‍රමුඛ භූමිකාව හේතුවෙන් ඔහු ඊශ්‍රායලයට වඩාත් ම අවශ්‍ය පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, 2006 වසරේ දී ඩෙයිෆ් සහ අල්-කසාම් බලකායේ ප්‍රධාන නායකයින් සමග පැවති සාමාන්‍ය කාර්යය මණ්ඩල හමුවක් අතරතුර ඊශ්‍රායලය ඔහු ඝාතනය කිරීමට උත්සහ කළේ ය. ඔහු තුවාල ලැබූ නමුත් ඔහු අවසන් කිරීමට වූ ඊශ්‍රායලයේ අරමුණ ඉටු නොවීය.

2014 සහ 2021 වසරවලදී ගාසා තීරය ආක්‍රමණය කිරීමේ දී ඊශ්‍රායල යුද ගුවන් යානා ඔහුගේ නිවස දෙවරක් විනාශ කළ අතර ඔහුගේ සහෝදරයා මරණයට පත්විය.

ඊශ්‍රායල භටයෙකු වූ ගිලාද් ෂලිත් වෙනුවට නිදහස් කරන ලද සිරකරුවන් පිළිගැනීමේ දී ගත් සමූහ ඡායාරූපයකට ඔහු 2011 දී පෙනී සිටින තෙක්, ඔහුගේ මුහුණ දැන සිටියේ නැත.

ඔහු අබු අල්-බරා යන ආරූඩ නාමයෙන් ද හඳුන්වනු ලබන අතර ඔහුගේ භූමිකාව 2012 වසරේ "ෂේල් ස්ටෝන්ස්" සිට 2023 වසරේ "අල්-අක්සා ෆ්ලඩ්" දක්වා වූ විවිධ සටන් හරහා පැහැදිලි වේ: භූමියේ ශක්තිය, බුද්ධි අංශ සහ තාක්‍ෂණික බලවේග, සංවිධානාත්මක හා නිරවද්‍ය සැලසුම්වල පරිමාණය සහ ජනාවාස සහ ආරක්ෂක මූලස්ථාන වෙත එකවර කඩා වැදී ප්‍රහාර එල්ල කිරීම කෙරෙහි උපායශීලීව ප්‍රවේශය, ඔහුගේ මැදිහත්වීම පෙන්නුම් කරයි.

යහ්යා සින්වාර්

හමාස් සංවිධානයේ නායකයා සහ ගාසා තීරයේ එහි දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වන යෙහ්යා ඊබ්‍රාහිම් අල්-සින්වාර් 1962 වසරේ දී උපත ලැබීය. ඔහු "මජ්ඩ්" ලෙස හඳුන්වන හමාස් ආරක්ෂක සේවයේ නිර්මාතෘවරයා වන අතර එය ඊශ්‍රායලයේයැ යි සැක කෙරෙන නියෝජිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක සේවා නිලධාරීන් සොයාගැනීම වැනි අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ කරුණු කළමනාකරණය කරයි.

සින්වාර් තුන් වතාවක් අත්අඩංගුවට පත් වී ඇති අතර, ඉන් පළමුවැන්න 1982 වසරේ දී සිදුවිය. ඊශ්‍රායල හමුදා ඔහු නඩු විභාගයකින් තොරව මාස හතරක් රඳවා තබා ගත්තේ ය.

1988 වසරේ දී සින්වාර් තුන්වන වරටත් අත්අඩංගුවට පත්වූ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හතරකට යටත් විය. සින්වාර් සිර දඬුවම් විඳිමින් සිටි කාලය තුළ ඊශ්‍රායල භටයෙකු වූ ගිලාද් ෂලිත්ගේ යුද ටැංකිය හමාස් මිසයිල ප්‍රහාරයකට ලක්වූ අතර ඔහු ප්‍රාණ ඇපයට ගනු ලැබිණි.

"සියල්ලන්ගේම මිනිසා" ලෙස හැඳින්වූ ෂලිත් බොහෝ ආකාරවලින්, සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු තම පුත්‍රයා හෝ සහෝදරයා විය හැකි බව දුටු මහජනතාව ඔහුව නිදහස් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම කරන ලෙස ඊශ්‍රායල රජයට බලපෑම් කළහ. මෙය සිදු වූයේ ෆාටා සහ හමාස් ව්‍යාපාරවල බොහෝ සිරකරුවන් ඇතුළත් සමහර පලස්තීනුවන් "ලෝයල්ටි ඔෆ් ද ෆ්‍රී" ලෙස හැඳින්වූ සිරකරුවන් හුවමාරු කිරීමේ ගනුදෙනුවක් හරහා වන අතර ඔවුන් අතර 2011 දී නිදහස් කරන ලද යෙහ්යා සින්වාර් විය.

නිදහස ලැබීමෙන් පසු සින්වාර් හමාස් ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු සහ එහි දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ලෙස නැවතත් ඔහුගේ පැරණි තනතුරට පත්විය.

2015 සැප්තැම්බරයේ දී, එක්සත් ජනපදය "ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ" නම් සඳහන් අසාදු ලේඛනයට සින්වාර්ගේ නම ද ඇතුළත් කළේ ය.

2017 පෙබරවාරි 13 වන දින, සින්වාර්, ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා ලෙස ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් විය.

අබ්දුල්ලා බාර්ගූටි

බාර්ගූටි 1972 වසරේ දී කුවේට්හි උපත ලැබූ අතර 1990 දෙවන ගල්ෆ් යුද්ධයෙන් පසු ජෝර්දානයේ පදිංචියට ගියේ ය. ඔහු වසර තුනක කාලයක් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට දකුණු කොරියානු විශ්වවිද්‍යාලයයකට ඇතුළත්වීමට පෙර ජෝර්දාන පුරවැසිභාවය දැරුවේ ය. පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ඔහුට මඟපෑදුණේ එම විශ්වවිද්‍යාලයයෙනි. ඔහු පලස්තීන බල ප්‍රදේශයට ඇතුළුවීමට බලපත්‍රයක් ලබාගත් නිසා අධ්‍යාපනය අවසන් කළේ නැත.

දිනක් ඔහු ඔහුගේ ඥාති සොයුරු බිලාල් අල්-බාර්ගූටි බටහිර ඉවුරේ දුර බැහැර ප්‍රදේශයකට ගෙනගොස් ඔහුගේ දස්කම් ප්‍රදර්ශනය කරන තුරු, ඔහු වටා සිටි කිසිවෙකු පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ ඔහුගේ හැකියාව ගැන දැන සිටියේ නැත. බිලාල් ඔහු දුටු දේ ඔහුගේ අණදෙන නිලධාරියාට පැවසූ අතර, අබ්දුල්ලා බාර්ගූටිට කසාම් බලකායට බැඳීමට ආරාධනා ලැබිණි.

මෙම ඉංජිනේරුවරයා ඩෙටනේටර් නිෂ්පාදනයට අමතරව පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සහ අර්තාපල්වලින් විෂ ද්‍රව්‍ය නිපදවීමට කටයුතු කළේ ය. බාර්ගූටි ඔහු දිවි ගෙවූ නගරයේ ගබඩාවක හමුදා නිෂ්පාදන සඳහා විශේෂ කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කළේ ය.

2003 වසරේ දී බර්ගූටි අහම්බයකින් ඊශ්‍රායල විශේෂ බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අතර මාස තුනක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.

බාර්ගූටි ඊශ්‍රායල මරණ විශාල ගණනකට වගකිව යුතුයැ යි සැලකෙන අතර ඔහුට එරෙහිව පැවති දෙවන නඩු විභාගය සඳහා මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයෝ බොහෝ දෙනෙක් සහභාගී වූහ.

ඊශ්‍රායල ඉතිහාසයේ දීර්ඝතම දඬුවම ඔහුට නියම විය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 67ක් සහ වසර 5,200ක් සමග ලබාදුන් එය ඇතැම් විට එය ලෝකයේම දීර්ඝතම සිර දඬුවම පවා විය හැකි ය.

ඔහු කලක් හුදකලා මැදිරියක රඳවා සිටි නමුත් ඔහු සිදුකළ උපවාසයක් හමුවේ එය අවසන් විය.

බාර්ගූටි "ප්‍රින්ස් ඔෆ් ද ෂැඩෝ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ ඔහු සිරගතව සිටියදී එනමින් ලියූ ග්‍රන්ථයක් හේතුවෙනි. එම ග්‍රන්ථය තුළ ඔහු ඊශ්‍රායල හමුදා මුරපොළවල් හරහා පුපුරණ ද්‍රව්‍ය ගෙන ගිය ආකාරය, දූරස්ථ බෝම්බ ප්‍රහාර එල්ල කළ මෙහෙයුම් සිදු කළ ආකාරය ආදී ඔහුගේ ජීවිතය සහ ඔහු වෙනත් සිරකරුවන් සමග දියත් කළ මෙහෙයුම්වල විස්තර පිළිබඳව ගැන සාකච්ඡා කරයි.

ඉස්මයිල් හනියේ

අබු අල්-අබ්ද් යන අන්වර්ථ නාමය ඇති ඉස්මයිල් අබ්දෙල් සලාම් හනියේ උපත ලැබුවේ පලස්තීන සරණාගත කඳවුරක ය. ඔහු හමාස් ව්‍යාපාරයේ දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා වන අතර දසවන පලස්තීන අධිකාරි ආණ්ඩුවේ අගමැති විය.

ඊශ්‍රායලය 1989 වසරේ දී ඔහු වසර තුනකට සිරගත කරන ලද අතර, ඉන්පසු ඔහු හමාස් නායකයන් ගණනාවක් සමග ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පිහිටා ඇති මුඩුබිමක් වන මාජ් අල්-සුහූර් වෙත පිටුවහල් කෙරිණි. ඔහු 1992 වසර පුරාවට අවිනිශ්චිත තත්ත්වයන් යටතේ එහි ගත කළේ ය.

පිටුවහල් කිරීම සිදුවූ මෙම වසරින් පසු ඔහු නැවත ගාසා වෙත පැමිණි අතර, 1997 වසරේ දී ඔහු හමාස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයා වන ෂෙයික් අහමඩ් යසින්ගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී. ඉන් සංවිධානය තුළ ඔහුගේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් විය.

2006 පෙබරවාරි 16 වන දින හමාස් විසින් ඔහු පලස්තීන අධිකාරි අගමැති ලෙස නම් කරන ලද අතර එම මාසයේ 20 වන දා එම ධූරය සඳහා පත් කෙරිණි.

වසරකට පසු, පලස්තීන ජාතික අධිකාරියේ ජනපති මහමුද් අබ්බාස් විසින් හනියා ඔහුගේ තනතුරෙන් නෙරපා හැරිණි. ඒ, ඉස් අල්-දීන් අල්-කසාම් බලකාය ගාසා තීරයේ පාලනය අත්පත් කරගෙන, බොහෝ දෙනෙකුට මරු කැඳවමින් ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් සතියක් තුළ අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරයේ නියෝජිතයින් නෙරපා හැරීමෙන් පසු ය.

හනියේ ඔහු නෙරපා හැරීම "ව්‍යවස්ථා විරෝධී" ලෙස හඳුවමින් ප්‍රතික්ෂේප කළ අතර, "ඔහුගේ ආණ්ඩුව එහි රාජකාරි දිගට ම කර ගෙන යන අතර පලස්තීන ජනතාව කෙරෙහි එහි ජාතික වගකීම් අත් නොහරින" බව අවධාරණය කළේ ය.

එතැන් සිට ෆාටා ව්‍යාපාරය සමග සංහිඳියාවෙන් කටයුතු කරන්නට හනියේ කිහිප වතාවක් ම ඉල්ලීම් කර ඇත.

2017 මැයි 6 වන දින ඔහු හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් විය.

2018 වසරේදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හනියේ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේ ය.

ඛලීඩ් මෙෂාල්

'අබු අල්-වලීද්' හෙවත් ඛලීඩ් මෙෂාල් 1956 වසරේ දී බටහිර ඉවුරේ සිල්වාඩ් ගම්මානයේ උපත ලැබී ය. ඔහු ඔහුගේ පවුලේ සාමාජිකයින් කුවේටයට සංක්‍රමණය වීමට පෙර සිල්වාඩ්හි දී ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර, කුවේට්හි දී ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළේ ය.

මෙෂාල් හමාස් සංවිධානයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන අතර, එය ආරම්භ කළ දා සිට එහි දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 1996 සහ 2017 අතර එම සංවිධානයේ දේශපාලන කාර්යාංශයේ සභාපතිත්වය දැරූ අතර 2004 වසරේ දී ෂෙයික් අහමඩ් යසින්ගේ අභාවයෙන් පසු එහි නායකයා ලෙස පත් විය.

1997 වසරේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ඍජු උපදෙස් යටතේ, ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු ඒජන්සිය ඔහු ඉලක්ක කර ඝාතනය කිරීමට තැත් කළේ ය. ඊශ්‍රායල අගමැතිවරයා මෙෂාල් ඝාතනය කිරීමට සැලැස්මක් සකස් කරන ලෙස මොසාඩ් ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේ ය. මොසාඩ් නියෝජිතයෝ දසදෙනෙක් ව්‍යාජ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍ර අතැතිව ජෝර්දානයට ඇතුළු වූහ. එවකට ජෝර්දාන ජාතිකයෙකු ලෙස එහි පදිංචිව සිටි ඛලීඩ් මෙෂාල්ට, අම්මාන් අගනුවර වීදියක ඇවිදිමින් සිටියදී විෂ සහිත ද්‍රව්‍යයක් එන්නත් කෙරිණි.

ජෝර්දාන බලධාරීහු මෙම ඝාතන ප්‍රයත්නය ගැන සොයාගත් අතර ඊට සම්බන්ධ මොසාඩ් සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ. ජෝර්දානයේ අභාවප්‍රාප්ත හුසේන් රජු මෙෂාල්ට එන්නත් කළ විෂ ද්‍රව්‍ය සඳහා ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රතිවිෂ ඉල්ලා සිටි නමුත් නෙතන්යාහු මුල දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් මැදිහත් වී නෙතන්යාහුට ප්‍රතිවිෂ ලබාදෙන ලෙස බල කිරීමත් සමග ඔහු ඝාතනය කිරීමට ගත් උත්සහය දේශපාලනික මුහුණුවරක් ගත්තේ ය.

මෙෂාල් පළමු වරට ගාසා තීරයට ගියේ 2012 දෙසැම්බර් 7 වන දා ය. වයස අවුරුදු 11 දී ඉන් පැමිණි පසු ඔහු පලස්තීන භූමි ප්‍රදේශවල සිදු කළ පළමු සංචාරය එය විය. රෆා මාරුව වෙත පැමිණි අවස්ථාවේ පලස්තීන කණ්ඩායම් සහ ජාතික නායකයින් විසින් ඔහු පිළිගනු ලැබූ අතර, ඔහු ගාසා නගරයට පැමිණෙන තෙක් මාර්ගය දිගේ ඔහු පිළිගැනීමට පලස්තීනුවන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

2017 මැයි 6 වන දින, [හමාස්] සංවිධානයේ ෂුරා කවුන්සිලය ඔහුගෙන් පසු එහි දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස ඉස්මයිල් හනියේ තෝරා පත් කර ගත්තේ ය.

මහමුද් සහාර්

මහමුද් සහාර් 1945 වසරේ දී ගාසා නගරයේ පලස්තීන පියෙකුට සහ ඊජිප්තු මවකට උපත ලැබූ අතර ඔහුගේ මුල් ළමාවිය ගතවූයේ ඊජිප්තුවේ ඉස්මයිලියා නගරයේ ය.

ඔහු ගාසාහි ප්‍රාථමික, මධ්‍යම සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 1971 වසරේ දී කයිරෝහි අයින් ෂම්ස් විශ්වවිද්‍යාලයයෙන් සාමාන්‍ය වෛද්‍ය විද්‍යා උපාධියක් ලබාගත් අතර පසුව 1976 වසරේ දී සාමාන්‍ය සැත්කම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. උපාධිය ලැබීමෙන් පසු, ඔහු දැරූ විවිධ දේශපාලන මත හේතුවෙන් ඊශ්‍රායල බලධාරීන් ඔහු නෙරපා හරින තෙක් ඔහු ගාසාහි සහ ඛාන් යූනිස් රෝහල්වල වෛද්‍යවරයකු ලෙස සේවය කළේ ය.

සහාර් හමාස්හි වඩාත් කැපී පෙනෙන නායකයෙකු ලෙස සැලකෙන අතර එම සංවිධානයේ දේශපාලන නායකත්වයේ සාමාජිකයෙකු ලෙස සැලකෙයි.

හමාස් ව්‍යාපාරය ආරම්භ කර මාස හයකට පසු 1988 වසරේ දී මහමුද් සහාර් මාස හයක කාලයක් ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා තැබිණි. ඊශ්‍රායලය විසින් 1992 වසරේ දී මාජ් අල්-සුහූර් වෙත පිටුවහල් කරන ලද අය අතර ඔහු ද සිටි අතර ඔහු එහි පූර්ණ වසරක කාලයක් ගත කළේ ය.

2005 ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් හමාස් සංවිධානය බහුතර බලයක් දිනා ගැනීමත් සමග සහාර්, අගමැති ඉස්මයිල් හනියේ විසින් පිහිටුවන ලද රජය තුළ විදේශ කටයුතු අමාත්‍යංශය භාරව කටයුතු කළ නමුත්, පලස්තීන බෙදීමට තුඩුදුන් සිදුවීම්වලින් පසු ජනාධිපති මහමුද් අබ්බාස් රජය විසුරුවා හැරීම නිවේදනය කළේ ය.

ඊශ්‍රායලය 2003 වසරේ දී F-16 ගුවන් යානයක් මඟින් ගාසා නගරයට අසල්වැසි නගරයක්වූ රිමාල්හි පිහිටා තිබුණු ඔහුගේ නිවසට ටොන් භාගයක් පමණ බරැති බවට විශ්වාස කළ බෝම්බයක් හෙළීමෙන් සහාර් ඝාතනය කිරීමට තැත් කළේ ය. ප්‍රහාරයෙන් ඔහුට සුළු තුවාල සිදුවූ නමුත් ඔහුගේ වැඩිමහල් පුත් ඛලීඩ් මියගියේ ය.

2008 ජනවාරි 15 වන දින, කසාම් බලකායේ සාමාජිකයෙකු වූ ඔහුගේ දෙවන පුත් හොසාම්, ගාසා තීරයට නැගෙනහිරින් එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය 18 දෙනාගෙන් කෙනෙකි.

සහාර් විසින් බුද්ධිමය, දේශපාලනික සහ සාහිත්‍ය වටිනාකමක් ඇති කෘති ලියනු ලැබ තිබේ. ඊට "The Problem of Our Contemporary Society... A Quranic Study" සහ බෙන්ජමින් නෙතන්යාහුගේ පොතකට පිළිතුරු දක්වමින් ලියූ "No Place Under the Sun" සහ "On the Pavement" ඇතුළත් ය.