පකිස්ථානයට එරෙහි ඉන්දීය ප්‍රහාරය 'Operation Sindoor' ලෙස නම් කිරීම පසුපස කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පකිස්ථානයේ ඉලක්ක කිහිපයකට ඉන්දියාව එල්ල කළ ප්‍රතිප්‍රහාරය 'සින්දූර් මෙහෙයුම' (Operation Sindoor) යන නම යොදා තිබේ.
මේ සම්බන්ධයෙන් Xහි සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් 'ලෝකය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කිසිදු ලිහිලක් නොදිය යුතු' බව අවධාරණය කර තිබිණි.
එම සටහන සමග ඔහු Operation Sindoor යනුවෙන් දැක්වෙන රූපයක් ද පළ කර තිබිණි.
මෙම මෙහෙයුම සින්දූර් මෙහෙයුම ලෙස නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
සින්දූර් යනු මොනවා ද? එහි සංස්කෘතික සම්බන්ධය කුමක් ද?
සින්දූර් යනු තද රතු හෝ තැඹිලි වර්ණයෙන් යුතු කුඩු වර්ගයක් වන අතර එය සාමාන්‍යයෙන් විවාහක හින්දු කාන්තාවන් සිය නළල සහ හිස කෙස් අතර අලේප කර ගනී.
නේපාල සහ ඉන්දියානු හින්දු ප්‍රජාවන් තුළ, සින්දූර් සුබ ලකුණක් ලෙස සලකනු ලබන අතර, එය කාන්තාවකගේ විවාහක තත්ත්වය පිළිබඳ දෘශ්‍ය සලකුණකි. විවාහක කාන්තාවක එය අලේප කිරීම නතර කිරීම සාමාන්‍යයෙන් වැන්දඹුභාවය අදහස් කරයි.
සාම්ප්‍රදායික සින්දූර්, කහ සහ දෙහි හෝ වෙනත් ශාකසාර අමුද්‍රව්‍යවලින් සකසන බව පැවසේ.
කාන්තාවකගේ විවාහ දිනයේදී ඇගේ සැමියා විසින් මුල් වරට සින්දූර් ආලේප කරනු ලබයි. මෙය සින්දූර් ආලේපන උත්සවය ලෙස හැඳින්වේ. මෙයින් පසු, ඇය සෑම දිනක ම එය ආලේප කරයි.
සිය සැමියාට දීර්ඝ ආයුෂ සහ යහපත ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණක් බව පිළිගැනේ.
පකිස්ථානයට එරෙහි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම 'ඔපරේෂන් සින්දූර්' ලෙස නම් කළේ ඇයි?
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, 'ඔපරේෂන් සින්දූර්' යන නම බොහෝ හින්දු කාන්තාවන් තම විවාහක තත්ත්වය සංකේතවත් කිරීම සඳහා නළලේ ආලේප කරන සින්දූර් නිරූපණය කරයි.
පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේදී, කාන්තාවන් කිහිප දෙනෙකුට තම ස්වාමි පුරුෂයන් අහිමි වූ අතර, ඇතැම් කාන්තාවන් ඉදිරිපිට ම තම ස්වාමි පුරුෂයින් ඝාතනය වී තිබිණි.
අප්‍රේල් 22 වන දින, ජම්මු සහ කාශ්මීරයේ පෙහෙල්ගාම්හි පුද්ගලයින් 26 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ත්‍රස්ත ප්‍රහාරය සංකේතවත් කරමින්, තම සැමියාගේ දේහය අසල කම්පනයෙන් වාඩි වී සිටින හින්දු කාන්තාවකගේ හද කම්පා කරවන රූපයක් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස පැතිර ගියේ ය.
හිමන්ෂි නර්වාල් නම් කාන්තාව 26 හැවිරිදි නාවික නිලධාරියෙකු වන විනයි නර්වාල් සමග විවාහ වී ගත වී තිබුණේ, සතියකටත් අඩු කාලයකි.
'ඔපරේෂන් සින්දූර්' යන නම පෙහෙල්ගාම් ප්‍රහාරයේ වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය මානුෂීයකරණය කිරීමට සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම සහතික කිරීමට උපකාරී වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔපරේෂන් සින්දූර් හරහා මතු වූ කාන්තා නිලධාරිනියන් දෙදෙනා
ඉන්දීය හමුදාව විසින් 'ඔපරේෂන් සින්දූර්' ලෙස නම් කරන ලද මෙහෙයුම පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා බදාදා උදෑසන හමුදා කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් මාධ්‍යවේදීන් ඉදිරියේ පෙනී සිටියහ. ඒ, කර්නල් සොෆියා කුරේෂි සහ ගුවන් නියමු වයෝමිකා සිං යන දෙදෙනා ය.
කර්නල් සොෆියා කුරේෂි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කර්නල් සොෆියා කුරේෂි යනු ඉන්දීය යුද්ධ හමුදාවේ නිලධාරිනියකි.
ඇය ගුජරාට් ප්‍රාන්තයේ උපත ලැබූවෙකු වන අතර ජෛව රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.
කුරේෂි හමුදා පවුලකින් පැවත එන්නෙකි. ඇගේ සීයා ඉන්දියානු හමුදාවේ සේවය කළේ ය. ඇය විවාහ වී සිටින්නේ යාන්ත්‍රික පාබල හමුදාවේ නිලධාරියෙකු සමග ය.
සොෆියා කුරේෂි 1999 දී එනම් 17 හැවිරිදි වියේදී කෙටි කාලීන සේවා කොමිසම හරහා ඉන්දීය හමුදාවට බැඳිණි.
2006 වසරේදී කොංගෝවේ කැපී පෙනෙන සේවාවක් ද සමගින් ඇය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ වසර හයක කාලයක් සේවය කළා ය.
එහිදී ඇයගේ ප්‍රධාන කාර්යභාරය වූයේ, සාම මෙහෙයුම් සඳහා පුහුණු කිරීම්වලට දායක වීම ය.
වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සින්දූර් මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ දෙවන නිලධාරිනිය වින්ග් කමාන්ඩර් වයෝමිකා සිං ය.
වයෝමිකා සිං ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවරියකි. වාර්තාවලට අනුව, ඇයට සැමවිට ම අවශ්‍ය වී ඇත්තේ ගුවන් නියමුවරියක වීමට ය.
ඇයගේ නමේ තේරුම 'අහස සමග සම්බන්ධ තැනැත්තා' යන්න ය. මෙම නම ඇයගේ අරමුණ කෙරෙහි වැඩි පෙළඹවීමක් ඇති කළේ ය.
වයෝමිකා සිං ජාතික කැඩෙට් බළකායේ (NCC) සේවය කළ අතර ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත. 2019 දී ඉන්දීය ගුවන් හමුදාවේ පියාසර ශාඛාවේ නියමුවරියක ලෙස ස්ථිර වූවා ය.
වයෝමිකා සිං ගුවන් නියමුවරියක ලෙද පැය 2500කට වඩා පියාසර කර ඇත. ජම්මු - කාශ්මීරයේ සහ ඊසානදිග ඉන්දියාවේ දුෂ්කර තත්ත්වයන් යටතේ ඇය චෙතක් සහ චීටා වැනි හෙලිකොප්ටර් පියාසර කර ඇත.
බොහෝ ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී ද ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.














