සෑම මිනිත්තු හතකටම එක් මරණයක් සිදුවන ගර්භණීභාවයට සහ දරු ප්‍රසූතිය සඳහා ලොව නුසුදුසුම රට

A close-up photo of a woman's pregnant stomach.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මැකෝචි ඔකෆෝර්
    • Role, බීබීසී අප්‍රිකානු සෞඛ්‍ය වාර්තාකරු, ලාගොස් සිට

දළ වශයෙන් සෑම මිනිත්තු හතකට වරක් දරු උපතකදී කාන්තාවක් මියයන නයිජීරියාවේ නෆීසා සලාහු, ඇය වයස අවුරුදු 24 පසුවන විට එරට සංඛ්‍යා ලේඛනවල තවත් එක් දත්තයක් බවට පත්වීමේ අවදානමකට මුහුණ පා සිටියා ය.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයක් අතරතුර දරු ප්‍රසූතියට සූදානම් වීම යන්නෙන් අදහස් කෙරුණේ එවැනි අවස්ථාවක රෝහල්ගතව සිටියද, සංකූලතාවයක් මතු වූ අවස්ථාවකදී වුව ද විශේෂඥ සේවාවක් හිමි නොවීමයි.

ඇගේ උපදින දරුවාගේ හිස සිරවී තිබූ අතර දින තුනක කාලයක් පැවති ප්‍රසූතියේදී නොසෙල් වී සිටින ලෙස ඇයට පවසා තිබිණි.

අවසානයේදී ඇයව සිසේරියන් සැත්කමකට ලක් කිරීම සඳහා නිර්දේශ කරන ලද අතර එය සිදු කිරීමට සූදානමින් වෛද්‍යවරයකු එම ස්ථානයට පැමිණියේ ය.

"මම මැරෙන්න ඔන්න මෙන්න හිටපු නිසා මම දෙවියන්ට ස්තූති කළා. මට තවත් ශක්තිය තිබුණේ නැහැ, මට කිසි දෙයක් ඉතිරිව තිබුණේ නැහැ," සලාහු එරටේ උතුරු ප්‍රදේශයේ පිහිටි කැනෝ ප්‍රාන්තයේ සිට බීබීසී පුවත් සේවයට පැවසුවා ය.

ඇය දිවි ගලවා ගත්තාය. නමුත් ඇගේ දරුවා ඛේදජනක ලෙස මරණයට පත්ව තිබිණි.

අවුරුදු එකොළහකදී ඇය තවත් අවස්ථා කිහිපයකදී ම දරු ප්‍රසූතිය සඳහා යළි රෝහලට ගොස් මාරාන්තික හැඟීම අත්වින්දා ය. " මම දැනගෙන හිටියා [සෑම අවස්ථාවකදීම] මම ජීවිතයත්, මරණයත් අතර ඉන්නේ කියලා, නමුත් මම තවදුරටත් බය වුණේ නැහැ," ඇය පවසන්නී ය.

සලාහුගේ එම අත්දැකීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

නයිජීරියාව යනු කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා ලෝකයේ ඇති භයානකම රටයි.

2023 සංඛ්‍යා දත්ත මගින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ නවතම ඇස්තමේන්තු වලට අනුව, එරට කාන්තාවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු දරු ප්‍රසූතියේදී හෝ ඉන් පසුව එළඹෙන ආසන්න දිනවලදී මිය යයි.

එම තත්ත්වය නම් කිසිඳු රටක් විසින් අභිභවා ‍යාමට කැමැත්තක් නොදක්වන වගුවක [නයිජීරියාව] ඉහළින් ම රඳවා තැබීමයි.

2023 වසරේදී ලොව පුරා සිදු වූ සියලු මාතෘ මරණවලින් හතරෙන් එකකට වඩා, එනම් 29%ක් නයිජීරියාවෙන් වාර්තා විය.

ඇස්තමේන්තුගත අගය අනුව කාන්තාවන් 75,000 ක් එක් වසරකදී දරු ප්‍රසූතියේදී මිය යන අතර, සෑම මිනිත්තු හතකට වරක් එක් මරණයක් සිදු වේ.

A head and shoulders image of a woman.

ඡායාරූප මූලාශ්‍රය, Henry Edeh

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර පහකට පෙර චිනෙන්යේ නුවීස් රෝහලකදී දරු උපතකින් පසු රුධිර වහනය හේතුවෙන් මිය ගියා ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය (පශ්චාත් ප්‍රසව රක්තපාතය ලෙස හඳුන්වන තත්ත්වය) වැනි වළක්වා ගත හැකි තත්වයන්ගෙන් සිදුවන මරණ සංඛ්‍යාව විශාල වීම බොහෝ දෙනෙකු කළකිරීමට පත් වන කරුණක් වී තිබේ.

මීට වසර පහකට පෙර ගිනිකොනදිග කලාපයේ ඔනිට්ෂා නගරයේ රෝහලකදී රුධිරය වහනය වීමෙන් මිය යන විට චිනෙන්යේ නුවේස් 36 හැවිරිදි වියේ පසුවූවා ය.

"වෛද්‍යවරුන්ට ලේ ඕන වුනා," ඇයගේ සහෝදරයා වන හෙන්රි එඩේ සිය මතකය අවදි කරමින් පවසයි. 'ඒගොල්ලෝ එහා මෙහා දුවමින් හිටියා. මගේ සහෝදරිය සහ මගේ මිතුරිය අහිමි වුණා, මේ වගේ දෙයක් සතුරෙකුටවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නෑ. මේ වේදනාව දරාගන්න බැහැ."

දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ සඳහා බලපාන අනෙකුත් පොදු හේතූන් අතරට ප්‍රසූත මාර්ගයේ සිදුවන අවහිරතා, අධි රුධිර පීඩනය සහ අනාරක්ෂිත ගබ්සා කිරීම් අයත් වේ.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල ලෙස හඳුන්වන, යුනිසෙෆ් සංවිධාන‍යේ නයිජීරියාවේ කාර්යාලයේ මාර්ටින් ඩොල්ස්ටන් පවසන්නේ නයිජීරියාවේ ඉතා ඉහළ අගයක් ගන්නා මාතෘ මරණ අනුපාතිකය සාධක ගණනාවක එකතුවක ප්‍රතිඵලයක් බව ය.

ඒවා අතර දුර්වල තත්ත්වයේ පවතින සෞඛ්‍ය යටිතල පහසුකම්, වෛද්‍යවරුන්ගේ හිඟය, බොහෝ පිරිසකට දරාගත නොහැකි මිල ගණන් යටතේ පවතින ප්‍රතිකාර මෙන් ම වෛද්‍ය වෘත්තිකයන් අවිශ්වාස කරමින් සිදු කරන සහ අනාරක්ෂිතභාවයට හේතු විය හැකි ඇතැම් සංස්කෘතික පුරුදු පවතින බව ඔහු පවසයි.

"දරු ප්‍රසූතියක් අතරතුර කිසිම කාන්තාවක් මියයාම සුදුසු නැහැ,'' කාන්තා අරමුණු සංවර්ධන පදනමේ ජාතික සම්බන්ධීකාරක මේබල් ඔන්වුමෙනා පවසන්නීය.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින ඇතැම් කාන්තාවන් "රෝහල්වලට යාම කාලය නාස්ති කිරීමක්" යනුවෙන් විශ්වාස කරන බවත්, "වෛද්‍ය උපකාර ලබා ගැනීම වෙනුවට සාම්ප්‍රදායික විසඳුම් තෝරා ගන්නා බවත්, ඒවා මගින් ජීවිතාරක්ෂක ප්‍රතිකර්ම ප්‍රමාද විය හැකි බවත්" ඇය පැහැදිලි කරයි.

ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ඇතැම් කාන්තාවන්ට රෝහලකට හෝ සායනයකට ළඟාවිය නොහැකි නමුත් ඔන්වුමෙනා විශ්වාස කරන්නේ ඒවා කළමනාකරණය කළ ද ඔවුන්ගේ ගැටළු නිමාවට පත් නොවන බව ය.

"බොහෝ සෞඛ්‍ය සේවා පහසුකම්වල මූලික උපකරණ, සැපයුම් සහ පුහුණු සෞඛ්‍ය සේවකයින් නොමැති වීම හේතුවෙන් ගුණාත්මක සේවාවක් සැපයීම අපහසු කාර්යයක්."

නයිජීරියාවේ ෆෙඩරල් රජය දැනට සෞඛ්‍ය සඳහා වැය කරන්නේ එරට අයවැයෙන් 5% ක් පමණක් වන අතර, 2001 අප්‍රිකානු සංගමයේ ගිවිසුමකට අනුව රට එකඟ වී ඇති 15% ප්‍රතිශත අගයට වඩා එය බෙහෙවින් අඩු අගයකි.

2021 වසරේදී මිලියන 218 ක ජනගහනයක් සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 121,000 ක් සිටි අතර සියලු ම උපත්වලින් අඩකට වඩා අඩු ප්‍රමාණයක් පුහුණු සෞඛ්‍ය සේවකයෙකු විසින් අධීක්ෂණය කරන ලදී. දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත අනුපාතය සපුරාලීම සඳහා තවත් හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 700,000ක් රටට අවශ්‍ය බවට ගණන් බලා ඇත.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් ද පවතී.

රෝහල්වල පවතින සෞඛ්‍ය සේවක සහ පහසුකම් හිඟය හේතුවෙන් ඇතැමුන් වෘත්තීයමය පුද්ගලයින්ගේ උපකාර ලබා ගැනීම ප්‍රමාද කරයි.

''අවංකවම කියනවා නම් මම රෝහල් ගැන විශ්වාස කරන්නේ නැහැ, නොසලකා හැරීම් පිළිබඳ කතා ඕනතරම් තියෙනවා, විශේෂයෙන් රජයේ රෝහල්වල," ජමීලා ඉෂාක් පවසන්නීය.

"උදාහරණයක් විදිහට මට මගේ හතරවෙනි දරුවා ලැබෙන්න ඉන්න කොට දරුවා ලැබෙන්න යන වෙලාවෙදි සංකූලතා ඇති වුණා. ප්‍රදේශය භාර පවුල් සෞඛ්‍ය සේවිකාව අපිට රෝහලට ඇතුළත් වෙන්න කියලා උපදෙස් දුන්නත් අපි එහි යන විට මට උදව් කරන්න සෞඛ්‍ය සේවකයෙක් හිටියේ නෑ. ඉතිං මට ආපහු ගෙදර යන්න වුණා. අන්තිමේදී මගේ දරුවව ලැබුණේ ගෙදරදී," ඇය පැහැදිලි කළා ය.

ක-නෝ ප්‍රාන්තයේ ජීවත්වන 28 හැවිරිදි කාන්තාවක මේ වනවිට ඇගේ පස්වන දරුවා බිහිකිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

ඇය පවසන්නේ ඒ සඳහා පෞද්ගලික සායනයකට ඇතුළත් වීම පිළිබඳව සලකා බලමින් සිටින නමුත් ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බවයි.

සිය තුන්වන දරුවා බිහිකිරීමේ අපේක්ෂාවෙන් සිටින චින්වෙන්දු ඔබීජෙසී පවසන්නේ පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවා සඳහා මුදල් ගෙවිය හැකි බව සහ "වෙනත් කිසි තැනක දරු ප්‍රසූතිය සිදු කිරීමට," අදහස් නොකරන බව ය.

ඇය පවසන්නේ ඇගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයින් අතර නිරන්තරයෙන් අසන්නට ලැබුණු මාතෘ මරණ පිළිබඳව මේ වනවිට අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බව ය.

ඇය ජීවත් වන්නේ අබුජාහි ධනවත් තදාසන්න, රෝහල්වලට ළඟා වීමට පහසු, මාර්ග වඩා හොඳ තත්ත්වයේ පවතින සහ හදිසි සේවා ක්‍රියාත්මක වන ප්‍රදේශයක ය. නගරයේ බොහෝ කාන්තාවන් ද නිසි අධ්‍යාපනයක් ලැබූ අය වන අතර රෝහලකට ඇතුළත් වීමේ වැදගත්භාවය පිළිබඳ ඔවුහු හඳුනාගෙන සිටිති.

"මම නිතරම පූර්ව ප්‍රසූති පරීක්ෂා සඳහා සහභාගි වෙනවා. ඒකෙන් මට වෛද්‍යවරුන් සමඟ හැමවිටම කතා කරන්න, වැදගත් පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ කිරීමට සහ මගේ සෞඛ්‍ය සහ දරුවාගේ සෞඛ්‍ය යන දෙකම නිරීක්ෂණය කිරීමට ඉඩ ලැබෙනවා," ඔබීජෙසී බිබීසී වෙත පැවසුවා ය.

"උදාහරණයක් විදිහට, මගේ දෙවන ගර්භනී සමයේදී ඔවුන් හිතුවේ මට අධික ලෙස ලේ වහනයක් සිදුවෙයි කියලා. ඒක නිසා රුධිර පාරවිලයනය අවශ්‍ය වෙයි කියලා ඔවුන් අමතරව ලේ ලබාදෙන්නේ සූදානම් කළා. දෙවියන්ට ස්තූති වෙන්න මට ඒවා අවශ්‍ය වුණේ නෑ. හැමදේම හොඳින් සිදු වුණා"

කෙසේ වෙතත්, ඇගේ පවුලේ මිතුරියක් ඇය මෙන් වාසනාවන්ත නොවූවා ය.

ඇයගේ දෙවන දරු ප්‍රසූතියේදී, "ඇගේ සහයට සිටි වින්නඹු කාන්තාවට දරුවාගේ ප්‍රසූතියට අවශ්‍ය සහය කටයුතු සිදු කිරීමට නොහැකි වුණ නිසා දරුවා පිටතට ගැනීමට උත්සාහ කළත් දරුවා මිය ගිහින් තිබුණා. එසැනින් ම ඇයව රෝහලට ඇතුළත් කරනවිටත් පරක්කු වැඩියි. දරුවාගේ මළ සිරුර ප්‍රසූත කිරීමටත් ඇයට තවමත් ශල්‍යකර්මයක් කරන්න වුණා. ඒක හදවත කම්පා කරවන සිදුවීමක් වුණා."

Two female medics in an operating theatre - one in a surgical mask and brown overalls and the other in white - handle a baby who has just been born.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නයිජීරියාවේ පුහුණු සෞඛ්‍ය සේවයකයන්ගේ හිඟයක් පවතියි

මෙම තත්ත්වය භයානක බව පිළිගන්නා එරට ජාතික ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ සංවර්ධන නියෝජිතායතනයේ (NPHCDA) ප්‍රජා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නානා සන්දා අබුබකර් පවසන්නේ ඇතැම් ගැටලු විසඳීම සඳහා නව සැලැස්මක් ක්‍රියාත්මක කරන බව‍ ය.

පසුගිය නොවැම්බර් මාසයේදී නයිජීරියානු රජය විසින් දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ අවම කිරීමේ නවෝත්පාදන වැඩසටහනේ (Mamii) නියමු අදියර දියත් කිරීම සිදු කෙරිණි. එය රටේ සිදුවන සියලුම දරු ප්‍රසූතිය හා සම්බන්ධ මරණවලින් අඩකට වඩා වාර්තා වන ප්‍රාන්ත 33ක පිහිටි පළාත් පාලන ප්‍රදේශ 172ක් ඉලක්ක කර සිදු කෙරෙනු ඇත.

"අපි සෑම ගර්භනී කාන්තාවක්ම හඳුනා ගන්නවා, ඇය ජීවත් වන ස්ථානය දැන ගන්නවා, ගර්භණීභාවය, දරු ප්‍රසූතිය සහ ඉන් ඔබ්බට තියෙන කටයුතුවලදී ඇයට උදව් කරනවා," වෛද්‍ය සන්දා අබුබකර් පැවසීය.

"ඔවුන් ප්‍රසූතියට පෙර පැවැත්වෙන [පංති සඳහා] සහභාගි වන්නේද නැද්ද යන්න කියන විස්තර සහිතව ම" මේ වන විට නිවසින් නිවසට ගොස් කරන ලද සමීක්ෂණයකින් ප්‍රාන්ත හයක සිටින ගැබිණි කාන්තාවන් 400,000ක් සොයාගෙන තිබේ.

"අපේ සැලැස්ම තමයි ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලැබෙන බව සහ ඔවුන්ට [ඔවුන්ට අවශ්‍ය] ආරක්ෂාව ලැබෙන බව සහතික කිරීම සඳහා ඔවුන්ව සේවාවන් වෙත සම්බන්ධ කිරීම ආරම්භ කිරීම."

Mamii [ව්‍යාපෘතිය] මගින් අරමුණු කරන්නේ දේශීය ප්‍රවාහන ජාලයන් සමඟ එක්ව කාන්තාවන් සායන වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම සහ අඩු වියදම් මහජන සෞඛ්‍ය රක්‍ෂණයක් සඳහා ලියාපදිංචි වීමට ජනතාව දිරිමත් කිරීම ය.

මෙමගින් යම් බලපෑමක් ඇති කර තිබේද යන්න පැවසීමට තවම කල් වැඩි නමුත් බලධාරීන් බලාපොරොත්තු වන්නේ අවසානයේ ලෝකයේ සෙසු රටවල ප්‍රවණතාව මෙරට තුළ ද ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දීම ය.

සෞඛ්‍ය සේවා සඳහා යොමුවීමේ හැකියාව පුළුල් වීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන්, 2000 වසරේ සිට දරු ප්‍රසූතියකදී සිදුවන මාතෘ මරණ 40% කින් අඩු වී තිබේ. එම කාලය තුළ නයිජීරියාවේ ද එම සංඛ්‍යාවේ දියුණුවක් සිදුව ඇති නමුත් එය 13% ක අගයකින් පමණි.

එම Mamii ව්‍යාපෘතිය සහ අනෙකුත් වැඩසටහන් තිබියදී පවා, ඇතැම් විශේෂඥයින් විශ්වාස කරන්නේ දැවැන්ත ආයෝජන ඇතුළුව තවත් බොහෝ දේ කළ යුතු බව ය.

"ඒවායේ සාර්ථකත්වය රඳා පවතින්නේ තිරසාර අරමුදල්, ඵලදායී ක්‍රියාත්මක කිරීම සහ අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම සඳහා අඛණ්ඩව සිදු කරන අධීක්‍ෂණය මත," යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ ඩොල්ස්ටන් පවසයි.

මේ අතර, නයිජීරියාවේ සෑම දිනක ම 20 ක් බැගින් සිදුවන මව්වරුන් මිය යාම ඊට මුහුණදෙන පවුල්වලට තවදුරටත් ඛේදවාචකයක් වනු ඇත.

එඩේට ඔහුගේ සහෝදරිය අහිමි වීම පිළිබඳ ඇති ශෝකය තවමත් පවතී.

"අපි උස්මහත් වෙනකොටම අපේ මව්පියන් අහිමි වූණ නිසා ඇය අපේ ආධාරකය සහ කොඳු නාරටිය වුණා," ඔහු පවසයි.

"මම තනියෙන් ඉන්නකොට එයා මගේ මතකයට එනවා, එතකොට මම හයියෙන් අඬනවා"