මියුනික් ආරක්ෂක සමුළුව: ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිපත්ති ගැන ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆ්‍රෑන්ක් ගාඩ්නර්
- Role, ආරක්ෂක වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 7
සංක්‍රමණය සහ නිදහස් භාෂණය පිළිබඳ යුරෝපයේ ප්‍රතිපත්ති හෙළා දකිමින් සහ මහද්වීපය මුහුණ දෙන විශාලතම තර්ජනය පැමිණෙන්නේ අභ්‍යන්තරයෙන් ම බව පවසමින්, ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් මියුනික් ආරක්ෂක සමුළුවේදී අසාමාන්‍ය කතාවක් පවත්වා වසරක් ගත වී ඇත.
පැහැදිලිව ම ඉන් බොහෝ දෙනෙක් කම්පනයට පත්වූහ. එතැන් සිට, ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ගෝලීය ක්‍රමවේදයන් උඩු යටිකුරු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය අනෙකුත් රටවල් මත දැඩි තීරුබදු පනවා ඇත, වෙනිසියුලාවේ වැටලීමක් සිදු කර ඇත, එමෙන් ම රුසියාවට පක්ෂ ලෙස පෙනෙන යුක්‍රේන සාම ප්‍රවේශයකට අවතීර්ණ වී ඇති අතර කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ "51 වන රාජ්‍යය" බවට පත්විය යුතු බවට යෝජනා කර ඇත.
මෙම සතියේ අග භාගයේදී ආරම්භ වන මෙම වසරේ සමුළුව වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සහ ජාතික ආරක්ෂක උපදේශක මාර්කෝ රුබියෝ ඇමෙරිකානු කණ්ඩායමට නායකත්වය දෙන අතර ලෝක නායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසකට ඊට ආරාධනා කර ඇත. යුරෝපයේ ආරක්ෂාව වඩාත් අවිනිශ්චිත වෙමින් පවතින අවස්ථාවක මෙම රැස්වීම පැවැත්වේ.
පසුගිය වසරේ අගභාගයේදී ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපායමාර්ගය (NSS), යුරෝපයෙන් "තමන්ගේ ම දෙපයින් නැගී සිටින ලෙස" සහ "තමන්ගේ ම ආරක්ෂාව සඳහා මූලික වගකීම භාර ගන්නා ලෙස" ඉල්ලා සිටි අතර, යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් ජනපදය වැඩි කැමැත්තක් නොදක්වන බවට පවතින බිය තවත් වැඩි කළේ ය.
නමුත් ග්‍රීන්ලන්තය පිළිබඳ අර්බුදය ඇමෙරිකා එක්සත් ජනපද-යුරෝපීය සන්ධානයට බරපතළ පීඩනයක් එල්ල කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ගෝලීය ආරක්ෂාව සඳහා තමාට ග්‍රීන්ලන්තය ''අත්පත් කර ගැනීමට" අවශ්‍ය බව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් අවධාරණය කර ඇති අතර, යම් අවස්ථාවකදී බලය භාවිත කිරීම පවා ප්‍රතික්ෂේප කර නොතිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයකි. එබැවින් ඩෙන්මාර්කයේ අගමැති පැවසුවේ ඇමෙරිකා එක්සත් ජනපදය එය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සහ කළහොත්, වසර 77ක් පුරාවට යුරෝපය ආරක්ෂා කළ නේටෝ සන්ධානය අවසන් වීමට ඉඩ ඇති බව ය.
ධවල මන්දිරයට වෙනත් ප්‍රමුඛතා ඇති බැවින් ග්‍රීන්ලන්ත අර්බුදය දැනට අවසන් වී ඇත. නමුත් එය මියුනික් ආරක්ෂක සමුළුවට ගැටලුකාරී ප්‍රශ්නයක් මතු කරයි: යුරෝපා - ඇමරිකානු ආරක්ෂක සබඳතා යථා තත්ත්වයට පත් කළ නොහැකි ලෙස බිඳ වැටී තිබේ ද?
ඔවුන් වෙනස් වී ඇති බව පැහැදිලි ය. නමුත් ඔවුන් වෙන් වී නැත.
එක්සත් රාජධානියේ MI6 (2014–2020) හි හිටපු ප්‍රධානියා වන ශ්‍රීමත් ඇලෙක්ස් යන්ගර් බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් පැවසුවේ, අත්ලන්තික් සාගර සන්ධානය කලින් පැවති තත්ත්වයට නැවත නොඑන නමුත් එය බිඳී ගොස් නොමැති බව ය.
"ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක, හමුදාමය සහ බුද්ධි සබඳතාවලින් අපි තවමත් බොහෝ දේ ලබා ගන්නවා," යැයි ඔහු පවසයි. බොහෝ දෙනෙකු මෙන්, තමන් ද ජනාධිපති ට්‍රම්ප් යුරෝපය තමන්ගේ ම ආරක්ෂාව සඳහා වැඩි වගකීමක් භාර ගන්නා ලෙස ඉල්ලා සිටීම නිවැරදි බව ඔහු ද එකඟ වේ.
"ඔබට යුරෝපයේ මිලියන 500ක ජනතාවක් සිටිනවා, මිලියන 300ක් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිලියන 140ක් සිටින රුසියාවත් එක්ක කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒක වැරදි ක්‍රමයක්. යුරෝපය තමන්ගේ ම ආරක්ෂාව සඳහා වැඩි වගකීමක් ගත යුතු යි," යන්ගර් පැවසීය.
දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකා එක්සත් ජනපද බදු ගෙවන්නන් යුරෝපයේ ආරක්ෂක වියදම්වලින් වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් සිටින අතර, මෙය යුරෝපය කෙරෙහි ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ කලකිරීමට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර බෙදීම හමුදා සම්බන්ධයෙන් පමණක් නොවේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක ආරක්ෂක ඉලක්කය සපුරා නොගන්නා ස්පාඤ්ඤය වැනි නේටෝ රටවල් කෙරෙහි කලකිරීමක් ද ඇති කරයි. සංසන්දනය කිරීමේදී, රුසියාව ආරක්ෂාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%කට වඩා වැය කරන අතර බ්‍රිතාන්‍යය 2.5%කට වඩා අඩු මුදලක් වැය කරයි.
වෙළෙඳාම, සංක්‍රමණය සහ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ට්‍රම්ප් කණ්ඩායමට යුරෝපය සමග තියුණු මතභේද පවතී. මේ අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ ව්ලැඩිමීර් පුටින් සමග ඇති සම්බන්ධතාව සහ රුසියාව විසින් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් යුක්රේනයට දොස් පැවරීමේ ප්‍රවණතාව හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ යුරෝපීය ආණ්ඩුවලට අනතුරු ඇඟවීමක් ලැබී තිබේ.
සමුළුවට පෙර, මියුනික් ආරක්ෂක සම්මන්ත්‍රණ සංවිධායකයින් පර්යේෂණ සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ටොබියස් බුන්ඩේ පවසන වාර්තාවක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද උපාය මාර්ගවල විශාල වෙනසක් සිදුවී ඇති බව ය.
මෙම උපාය මාර්ගය ප්‍රධාන අදහස් තුනක් මත පදනම් වූ බව ඔහු පවසයි: ජාත්‍යන්තර ආයතන සඳහා සහය, රටවල් අතර ආර්ථික සහයෝගීතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යනු වටිනාකම් පමණක් නොව වැදගත් උපායමාර්ගික ශක්තීන් ලෙස විශ්වාස කෙරේ.
"ට්‍රම්ප් පරිපාලනය යටතේ, මෙම කුලුනු තුන ම දුර්වල කර හෝ විවෘතව අභියෝගයට ලක් කර තිබෙනවා," බුන්ඩේ පවසයි.
'යුරෝපය අවදි කිරීමේ ඇමතුමක්'
ට්‍රම්ප්ගේ ධවල මන්දිර සිතිවිලිවලින් වැඩි කොටසක් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපාය මාර්ගවල අන්තර්ගත වේ. වොෂින්ටනය පදනම් කර ගත් උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) මෙම ලේඛනය "යුරෝපය සඳහා වේදනාකාරී අවදි කිරීමේ ඇමතුමක්" ලෙස විස්තර කරන අතර, එය යුරෝපය තමන් දකින ආකාරය සහ ට්‍රම්ප් යුරෝපය දකින ආකාරය අතර ගැඹුරු බෙදීමක් පෙන්නුම් කරන බව පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
වොෂින්ටනයේ සහචරයින් යැයි සැලකෙන යුරෝපීය ආණ්ඩුවලට ම සතුරු කණ්ඩායම්වලට සහය දැක්වීමේ නව ප්‍රතිපත්තියක් ප්‍රමුඛතාවක් ලෙස උපාය මාර්ගය සඳහන් කරයි. එය "යුරෝපීය ජාතීන් තුළ යුරෝපයේ වත්මන් ගමන් පථයට ප්‍රතිරෝධය වර්ධනය කිරීම" ප්‍රවර්ධනය කරන අතර යුරෝපයේ සංක්‍රමණ ප්‍රතිපත්ති "ශිෂ්ටාචාරය මකා දැමීමේ" අවදානමක් ඇති බව පවසයි.
කෙසේ වෙතත්, "යුරෝපය තවමත් ඇමෙරිකා එක්සත් ජනපදයට උපායමාර්ගිකව සහ සංස්කෘතික වශයෙන් වැදගත් බව" ලේඛනයේ සඳහන් වේ.
2025 පෙබරවාරි මාසයේදී මියුනික් උපජනාධිපතිගේ කතාවෙන් පසුව ඇති වූ කම්පනයෙන් ම යුරෝපයේ බොහෝ දෙනෙකු මෙම උපාය මාර්ගයට ප්‍රතිචාර දක්වනු ඇතැයි උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) පවසයි.
"ප්‍රතිසංස්කරණ පොරොන්දු නොවන නමුත් පවතින ආයතන කඩා බිඳ දැමීමට විවෘතව ඉලක්ක කරන දේශපාලනඥයින් අපට දැක ගන්න පුළුවන්. අපි ඔවුන්ව හඳුන්වන්නේ, 'කඩා දමන මිනිසුන්' කියල යි." මියුනික් ආරක්ෂක සමුළුවේ සොෆී අයිසන්ට්‍රෝට් පැවසීය.
නර්වා පරීක්ෂණය
නමුත් මේ සියල්ලෙහි ම අවසාන ප්‍රශ්නය වන්නේ, "5 වන වගන්තිය තවමත් ක්‍රියාත්මක වේ ද?" යන්නයි.
නේටෝ ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ සඳහන් වන්නේ, එක් සාමාජිකයෙකුට පහරදීම සැමට පහරදීමක් බව ය. 1949 සිට පසුගිය වසර දක්වා, සෝවියට් සංගමය සහ පසුව රුසියාව, ලිතුවේනියාව වැනි නේටෝ රටක් ආක්‍රමණය කළහොත්, ඇමෙරිකා එක්සත් ජනපද හමුදා බලයෙන් සහය ලබන සන්ධානය සම්පූර්ණයෙන් ම ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි උපකල්පනය කර තිබේ.
5 වන වගන්තිය තවමත් ජීවමානව හා හොඳින් පවතින බව නේටෝ නිලධාරීන් අවධාරණය කර ඇති නමුත්, ට්‍රම්ප්ගේ අනපේක්ෂිත බව සහ ඔහුගේ පරිපාලනය යුරෝපය කෙරෙහි දක්වන අප්‍රසාදය අනිවාර්යයෙන් ම එය ප්‍රශ්න කරයි.
මම "නර්වා පරීක්ෂණය" කියලා කියන්නේ මේක යි. නර්වා කියන්නේ රුසියානු දේශසීමාවේ එස්තෝනියාවේ බොහෝ දුරට රුසියානු භාෂාව කතා කරන නගරයක්. රුසියාව එහි රුසියානුවන් ආරක්ෂා කරන බව පවසමින් එය අල්ලා ගැනීමට උත්හස කළොත්, ඇමෙරිකා එක්සත් ජනපද රජය එස්තෝනියාවට උදව් කිරීමට මැදිහත් වෙයි ද?"
බෙලරුස් සහ කලිනින්ග්‍රෑඩ් අතර සුවල්කි පරතරය මත හෝ රුසියාවට දැනටමත් බැරන්ට්ස්බර්ග්හි ජනාවාසයක් ඇති ස්වල්බාර්ඩ්හි නෝර්වීජියානු ආක්ටික් දූපත්වලට පවා අනාගත රුසියානු පියවරක් ලෙස එම ප්‍රශ්නය ම අදාළ වේ.
නේටෝ සාමාජික ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ජනාධිපති ට්‍රම්ප් මෑතකදී කළ උත්සහයන් සැලකිල්ලට ගෙන, ජනාධිපති ට්‍රම්ප් කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත්දැයි කිසිවෙකුට නිශ්චිතව පුරෝකථනය කළ නොහැක. රුසියාව දැනට යුක්‍රේනයේ යුද්ධයක යෙදී සිටින බැවින්, මෙම අවිනිශ්චිතතාව භයානක වැරදි ගණනය කිරීම්වලට තුඩු දිය හැකි ය.
මෙම සතියේ මියුනික් ආරක්ෂක සමුළුව, අත්ලන්තික් සාගර සන්ධානයේ අනාගතය පිළිබඳ ඉඟි කිහිපයක් ලබා දිය හැකි නමුත් යුරෝපය එම පිළිතුරුවලට කැමැත්තක් නොදැක්විය හැක.


































