අලුත උපන් නිවුන් දරුවන් ලියාපදිංචි කර ආපසු එද්දී ඊශ්‍රායල් ප්‍රහාරයකින් දරුවන් ජීවිතක්ෂයට

    • Author, ජ්‍යාන්ලූකා ඇවග්නිනා
    • Role, බීබීසී

අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ උපත් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ පියා ප්‍රාදේශීය ලියාපදිංචි කාර්යාලය වෙත ගොස් සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයකින් එම දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

මොහොමඩ් අබු අල්-කම්සාන් උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා ගොස් තිබුණේ, පිරිමි දරුවෙකු වූ අසර් සහ ගැහැනු දරුවෙකු වූ අයිසල් උපත ලබා සිව් වන දිනයේදී ය.

ඔහු නිවසෙන් පිටව ගොස් සිටි අතරවාරයේ ඩීර් අල් බලාහ්හි පිහිටි ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව අසල්වැසියන් දුරකතන ඇමතුමකින් දැනුම් දී තිබිණි.

මෙම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ සහ නිවුන් දරුවන්ගේ මිත්තණිය ද ජීවිතක්ෂයට පත්වූහ.

"මම දන්නෙ නෑ මොනව වුණා ද කියලා," ඔහු පැවසීය. "මට කිව්වේ ගෙදරට ෂෙල් ප්‍රහාරයක් එල්ල වුණා කියලා."

"මට දරුවන් එක්ක සතුටු වෙන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ," ඔහු පැවසීය.

ගාසාහි හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, යුද්ධය ආරම්භ වූ පසු උපත ලැබූ දරුවන් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

AP පුවත් ඒජන්සිය පවසන පරිදි, ඊශ්‍රායල්-ගාසා යුද්ධයේ මුල් සති කිහිපයේදී ගාසා නගරය හැර යාමට ඔහුගේ පවුලට ලැබුණු නියෝගයක් පිළිපැද තිබිණි. ඒ අනුව, ඊශ්‍රායල් යුද්ධ හමුදාවේ උපදෙස් මත නවාතැනක් සොයා ගාසා තීරයේ මධ්‍යම කොටසට ගොස් තිබිණි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස බීබීසී පුවත් සේවය ඊශ්‍රායල් යුද්ධ හමුදාවෙන් විමසීමක් කළ අතර, ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් සිටී.

ඊශ්‍රායලය පවසන්නේ, සිවිල් වැසියන්ට හානි නොකිරීමට උත්සාහ කරන බවත්, සිවිල් ගොඩනැගිලි නවාතැන් ලෙස භාවිත කිරීම ඇතුළුව ජන ඝනත්වය වැඩි නේවාසික ප්‍රදේශවල ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට දරුවන්ගේ මරණ සම්බන්ධයෙන් දොස් පවරන බවත් ය.

කෙසේ වෙතත්, එක් එක් ප්‍රහාරය සම්බන්ධයෙන් බලධාරීන් අදහස් දැක්වීම දුර්ලභ ය.

පසුගිය සති කිහිපයේදී එවැනි නිවාස කිහිපයක් ම ප්‍රහාරවලට ලක් විය.

රෝහලක අධ්‍යක්ෂවරයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, පසුගිය සෙනසුරාදා ගාසා නගරයේ අවතැන්ව සිටින පලස්තීනුවන්ට නවාතැන් සපයන පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව ය.

එම පාසල, "හමාස් සහ ඉස්ලාම් ජිහාඩ් ආරක්ෂක පහසුකම් සපයන ක්‍රියාකාරී ස්ථානයක් බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසූ අතර, හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කළේ ය.

මිය ගිය සංඛ්‍යාව පිළිබඳව ඊශ්‍රායලය එකඟ නොවූ අතර, දෙපාර්ශවයේ මිය ගිය සංඛ්‍යා ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී පුවත් සේවයට නොහැකි විය.

ඔක්තෝබර් 7 වන දා හමාස් ප්‍රමුඛ තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 1200 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 251 දෙනෙකු ප්‍රාණ අපකරුවන් ලෙස යළි ගාසා වෙත රැගෙන ගොස් තිබිණි.

එම ප්‍රහාරය, ගාසා තීරයට දැවැන්ත ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල වීමට සහ වත්මන් යුද්ධයට මග විවර කළේ ය.

ගාසාහි හමාස් පාලනය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යංශය පවසන පරිදි, ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 39,790 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.