පකිස්ථානය සහ ඉන්දියාව 'පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට' එකඟත්වය පළ කරයි

ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් පවසයි. ඉන්දීය විදේශ ලේකම්වරයා පවසන්නේ දෙරට අතර සටන් දේශීය වේලාවෙන් පස්වරු 5:00 සිට (බ්‍රිතාන්‍ය වේලාවෙන් පැය 12:30) නතර වූ බවයි.

සාරාංශය

  • ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබේ.
  • පකිස්ථානයේ නියෝජ්‍ය අගමැතිවරයා පවසන්නේ ඔවුන් "කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා සැමවිටම උත්සාහ කර ඇති" බවයි.
  • ඉන්දීය විදේශ ලේකම්වරයා පවසන්නේ දෙරට අතර සටන් දේශීය වේලාවෙන් පස්වරු 5:00 සිට (බ්‍රිතාන්‍ය වේලාවෙන් පැය 12:30) නතර වූ බවයි.
  • "එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවති දිගු සාකච්ඡා රාත්‍රියක" ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය ඇති වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • මෙම සතිය මුලදී, පසුගිය මාසයේ පෙහෙල්ගාම් හි ඉන්දීය සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලන කාශ්මීරයේ ඉලක්ක වෙත පහර දුන්නේය. පකිස්ථානය ඒ සඳහා තම සම්බන්ධයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරයි.
  • ඉන්දීය පරිපාලන කාශ්මීරය දශක ගණනාවක් පුරා පවතින කැරැල්ලක් අත්විඳ ඇති අතර එය දහස් ගණනක් ජීවිත බිලිගෙන ඇත. ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම කාශ්මීරයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියයි.

සජීවී වාර්තාකරණය

  1. ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පිපිරීම් ශබ්ද BBC කණ්ඩායම් වෙත ඇසුණු බවට වාර්තා

    ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් හී පිපිරීම් ශබ්ද ඇසෙමින් තිබෙන බව එහි සිටින BBC කණ්ඩායම් වාර්තා කර සිටිනවා.

    එහි ප්‍රධාන අමාත්‍ය ඕමාර් අබ්දුල්ලා X හි "ශ්‍රිනගර් හරහා" පිපිරීම් ශබ්ද ඇසෙන බව සඳහන් කොට තිබෙනවා.

    නගරයේ සිටින බීබීසී කණ්ඩායම් ද එවැනි ශබ්ද ඇසෙන බව තහවුරු කළ ද මෙම පිපිරීම් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පැහැදිලි නැති අතර ඉන්දියාව හෝ පකිස්ථානය ඒ පිළිබඳව තම අදහස් දක්වා නැහැ.

  2. ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එළඹෙයි

    "ඉන්දියාව සහ පකිස්ථානය "සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇතැයි" ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ජනාධිපති , ට්‍රම්ප් ඔහුගේ 'Truth Social' සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මේ බව කියා සිටියා.

    "ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වූ දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පකිස්ථානය සම්පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව නිවේදනය කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා." ජනාධිපති ට්‍රම්ප් එහි සඳහන් කර සිටියා.

    මේ අතර ඉන්දියාවේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර අද (මැයි 09) පස්වරු 5.00 සිට සටන් විරාමයකට එළඹෙන බවයි.

    ඉන්දියාව සහ පකිස්ථානය පුළුල් පරාසයක ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.

  3. ඉන්දියාවට එරෙහිව පකිස්ථානය සිය මෙහෙයුම් අරඹයි

    පකිස්ථාන රජය ඉන්දීය ප්‍රහාරවලට එරෙහිව ප්‍රති-ප්‍රහාරයක් දියත් කර ඇති බව පකිස්ථාන රාජ්‍ය රූපවාහිනිය සහ හමුදාවේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

    පකිස්ථාන හමුදාවේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව පවසන පරිදි, පකිස්ථානය මෙම ප්‍රති-ප්‍රහාරය "බැනියන් මාර්සස් (Banyan Marsus) මෙහෙයුම" ලෙස නම් කර ඇත.

    මේ අතර ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ශ්‍රීනගර් ගුවන්තොටුපළ අසල අද අලුයම පිපිරීම් හඬවල් ඇසුණු බවත්, මිනිත්තු විස්සක් ඇතුළත පිපිරීම් පහක් සිදුවූ බවත් සඳහන්.

    මේ අතර ඉන්දීය ආරක්ෂක හමුදා විසින් සිදුකරන මෙහෙයුම් සජීවීව ආවරණය කිරීමෙන් හෝ තත්‍ය කාලීනව වාර්තා කිරීමෙන් වළකින ලෙස සියලුම ඉන්දීය මාධ්‍ය නාලිකා, ඩිජිටල් මාධ්‍ය සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

    මේ අතර ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ රාජෝරි ප්‍රදේශයේදී සිකුරාදා රාත්‍රියේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු වන රාජ් කුමාර් තාපා මිය ගිය බව එරට බලධාරීන් පවසනවා.

    ජම්මු සහ කාශ්මීර මහ ඇමති ඕමාර් අබ්දුල්ලා කියා සිටියේ රාජ් කුමාර් තාපාගේ නිවසට පකිස්ථානයෙන් එල්ල වූ කාලතුවක්කු වෙඩි ප්‍රහාරයකින් අතිරේක දිස්ත්‍රික් සංවර්ධන කොමසාරිස් රාජ් කුමාර් තාපා මිය ගිය බවයි.

    මේ වන විට පකිස්ථාන අගමැති ෂාබාස් ෂරීෆ් අද ජාතික අණදෙන අධිකාරියේ රැස්වීමක් කැඳවා තිබෙනවා.

    එහි සභාපතිත්වය දරන්නේ පකිස්ථාන අගමැති විසිනි. ඊට අමතරව, විදේශ අමාත්‍ය, ආරක්ෂක අමාත්‍ය, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, මුදල් අමාත්‍ය සහ ආරක්ෂක නිෂ්පාදන අමාත්‍යවරයා ද එහි සාමාජිකයින් වනවා.

    මේ අතර පවතින තත්ත්වය හමුවේ පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය අත්හිටුවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

  4. මැයි 10 සෙනසුරාදා උදෑසන වනවිට වාර්තා වන තත්ත්වය

    • ඉන්දියාව විසින් තම හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව පකිස්ථානය චෝදනා කර සිටිනවා.
    • පකිස්ථාන හමුදාවේ ISPR හි ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි කියා සිටියේ ඉන්දියාව රාවල්පින්ඩි හි නූර් ඛාන් කඳවුර, ෂෝර්කොට් කඳවුර සහ මුරීඩ් කඳවුර ඉලක්ක කර ගැනීමට ගුවන් යානා වලින් ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක කළ හැකි මිසයිල භාවිතා කිරීමට උත්සාහ කළ බවයි.
    • මෙම ප්‍රහාර වලින් තම හමුදාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව ද ඔහු කියා සිටිනවා.
    • පකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, මැයි 10 වන දින අලුයම 3:15 සිට දහවල් 12:00 දක්වා සියලුම වර්ගයේ ගුවන් ගමන් සඳහා පකිස්ථාන ගුවන් සීමාව වසා දමා ඇති බව පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය නිවේදනය කරනවා.
    • ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉන්දියාවේ උතුරු සහ බටහිර ප්‍රදේශවල පිහිටි ගුවන් තොටුපළ 32ක මගී ගුවන් ගමන් තහනම් කර තිබෙනවා. ඒ බව දැනුම් දී ඇත්තේ මැයි 15 වන දින පෙ.ව. 5:29 දක්වා මගී ගුවන් ගමන් තහනම් කර ඇති බවට ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරියට සහ අදාළ ගුවන් සේවා බලධාරීන්ට 'දැන්වීම්' කිහිපයක් නිකුත් කරමින්.
    • ඊයේ රාත්‍රියේදී (මැයි 9, සිකුරාදා) ඉන්දියාවේ අම්රිත්සර්, පතන්කොට් සහ ශ්‍රීනගර් යන ප්‍රදේශවල පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබුණා.
    • ඉන්දීය ආරක්ෂක අංශ කියා සිටියේ ස්ථාන 26 කට එල්ලවූ පකිස්ථාන ඩ්‍රෝන ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වීමට තමන් කටයුතු කළ බවයි.
    • ඉන්දියාවේ පාලනයේ පවතින ජම්මු සහ පූන්ච් ප්‍රදේශවල තත්ත්වය නොසන්සුන් බවයි එහි සිටින බීබීසී වාර්තාකරුවන් පවසන්නේ.
    • දේශසීමාව ආසන්නයේ පිහිටි එම ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල වූ බව සඳහන් වනවා.
    • මේ අතර ඊයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සමාලෝචන රැස්වීමකදී පකිස්ථානය සඳහා ඩොලර් බිලියන 1 ක ණය වාරිකයක් අනුමත කර තිබෙනවා. පකිස්ථානයට මෙම ණය වාරිකයක් නිකුත් කිරීමට IMF අනුමැතිය ලැබෙන්නේ ඉන්දියාව විසින් පකිස්ථානයට ලබා දී ඇති ණය සමාලෝචනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි අවස්ථාවකයි.
  5. ඔබ අපත් සමග දැන් එකතු වූ අයෙකු නම්,

    • ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වී තිබෙන යුද උණුසුම හේතුවෙන් IPL තරගාවලිය සතියක කාලයකට කල්දැමීමටත්, පකිස්ථානයේ පැවැත්වෙන PSL තරගාවලියේ සෙසු තරග අබුඩාබිහිදී පැවැත්වීමටත් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර තිබෙනවා.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පකිස්ථානය සඳහා ලබා දී ඇති ඩොලර් බිලියන 7ක ඇපකර පැකේජයේ ඊළඟ වාරිකය පිළිබඳ සමාලෝචනය අද දිනයේදී සිදුකිරීමට නියමිත යි.
    • ඉන්දියාව විසින් එරට තුළ ක්‍රියාත්මක X සමාජ වේදිකාවේ ගිණුම් 8000ක් අත්හිටුවන්නැයි තමන්ට දැනුම් දී ඇති බව එම සමාගම නිවේදනය කළා.
    • පකිස්ථානය සමග පවතින ආතතිය මධ්‍යයේ, ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද උදෑසන ඉහළ ම හමුදා නායකත්වය සමග රැස්වීමකට එක් වුණා.
    • ඉන්දියාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සිය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය පවසනවා.
    • ඉන්දියාව සහ පකිස්ථාන ආරක්ෂක අංශ අතර ඊයේ රාත්‍රියේදී දේශසීමා ආසන්නයේ දරුණු ගැටුම් සිදුවී තිබුණා.
  6. ඉන්දු - පකිස්ථාන යුද උණුසුම හේතුවෙන් IPL තරගාවලිය අත්හිටුවයි

    IPL

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    2025 IPL තරගාවලිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි ESPN වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

    ඉන්දියාව සහ පකිස්ථානය අතර දේශසීමාවේ ඇති වී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බව එහි දැක්වේ.

    මේ අතර, දේශ සීමා ආශ්‍රිතව පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් පකිස්ථාන් සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බවත්, එම තරගවල කාලසටහන, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දිනයන් පසුව ප්‍රකාශයට පත් කෙරෙන බවත් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

  7. ඉන්දියාව සහ පකිස්ථානය අතර අද සිදුවිය හැකි විශේෂ සිදුවීම් මොනවා ද ?

    Jaishankar

    ඡායාරූප මූලාශ්‍රය, Twitter

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හමුවීමට නියමිතව ඇති අතර සෞදි අරාබියේ සහකාර විදේශ අමාත්‍යවරයා පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිතව තිබේ.

    මේ අතර, සෞදි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඊයේ (මැයි 08) ඉන්දියාවේ හදිසි සංචාරයක නිරත වුණා.

    ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් සහ සෞදි නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් පැවසුවේ, සාකච්ඡා ධනාත්මක බව ය.

    පකිස්ථාන නිලධාරීන්ට අනුව, සහකාර සෞදි විදේශ අමාත්‍යවරයා පකිස්ථාන රජයේ ඉහළ නිලධාරීන් හමුවීමට නියමිතව ඇත.

  8. ඉන්දු - පකිස්ථාන දේශසීමාවේ ඊයේ රාත්‍රියේ සිදුවූයේ කුමක් ද?

    Pakistan night

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ දකුණු ප්‍රදේශය වන ජම්මුහි තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අතිශයින් නොසන්සුන් වී තිබෙනවා.

    ජම්මුහි පිහිටි උදම්පූර්, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරය සහ ඉන්දීය පන්ජාබයේ පතන්කෝට් යන ප්‍රදේශවලට පකිස්ථානය මිසයිල ප්‍රහාර ගණනක් එල්ල කළ බවත්, ඒවා ඉහළ අහසේදී 'අක්‍රීය' කළ බවත් ඉන්දීය නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

    ඉන්දීය හමුදා ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පකිස්ථානය විසින් ඉන්දීය ආරක්ෂක ස්ථාන 16කට රොකට් සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, නවීන උපකරණ ආධාරයෙන් ඒවා 'අක්‍රීය' කළ බවයි.

    කෙසේ වෙතත්, ඉන්දියාවේ එම චෝදනා පකිස්ථානය ප්‍රතික්ෂේප කරනවා.

    ඉන්දීය පාලිත කාශ්මීරයේ දේශසීමාවට ඉතා ආසන්න ප්‍රදේශයක් වන පූන්ච් වෙත ඊයේ රාත්‍රියේ දැඩි කාලතුවක්කු ප්‍රහාරයක් වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, එහිදී එක් අයෙකු මිය ගොස් කාන්තාවක් තුවාල ලැබුවා.

    මේ අතර ඉන්දිය හමුදාව විසින් එල්ල කළ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් පකිස්ථානයේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථාන බලධාරීන් පවසනවා.

  9. ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට ප්‍රහාර එල්ල කළ බවට එල්ලවන චෝදනා පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

    ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ සිදුවන ඕනෑම ප්‍රහාරයකට පකිස්ථානය වගකිව යුතු නැතැයි, එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

    "අපි එය ප්‍රතික්ෂේප කරනවා, අපි මේ දක්වා කිසිදු ප්‍රහාරයක් එල්ල කර නැහැ" යනුවෙන් පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් බීබීසීයට ප්‍රකාශ කළා.

    "අපි පහර දීලා පස්සේ ප්‍රතික්ෂේප කරන්නේ නෑ " පකිස්ථානය පහර දෙන විට, එය සෑම කෙනෙකුම දැන ගනු ඇතැයි ද ඔහු පැවසුවා

  10. ධරම්ශාලාහි පැවති IPL ක්‍රිකට් තරගය අතරමග නතර කරයි

    IPL

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි, ධරම්ශාලාහි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගය අතරමග නතර කර තිබෙනවා.

    පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඕවර 10ක් පමණක් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රිකට් නිලධාරීන් තරගය නතර කර තිබෙනවා.

    "සැලකිය යුතු තාක්ෂණික දෝෂයක්" හේතුවෙන් තරගය නතර කළ බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ESPN ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කළා.

  11. ඉන්දීය හමුදාව: තම හමුදා කඳවුරු තුනක් ඉලක්ක වුවත් කිසිදු හානියක් නැහැ

    ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු සහ උදම්පූර් සහ ඉන්දියාවේ පන්ජාබ් දිස්ත්‍රික්කයේ පතන්කෝට් හි හමුදා කඳවුරු තුනකට පකිස්ථානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉන්දීය හමුදාව පවසනවා.

    X නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය හමුදාව පවසන්නේ කිසිදු හානියක් වාර්තා වී නොමැති බවත් තර්ජනය "අක්‍රීය" කර දැමූ බවත්ය.

  12. කරච්චි ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් තවදුරටත් අත්හිටුවයි

    "මෙහෙයුම් හේතු මත" කරච්චි ගුවන් තොටුපළේ සිට ක්‍රියාත්මක වන සියලුම ගුවන් මෙහෙයුම් මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවන බව පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය පවසා තිබෙනවා.

    පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය (PAA) මීට පෙර නිවේදනය කර තිබුණේ දේශීය වේලාවෙන් සවස 6 දක්වා ගුවන් ගමන් අත්හිටුවන බව යි.

  13. ලාහෝර්හි ගුවන් ආරක්ෂක පද්ධතියක් "අක්‍රීය" කළ බව ඉන්දියාව කියයි

    පකිස්ථානය පුරා "ස්ථාන ගණනාවක" ගුවන් ආරක්ෂක රේඩාර් සහ පද්ධති ඉලක්ක කරගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාව පවසනවා.

    "ලාහෝර් හි ගුවන් ආරක්ෂක පද්ධතියක් අක්‍රිය කර ඇති බවට විශ්වාසදායක ලෙස දැනගන්නට ලැබී තිබෙනවා," යැයි ද එහි සඳහන් වුණා.

    ඉන්දියාව මෙම පද්ධති ඉලක්ක කරගත් ආකාරය පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශයේ දක්වා නැහැ. නමුත් අප වාර්තා කරන අවස්ථාව වන විට , ඊයේ රාත්‍රියේ සිට ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම දැමූ බව පකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා. තවද පකිස්ථානය ඉන්දියාවේ ස්ථාන ගණනාවකට "ඩ්‍රෝන යානා සහ මිසයිල" යවා ඇතැයි ඉන්දියාව සඳහන් කළා.

  14. ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් විනාශ කළ බව පකිස්ථානය කියයි

    ඊයේ රාත්‍රියේ ඉන්දියාව විසින් විවිධ නගරවලට එවන ලද ඩ්‍රෝන යානා 25 ක් විනාශ කළ බව පකිස්ථාන බලධාරීන් පවසනවා.

    මීට පෙර පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි පැවසුවේ ඉන්දීය ඩ්‍රෝන යානා 12ක් විනාශ කළ බව.

    මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් අදහස් දක්වා නැහැ. ප්‍රතිචාරයක් ගැනීම සඳහා බීබීසී ඉන්දීය හමුදාවෙන් විමසීමක් කර තිබෙනවා.

    ලාහෝර්, ගුජ්රන්වාලා, චක්වාල්, ඇටෝක්, රාවල්පින්ඩි, බහවල්පූර්, මියන්වාලි සහ කරච්චි යන ප්‍රදේශවලදී එම ඩ්‍රෝන යානා විනාශ කළ බව ලුතිනන් ජෙනරාල් චෞද්‍රි පැවසීය.

    සින්ද් පළාතේ ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ඇතැයි ද ඔහු පැවසුවා.

    ලාහෝර්හි හමුදා කඳවුරක් ඉලක්ක කරගත් ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර යටිතල පහසුකම් කිහිපයක් විනාශ වී ඇති බව ඔහු සඳහන් කළා.

  15. ඉන්දියාව පකිස්ථානයට පහර දීමෙන් වරදක් කළ බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් පවසයි

    පකිස්ථාන

    ඡායාරූප මූලාශ්‍රය, AP

    ධෛර්යයමත් බව පෙන්වන්නැයි, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ජාතිය අමතමින් එරට ජනතාවගෙන් ඉල්ලා සිටියා.

    "මගේ පකිස්ථාන ජනතාවනි, ඔබේම ආරක්ෂාව වෙනුවෙන්, අපේ හමුදාව සහ අපේ ජනතාව සැමවිටම එක්සත්ව ඉන්නවා. අපි නිසැකවම ඔවුන්ට [ඉන්දියාවට] එරෙහිව නැගී සිට ජයග්‍රහණය කරනවා" යනුවෙන් ෂරීෆ් ප්‍රකාශ කළා.

    ඊයේ රාත්‍රියේ ඉන්දියාව පකිස්ථානයට පහර දීමෙන් වැරැද්දක් කළ බවත්, ඔවුන්ට ඊට වන්දි ගෙවීමට සිදුවන බවත් ඔහු පැවසුවා.

    “පකිස්ථානය පසුපසට අඩිය තියයි කියලා ඉන්දියාව සිතුවා වෙන්න පුළුවන්, නමුත් ඉන්දියාව අමතක කළා "මේ ... තම රට වෙනුවෙන් සටන් කිරීමට දන්නා ජාතියක් බව කියන එක" පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

    පසුගිය මාසයේ පෙහෙල්ගම්හි සිදු වූ ප්‍රහාරයට පාකිස්ථානය "සම්බන්ධයක් නෑ" යැයි අවධාරණය කළ ඔහු තම රටට "වැරදි හේතූන් මත චෝදනා එල්ල වී ඇති" බව කියා සිටියා.

  16. ඉන්දියාවේ සහ පකිස්ථානයේ ගුවන් ගමන් 550ක් පමණ අවලංගුයි

    ගුවන් ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර පියාසාර කිරීමට නියමිත ගුවන් ගමන් 550 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇත. තත්‍ය කාලීන ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 හි දත්ත වලට අනුව, ගුවන් ප්‍රහාරවලින් පසු පකිස්ථානයේ සැලසුම් කළ සියලුම වාණිජ ගුවන් ගමන් වලින් සියයට 16 ක් සහ ඉන්දියාවේ සියයට 3 ක් අවලංගු කර ඇත.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ගුවන් ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර පියාසාර කිරීමට නියමිත ගුවන් ගමන් 550 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා.

    ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 හි දත්ත වලට අනුව, ගුවන් ප්‍රහාරවලින් පසු පකිස්ථානයේ සැලසුම් කළ සියලුම වාණිජ ගුවන් ගමන් වලින් සියයට 16 ක් සහ ඉන්දියාවේ සියයට 3 ක් අවලංගු කර ඇත.

  17. ඉන්දු-පකිස්ථාන ගැටුමේ ඉතිහාසය

    පකිස්ථානය තමන්ගේ ම ගුවන් බලයෙන් ඊට ප්‍රතිචාර දැක්වූ අතර, එය කාර්ගිල් යුද්ධයෙන් පසු සිදු වූ භයානකම ගැටුම්වලින් එකක් සනිටුහන් වුණා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • 1947 දී පකිස්ථානය නිර්මාණය කළ දා පටන්, බොහෝ දුරට කාශ්මීරය කේන්ද්‍ර කරගෙන ඉන්දියාව සහ පකිස්ථානය අවස්ථා කිහිපයකදී යුද්ධ කර තිබෙනවා.
    • බෙදීයාමෙන් මාස කිහිපයකට පසු පළමු යුද්ධය ඇති වූ අතර, එය 1949 දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ඇති කර ගත් සටන් විරාමයකින් අවසන් වුණා. එමගින් කලාපය දෙකඩ වූ නමුත් ජාතීන් දෙක ම එම කලාපයට පූර්ණ අයිතිය ප්‍රකාශ කළා.
    • 1965 දී, ඔවුන් යළි සටන් කළේ, පකිස්ථාන හමුදා ඉන්දීය පරිපාලනය යටතේ පැවති කාශ්මීරයට ඇතුළු වීම නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස දරුණු ගොඩබිම් සහ ගුවන් සටන් ඇති වුණා.
    • 1971 දී නැගෙනහිර පකිස්ථානය පුරා යුද්ධයක් ඇති වූ අතර එහිදී ඉන්දියාව නිදහස් හමුදාවන්ට සහය දුන් අතර අවසානයේ එය බංගලාදේශය නිර්මාණය වීමට හේතු වුණා.
    • 1999 කාර්ගිල් ගැටුමේදී පකිස්ථාන හමුදා ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ඇතුළු වුණා; එය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ප්‍රතිවාදීන් අතර පළමු ගැටුම වූ අතර එය ගෝලීය අනතුරු ඇඟවීමක් ඇති කළා.
    • මෑත වසරවලදී, සටන්කාමී ප්‍රහාරවලින් පසු ආතතීන් උත්සන්න වුණා: 2016 දී ඌරි ප්‍රහාරයෙන් පසු ඉන්දියාව “සැලසුම් කළ නිශ්චිත ප්‍රහාර” දියත් කළ අතර 2019 දී පුල්වාමා බෝම්බ ප්‍රහාරයෙන් පසු බලාකොට් ආශ්‍රිත ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කළා.
    • පකිස්ථානය තමන්ගේ ම ගුවන් බලයෙන් ඊට ප්‍රතිචාර දැක්වූ අතර, එය කාර්ගිල් යුද්ධයෙන් පසු සිදු වූ භයානකම ගැටුම්වලින් එකක් සනිටුහන් වුණා.
  18. ඉන්දියාවේ ගුවන්තොටුපළවල් වසා දමා තිබේ ද?

    උතුරු ඉන්දියාවේ ගුවන්තොටුපළවල් කිහිපයක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සංචාරක උපදේශන නිකුත් කර තිබෙනවා. ඉන්දීය පරිපාලනයට අයත් කාශ්මීරයේ ජම්මු සහ ශ්‍රීනගර්, ලඩාක් ෆෙඩරල් පරිපාලන ප්‍රදේශයේ පිහිටි ලේ, රාජස්ථාන් ප්‍රාන්තයේ චන්දිගර්, ජෝද්පූර්, පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සර් සහ ගුජරාට් ප්‍රාන්තයේ බුජ්, ජම්නගර් සහ රාජ්කොට් වෙත පියාසර කරන ගුවන් ගමන් ගමන් මැයි 10 වන දින උදෑසන දක්වා අවලංගු කරන බව එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහන් කළා. බලධාරීන්ගේ නියෝග හේතුවෙන් උතුරු ඉන්දියාවේ නගර කිහිපයකට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කළ බව ඉන්ඩිගෝ ගුවන් සේවය ද පැවසුවා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    උතුරු ඉන්දියාවේ ගුවන්තොටුපළවල් කිහිපයක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් සංචාරක උපදේශන නිකුත් කර තිබෙනවා.

    ඉන්දීය පරිපාලනයට අයත් කාශ්මීරයේ ජම්මු සහ ශ්‍රීනගර්, ලඩාක් ෆෙඩරල් පරිපාලන ප්‍රදේශයේ පිහිටි ලේ, රාජස්ථාන් ප්‍රාන්තයේ චන්දිගර්, ජෝද්පූර්, පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිට්සර් සහ ගුජරාට් ප්‍රාන්තයේ බුජ්, ජම්නගර් සහ රාජ්කොට් වෙත පියාසර කරන ගුවන් ගමන් ගමන් මැයි 10 වන දින උදෑසන දක්වා අවලංගු කරන බව එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහන් කළා.

    බලධාරීන්ගේ නියෝග හේතුවෙන් උතුරු ඉන්දියාවේ නගර කිහිපයකට සහ ඉන් පිටතට ගුවන් ගමන් අවලංගු කළ බව ඉන්ඩිගෝ ගුවන් සේවය ද පැවසුවා.

  19. ඉන්දීය ගුවන් ප්‍රහාර පිළිබඳව චීන තානාපතිවරයා දැනුවත් කළ බව පකිස්ථාන කියයි

    ඉන්දියාවේ ප්‍රහාර පිළිබඳව පකිස්ථාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර්, එරට සිටින චීන තානාපති ජියැං සයිඩොං දැනුවත් කර තිබෙනවා.

    ඡායාරූප මූලාශ්‍රය, Pakistan Foreign Ministry

    ඉන්දියාවේ ප්‍රහාර පිළිබඳව පකිස්ථාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර්, එරට සිටින චීන තානාපති ජියැං සයිඩොං දැනුවත් කර තිබෙනවා.

    "ඉන්දියාව විසින් කිසිදු කුපිත කරවන අයුරින් පාකිස්ථානයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමෙන් සහ අහිංසක ජීවිත ඛේදජනක ලෙස අහිමි කිරීමෙන් පසු ඇති වී ඇති බරපතල තත්ත්වය" පිළිබඳව අමාත්‍යවරයා තානාපතිවරයාට දැනුම් දුන් බව ඩාර්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    "පාකිස්ථානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ඕනෑම කැපවීමකින් රැක ගන්නා බවට අමාත්‍යවරයා [Dar] අවධාරණය කළා. දෙපාර්ශ්වය කලාපීය ආරක්ෂක වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. අදාළ සියලු ක්ෂේත්‍ර හරහා සමීප සම්බන්ධීකරණය සහ සන්නිවේදනය පවත්වා ගැනීමට එකඟ වූණා," නිවේදනයේ සඳහන් විය.

    ඉන්දියාව පකිස්ථානයට එරෙහි ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම "කණගාටුදායක" යැයි චීන විදේශ අමාත්‍යාංශය මීට පෙර හඳුන්වා දුන්නා.

  20. පකිස්ථානය ආත්මාරක්ෂාව සඳහා ඇති තම අයිතිය පෙන්වා දෙයි, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශයක්

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය උපුටා දක්වමින්, පාකිස්තානය ආත්මාරක්ෂාව සඳහා ඇති තම අයිතිය පෙන්වා දී තිබෙනවා.

    ඡායාරූප මූලාශ්‍රය, Radio Pakistan

    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය උපුටා දක්වමින්, පාකිස්තානය ආත්මාරක්ෂාව සඳහා ඇති තම අයිතිය පෙන්වා දී තිබෙනවා.

    සිවිල් ජීවිත අහිමි වීම සහ තම ස්වෛරීභාවය "උල්ලංඝණය කිරීම" සම්බන්ධයෙන් පළිගැනීම සඳහා "තෝරා ගන්නා වේලාවක, අවස්ථාවක සහ සුදුසු ආකාරයකින්" ඉන්දියාවට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවට පකිස්ථානය අද අනතුරු අඟවා සිටියා.

    රටේ සන්නද්ධ හමුදාවන්ට "අවශ්‍ය ක්‍රියාමාර්ග" ගැනීමට "පූර්ණ බලය පවරා" ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථානය අවධාරණය කළා.

    අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් පැවති පකිස්ථාන ජාතික ආරක්ෂක කමිටුවේ (NSC) රැස්වීමෙන් අනතුරුව පකිස්ථානය මෙම ප්‍රකාශය නිකුත් කළා.

    ඉන්දීය ආක්‍රමණශීලීත්වය ලෙස හැඳින්වූ ක්‍රියාවට එරෙහිව පකිස්ථාන හමුදාව රටේ භෞමික අඛණ්ඩතාව "දැඩිව ආරක්ෂා කර ඇති" බව එම ප්‍රකාශයේ සඳහන් විය.