එප්ස්ටීන් ලිපිගොනු යනු කුමක් ද? එහි විස්තර ඇතුළත් ප්‍රසිද්ධ පුද්ගලයන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
- Author, ක්‍රිස්ටල් හේස්
- Role, බීබීසී පුවත්
ලිංගික අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට අදාළ ලේඛන කොටස් කිහිපයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) විසින් නිකුත් කර තිබේ.
දෙසැම්බර් 19 වන දින වන විට ඒවා සම්පූර්ණයෙන්ම නිකුත් කළ යුතු බවට කොංග්‍රසය නීතියක් සම්මත කිරීමෙන් පසුව, ඡායාරූප, වීඩියෝ සහ විමර්ශන ලේඛන ඇතුළු ලිපිගොනු නිකුත් වනතෙක් බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් බලා සිටියහ.
කෙසේ වෙතත්, නියමිත දිනට පෙර සියලු ම ලේඛන නිකුත් කළ නොහැකි බව පැවසීමෙන් පසු, සමහර නීති සම්පාදකයින් අධිකරණ දෙපාර්තමේන්තුව එහි නීතිමය රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කළහ.
නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් පැවසුවේ "ලක්ෂ ගණනක" පිටු ලේඛන තවමත් සමාලෝචනය කරමින් පවතින බවත් ඒවා තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවත් ය.
මේ දක්වා නිකුත් කර ඇති දහස් ගණනක් ලිපිගොනුවල බොහෝ තොරතුරු ද විශාල ලෙස සංස්කරණය කර ඇත. ලිපිගොනු නිකුත් කිරීමට අවශ්‍ය නීතිය යටතේ, එප්ස්ටීන් වින්දිතයින්ගේ අනන්‍යතා සහ ඉදිරි අපරාධ විමර්ශනවලට සම්බන්ධ තොරතුරු පමණක් ඉවත් කළ හැකි බැවින් මෙය විවේචනයට ලක්ව ඇත.
ප්‍රසිද්ධියට පත් කර ඇති ලිපිගොනුවල ප්‍රසිද්ධ නම් සහ මුහුණු ගණනාවක් ඇතුළත් ය. ලිපිගොනුවල නම් කිරීම හෝ පෙන්වීමෙන් වරදක් කර ඇතැයි අදහස් නොවන අතර, මේ වන විට නිකුත් කර ඇති හෝ ඊට පෙර එප්ස්ටීන් ආශ්‍රිත නිකුතුවල සඳහන් කර ඇති බොහෝ අය තමන් කිසිම ආකාරයක විෂමාචාරයක් සිදු කළ බව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ මෙතෙක් අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ දේවල්වලින් අනාවරණය වී ඇති දේ පිළිබඳ දළ විශ්ලේෂණයකි.
FBI ඊමේල් පණිවුඩයෙන් හැඟවෙන 'සම-කුමන්ත්‍රණකරුවන්' 10 දෙනා
නිකුත් කරන ලද ලේඛන අතර 2019දී FBI කාර්ය මණ්ඩලය අතර හුවමාරු වූ බව පෙනෙන ඊමේල් පණිවුඩ ද ඇති අතර, එප්ස්ටීන් නඩුවේ "සම-කුමන්ත්‍රණකරුවන්" 10 දෙනෙකු ගැන එහි සඳහන්ව තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෆ්ලොරිඩාවේ තිදෙනෙකු සහ බොස්ටන්, නිව්යෝර්ක් නගරය සහ ක්නේටිකට්හි එක් අයෙකු බැගින් ඇතුළුව හය දෙනෙකුට සිතාසි ලැබී ඇති බව ඊමේල්වල සඳහන් විය.
"ඔහායෝහි ධනවත් ව්‍යාපාරිකයෙකු" ඇතුළුව සිතාසි හතරක් ඒ වන විටත් ලබා දී නොමැති බව ඊමේල්වල සඳහන් විය.
FBI හි නිව්යෝර්ක් කාර්යාලයට යවන ලද තවත් ඊමේල් පණිවිඩයක, චෝදනාවට ලක්වූ සම-කුමන්ත්‍රණකරුවන් පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙන අතර, නම් කිහිපයක් සඳහන් කර ඇත. ඒවායින් බොහොමයක් ලිපි ගොනුවේ අඳුරු කර ඇත.
මැක්ස්වෙල් සහ වෙක්ස්නර් යන නම් දෙක ඉවත් කර නොමැත.
එප්ස්ටීන්ගේ සමීප සහකාරියක සහ හවුල්කාරියක වූ ගිස්ලේන් මැක්ස්වෙල්ට 2022දී බාලවයස්කාර දරුවන් ලිංගිකව ජාවාරම් කිරීම සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වසර 20ක සිර දඬුවමක් නියම විය.
වෙක්ස්නර් යන නම සඳහන් ඊමේල් පණිවිඩයේ, "ඔහායෝ වෙක්ස්නර් හා සම්බන්ධ වීම ගැන මම නොදනිමි" යනුවෙන් සඳහන් වන අතර, එය වික්ටෝරියාස් සීක්‍රට්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලෙස් වෙක්ස්නර් වෙත යොමු කළ එකක් බව පෙනී යයි.
එප්ස්ටීන් සමග ප්‍රසිද්ධ මිත්‍රත්වයක් පැවැත්වූ වෙක්ස්නර්, 2019 දී පැවසුවේ එම මූල්‍යකරු සමග ඇති සම්බන්ධය නිසා තමා "ලැජ්ජාවට" පත් වූ බව යි.
දෙසැම්බර් 23 වන දින අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිගොනුවලට ප්‍රතිචාර දක්වමින් වෙක්ස්නර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් බීබීසී පුවත් වෙත පැවසුවේ, "එප්ස්ටීන් විමර්ශනය භාරව සිටි සහකාර එක්සත් ජනපද නීතිඥවරයා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ වෙක්ස්නර් මහතා සම-කුමන්ත්‍රණකරුවෙකු හෝ ඉලක්කයක් නොවන බව," යනුවෙන් ය.
නාන තටාකයක සහ උණු වතුර තටාකයක බිල් ක්ලින්ටන් සිටින ඡායාරූප

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
ලේඛනවල නිකුත් කර ඇති ඡායාරූප කිහිපයක හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ඡායාරූප දැක්වේ.
එක් ඡායාරූපයක ඔහු තටාකයක පිහිනන ආකාරය දැක්වෙන අතර, තවත් ඡායාරූපයක ඔහු උණුසුම් ජල තටාකයක් වැනි දෙයක හිස පිටුපසට තබාගෙන වැතිර සිටින ආකාරය දැක්වේ.
එප්ස්ටීන් ප්‍රථම වරට අත්අඩංගුවට ගැනීමට පෙර, 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේදී ක්ලින්ටන් කිහිප වතාවක්ම එප්ස්ටීන් සමග ඡායාරූප ගෙන තිබේ. එප්ස්ටීන්ගේ අපයෝජනයන්ගෙන් දිවි ගලවා ගත් අය ක්ලින්ටන් කිසිදා වරදක් කළ බවට චෝදනා එල්ල කර නොමැති අතර, ඔහු ලිංගික අපයෝජන සිදු කර ඇති බවට තමා දැන සිටි බව ප්‍රතික්ෂේප කර ඇත.
ලිපිගොනු ප්‍රථම වරට නිකුත් කිරීමෙන් පසු සඳුදා ක්ලින්ටන්ගේ ප්‍රකාශකයෙකු ඒ පිළිබඳව දෙවන අදහසක් පළ කරමින්, දෙපාර්තමේන්තුව "යමෙකු හෝ යමක්" ආරක්ෂා කරන බවට චෝදනා කළේ ය. ඒන්ජල් යුරේනා සමාජ මාධ්‍ය වෙත මෙසේ පැවසීය: "කවුද, කුමක්ද හෝ ඇයි කියා අපි දන්නේ නැහැ. නමුත් අපි මෙය දන්නවා: අපට එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ." ඉතිරි ලිපිගොනු නිදහස් කරන ලෙස යුරේනා ඉල්ලා සිටියේය.
අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඡායාරූප දශක ගණනාවක් පැරණි බව යුරේනා මීට පෙර පැවසීය. "ඔවුන්ට අවශ්‍ය තරම් අවුරුදු 20කට වැඩි ඡායාරූප නිකුත් කරන්න පුළුවන්, නමුත් මෙය බිල් ක්ලින්ටන් ගැන එකක් නෙවෙයි. කවදාවත් එහෙම වෙලා නැහැ, කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ," ඔහු පැවසීය.
"මෙතන මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. පළමු කණ්ඩායම කිසිවක් දැනගෙන හිටියේ නෑ, ඔහුගේ අපරාධ හෙළිදරව් වීමට පෙර එප්ස්ටයින් සමග සම්බන්ධතා නැවත්වූවා. දෙවන කණ්ඩායම පසුව ඔහු සමග සබඳතා දිගට ම කරගෙන ගියා. අපි පළමු කණ්ඩායමේ ඉන්නේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
ට්‍රම්ප්ට නවයොවුන් ගැහැනු ළමයෙකු හඳුන්වා දුන් බවට සහ එප්ස්ටීන්ගේ ගුවන්යානයේ ගමන් කළ බවට එල්ල වන චෝදනා
අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපිගොනුවල වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳව ද සඳහන් කර ඇත.
නිකුත් කරන ලද අධිකරණ ලේඛනවල සඳහන් වන්නේ එප්ස්ටීන්, ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී ට්‍රම්ප්ට 14 හැවිරිදි දැරියක් හඳුන්වා දුන් බවට චෝදනා එල්ල වන බව යි.
1990 ගණන්වල සිදු වූ බව කියන හමුවීමේදී, එප්ස්ටීන් ට්‍රම්ප්ට වැලමිටෙන් තට්ටුවක් දමමනි, දැරිය ගැන සඳහන් කරමින්, "මේක හොඳ එකක් නේද?" යනුවෙන් "සෙල්ලක්කාර ලෙස ඔහුගෙන් ඇසුවේ ය" යනුවෙන් ලේඛනයේ සඳහන් වේ.
2020 දී එප්ස්ටීන් දේපළ භාරයට සහ ගිස්ලේන් මැක්ස්වෙල්ට එරෙහිව ගොනු කරන ලද නඩුවකට අනුව, ට්‍රම්ප් සිනාසෙමින් හිස වනා ඇත්තේ එකඟතාවය පළ කරමිනි.
"ඔවුන් දෙදෙනා ම මද සිනහවක් පෑ" බවත්, ගැහැණු ළමයාට අපහසුතාවයක් දැනුණු නමුත් "ඒ වන විට, එයට හේතුව තේරුම් ගැනීමට ඇය කුඩා වැඩි" බවත් ලේඛනයේ සඳහන් වේ.
එප්ස්ටීන් විසින් වසර ගණනාවක් තිස්සේ තමාව හදා වඩා ගෙන අපයෝජනයට ලක් කළ බවට වින්දිත කාන්තාව චෝදනා කරයි. නඩුව ගොනු කිරීමේදී ඇය ට්‍රම්ප්ට එරෙහිව කිසිඳු චෝදනාවක් ඉදිරිපත් නොකරයි.
අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා ඇබිගේල් ජැක්සන් පැවසුවේ ට්‍රම්ප් පරිපාලනය "ඉතිහාසයේ වඩාත් ම විනිවිද පෙනෙන" එකක් බවත්, "ඩිමොක්‍රටික් පක්ෂය කවදා හෝ කළ ප්‍රමාණයට වඩා වින්දිතයින් වෙනුවෙන් වැඩි යමක් කර ඇති," බවත් ය.
එක්සත් ජනපද ජනාධිපතිවරයා මීට පෙර වසර ගණනාවක් තිස්සේ එප්ස්ටීන්ගේ මිතුරෙකු බව පවසා ඇතත්, එප්ස්ටීන් පළමු වරට අත්අඩංගුවට ගැනීමට වසර ගණනාවකට පෙර 2004 දී පමණ ඔවුන් අතර විරසකයක් ඇති වූ බව පැවසීය.
එප්ස්ටීන් සම්බන්ධ සිද්ධියේදී කිසිදු වරදක් කර ඇති බව ට්‍රම්ප් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.
නිකුත් කරන ලද තවත් ලේඛන කට්ටලයක, නිව්යෝර්ක්හි ෆෙඩරල් නඩු පවරන්නන් යෝජනා කරන්නේ ට්‍රම්ප්, කලින් දැන සිටි ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් එප්ස්ටීන්ගේ පෞද්ගලික ගුවන් යානයේ ගමන් කළ බව යි.
2020 ජනවාරි මාසයේ ඊමේල් පණිවිඩයකින්, නිව්යෝර්ක් අභිචෝදකයෙකු නම සඟවන ලද ලබන්නෙකු වෙත පවසා ඇත්තේ, නව ගුවන් ගමන් වාර්තාවලින් පෙනී යන්නේ "ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් වාර්තා කළ හෝ (අප දන්නා වාර ගණනට) වඩා එප්ස්ටීන්ගේ පෞද්ගලික ජෙට් යානයේ ගමන් කර ඇති බව යි.
"1993 සහ 1996 අතර අවම වශයෙන් ගුවන් ගමන් අටක" මගියෙකු ලෙස ට්‍රම්ප්ව ලැයිස්තුගත කර ඇති අතර, ගිස්ලේන් මැක්ස්වෙල් අවම වශයෙන් එම ගුවන් ගමන් හතරකවත් සිටි බව අභිචෝදකයා ලියා තිබේ. ට්‍රම්ප් ගමන් කළ "අනෙක් අය අතර සහ විවිධ කාලවලදී මාර්ලා මේපල්ස්, ඔහුගේ දියණිය ටිෆනි සහ ඔහුගේ පුත් එරික් සමග ගමන් කර ඇති බවටද ලැයිස්තුගත කර ඇත," යැයි එහි සඳහන් වේ.
ටිෆනිගේ මව වන මේපල්ස්, 1993 සිට 1999 දක්වා ට්‍රම්ප් සමග විවාහ වී සිටියා ය.
"තවත් ගුවන් ගමන් දෙකක, මගීන්ගෙන් දෙදෙනෙකු පිළිවෙලින් කාන්තාවන් වූ අතර, ඔවුන් මැක්ස්වෙල් [පිළිබඳ] නඩුවක සාක්ෂිකරුවන් විය හැකි ය," යනුවෙන් අභිචෝදකයා ලියා තිබේ.
ට්‍රම්ප් ගියේ යැයි කියනු ලබන සංචාරවල කාලය, මැක්ස්වෙල්ගේ ක්‍රියාමාර්ග සහ ඇයට එරෙහි අපරාධ නඩුවේ කොටසක් ලෙස ගමන් පරීක්ෂා කිරීමේදී ෆෙඩරල් අභිචෝදකයන් විසින් සමාලෝචනය කරන ලද වසරවලට ගැලපෙයි. බාලවයස්කරුවන් බඳවා ගැනීමට සහ ලිංගික අපයෝජනය කිරීමට එප්ස්ටීන් සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මැක්ස්වෙල් අවසානයේ වැරදිකරු විය.
අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ සමහර ලිපිගොනු වල "ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව කරන ලද අසත්‍ය සහ සංවේදී ප්‍රකාශ අඩංගු වන අතර ඒවා 2020 මැතිවරණයට පෙර FBI වෙත ඉදිරිපත් කරන ලදී," යනුවෙනි.
'A' ගෙන් ලැබුණු ඊමේල් පණිවිඩ සහ ඇන්ඩෲ උකුල හරහා වැතිර සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
නිකුත් කරන ලද ඡායාරූප සහ ලේඛන අතර, ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර්වරයා පස් දෙනෙකු හරහා වැතිර සිටින ආකාරය දැක්වෙන එක් ඡායාරූපයක් ද ඇති අතර, ඔවුන්ගේ මුහුණු වසා තිබේ.
එප්ස්ටීන් නඩුවේ වරදකරු වූ සම-කුමන්ත්‍රණකරු මැක්ස්වෙල් ඔවුන් පිටුපස සිටගෙන සිටින ආකාරය රූපයේ දැකිය හැකි ය.
ඡායාරූපයේ පෙනී නොසිටින එප්ස්ටීන් සමග ඔහුගේ අතීත මිත්‍රත්වය සම්බන්ධයෙන් ඇන්ඩෲ වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණවලට ලක්ව තිබේ.
"A" ලෙස හඳුන්වන පුද්ගලයෙකු විසින් 2001දී එවන ලද විද්‍යුත් තැපෑලක් කැපී පෙනෙන අනෙක් ලිපිගොනු වලින් එකකි.
මැක්ස්වෙල් වෙත යවන ලද පණිවිඩයේ සඳහන් වන්නේ "A, රාජකීය පවුල සඳහා වූ බැල්මොරල් ගිම්හාන කඳවුරේ" සිටින බවයි. බැල්මොරල් යන්නෙන් රාජකීය පවුල විසින් භාවිතා කරන ලද විවේක ස්ථානයක් වන බැල්මොරල් මාලිගය හැඳින්වෙනවා විය හැකි ය.
"අදෘශ්‍යමාන මිනිසා" ලෙස ද හඳුන්වන "A", ඉන්පසු මැක්ස්වෙල්ගෙන් මෙසේ අසයි: "ඔයා මට අලුත් නරක යාලුවෝ සොයා ගත්තා ද?"
"A" වෙතින් ලැබුණු ඊමේල් පණිවුඩය එවා ඇත්තේ, පෙර ගොනු නිකුතුවක ඡායාරූපයක, එප්ස්ටීන්ගේ දුරකථන පොතේ "යෝර්ක් ආදිපාදවරයා" යන නම යටතේ ලැයිස්තුගත කර තිබූ ලිපිනයට සමාන නමුත් තරමක් වෙනස් ලිපිනයකිනි.
කලින් යෝර්ක් ආදිපාදවරයා ලෙස හැඳින්වූ මවුන්ට්බැටන් වින්ඩ්සර්වරයා, එප්ස්ටීන් සම්බන්ධ කිසිදු වරදක් තමා සිදු කර ඇති බව නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර, "පසුව ඔහු අත්අඩංගුවට ගෙන වරදකරු කිරීමට හේතු වූ ආකාරයේ කිසිදු හැසිරීමක් තමා දුටුවේ නැත, සාක්ෂිකරුවකු වූයේ නැත, සැක කළේ නැත," යනුවෙන් පැවසීය.
මයිකල් ජැක්සන්, ඩයනා රොස්, ක්‍රිස් ටකර් සහ මික් ජැගර් පෙනී සිටින ඡායාරූප
දෙසැම්බර් 19 වන දින නිකුත් කරන ලද අධිකරණ දෙපර්තෙම්න්තුවේ ලේඛනවලට මෙතෙක් එප්ස්ටීන් සම්බන්ධ ගොනු නිකුතුවක දක්නට ලැබුණු විශාලතම කීර්තිමත් පුද්ගලයින් කණ්ඩායම ඇතුළත් විය.
හිටපු මූල්‍යකරුවෙකු වූ එප්ස්ටීන්, විනෝදාස්වාදය, දේශපාලනය සහ ව්‍යාපාර යන ක්ෂේත්‍ර හරහා ඉහළ පෙළේ සම්බන්ධතා ඇති අයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය.
සමහර පින්තූරවල ඔහු මයිකල් ජැක්සන්, මික් ජැගර් සහ ඩයනා රොස් ඇතුළු තරු සමඟ සිටින ආකාරය පෙන්නුම් කෙරිණි.
මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ කොහේ ද, කවදා ද යන්න හෝ කුමන සන්දර්භයක් තුළ ද යන්න පැහැදිලි නැත. එප්ස්ටීන් මේ සියලු දෙනා සමග සම්බන්ධ වී සිටියා ද නැතහොත් ඔහුම මෙම සමාජීය අවස්ථාවන්ට සහභාගී වූයේ ද යන්න පැහැදිලි නැත. එප්ස්ටීන්ගේ දේපළ භාරය කලින් නිකුත් කරන ලද ඡායාරූප අතර ඔහු නොගත් ඡායාරූප, ඔහු සහභාගී නොවූ අවස්ථාවන්වලදී ලබාගත් ඡායාරූප ඇතුළත් වේ.
අලුතින් නිකුත් කරන ලද ඡායාරූපයක, එප්ස්ටීන්, මයිකල් ජැක්සන් සමග ඡායාරූපයක සිටියි. තවත් රූපයක දැක්වෙන්නේ රෝලිං ස්ටෝන්ස්හි පුරාවෘත්තයක් වන ජැගර්, ක්ලින්ටන් සහ මුහුණ කළු පැහැයෙන් මකා ඇති කාන්තාවක් සමග ඡායාරූපයකට පෙනී සිටින ආකාරය යි. ඔවුන් සියල්ලෝ ම කොක්ටේල් සාද ඇඳුමින් සැරසී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
තවත් ඡායාරූපයක දැක්වෙන්නේ ජැක්සන් සහ ක්ලින්ටන් සහ රොස් කුඩා ස්ථානයක පෙනී සිටින අයුරු සහ තවත් බොහෝ මුහුණු කළු පැහැයෙන් මකා දමා ඇති ආකාරයයි.
ඡායාරූප කිහිපයක නළු ක්‍රිස් ටකර් ඇතුළත් වේ. එකක් ඔහු කෑම මේසයක ක්ලින්ටන් අසලින් පෙනී සිටිමින් වාඩි වී සිටින ආකාරය පෙන්වයි. තවත් ඡායාරූපයක ඔහු මැක්ස්වෙල් සමග ගුවන් යානා අංගනයක සිටින ආකාරය පෙන්වයි.
අදහස් දැක්වීම සඳහා බීබීසීය විසින් ජැගර්, ටකර් සහ රොස් සම්බන්ධ කර ගෙන තිබේ.
එප්ස්ටීන්ගේ ලිංගික අපයෝජන පිළිබඳ දැන සිටියේ ද යන්න ක්ලින්ටන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබේ. ලිපිගොනු නිකුත් කිරීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශකයෙකු පැවසුවේ ඡායාරූප දශක ගණනාවක් පැරණි බව යි. "මේක බිල් ක්ලින්ටන් ගැන නෙවෙයි. කවදාවත් එහෙම වෙලා නැහැ, කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ," ඔහු පැවසීය," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
ඩව්නිං වීදියේ ඡායාරූපයක සිටින මැක්ස්වෙල්
තවත් ඡායාරූපයක දැක්වෙන්නේ මැක්ස්වෙල් ඩව්නිං වීදියේ අංක 10 , එනම් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිට පෙනී සිටින ආකාරයයි.
ඇය තනිව සිටින අතර, ඇය එහි සිටින්නේ ඇයි ද යන්න හෝ ඡායාරූපය ගත් දිනය පිළිබඳ සන්දර්භයක් ඡායාරූපය සමග සපයා නොමැත.
ඡායාරූපය ගන්නා අවස්ථාවේ එක්සත් රාජධානියේ අගමැති කවු ද යන්න හෝ මැක්ස්වෙල් සංචාරය කළේ කුමන ධාරිතාවයකින්දැයි අපි නොදනිමු.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
Accuser said Epstein threatened to burn down house එප්ස්ටීන් නිවස ගිනි තබන බවට තර්ජනය කළ බව පවසන පැමිණිලිකරු
එප්ස්ටීන් ගැන වාර්තා කළ පළමු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලිපිගොනු වල දක්නට ලැබේ.
එප්ස්ටීන් වෙනුවෙන් සේවය කළ කලාකාරිනියක වන මාරියා ෆාමර් 1996 දී FBI වෙත නිකුත් කළ වාර්තාවක සඳහන් කළේ, ඇය ලබා ගත් ඇගේ 12 හැවිරිදි සහ 16 හැවිරිදි සහෝදරියන්ගේ පෞද්ගලික ඡායාරූප ඔහු සොරකම් කළ බවයි.
එප්ස්ටීන් විසින් ඡායාරූප ගැනුම්කරුවන්ට විකුණා ඇති බවත්, ඒ බව කිසිවෙකුට පැවසුවහොත් ඇගේ නිවස ගිනි තබන බවට ඔහු තර්ජනය කළ බවත් ෆාමර් පැමිණිල්ලක සඳහන් කළා ය.
ලිපිගොනුවල ඇගේ නම ඉවත් කර ඇති නමුත් ෆාමර් තහවුරු කළේ එම තොරතුරු ඇගේ බව යි.
1996 දී ඇය ඉදිරිපත් කළ වාර්තාවේ, පිහිනුම් තටාකවල සිටින තරුණ ගැහැණු ළමයින්ගේ ඡායාරූප ගන්නා ලෙස එප්ස්ටීන් තමාගෙන් ඉල්ලා සිටි බවට ඇය චෝදනා කළා ය.
"එප්ස්ටීන් දැන් තර්ජනය කරනවා [මකා ඇති] ඡායාරූප ගැන ඇය කිසිවෙකුට කිව්වොත් ඇගේ නිවස ගිනිබත් කරන බවට," වාර්තාවේ සඳහන් වේ.
ලිපිගොනු නිකුත් කිරීමෙන් පසු, වසර 30කට ආසන්න කාලයකට පසු තමා නිදොස් කොට නිදහස් වූ බවක් දැනුණු බව ෆාමර් පැවසුවා ය. "මට නිදහස ලැබුණා වගේ දැනෙනවා," ඇය පැවසුවා ය.
බොහෝ ඒවා තවමත් නිකුත් කර නෑ
නිකුත් කරන ලද ලේඛන අතර පොලිස් ප්‍රකාශ, විමර්ශන වාර්තා සහ ඡායාරූප ඇතුළු බොහෝ දේ සංස්කරණය කර තිබේ.
බීබීසීහි ඇමෙරිකානු හවුල්කරු වන CBSට අනුව, දෙසැම්බර් 19 වන දින පළමු වරට නිකුත් කරන ලද ලිපිගොනුවල පිටු 550කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම සංස්කරණය කර ඇත.
මේවා අතරට පිටු 100ක් මුළුමනින්ම අඳුරු කර දැමූ ප්‍රධාන ජූරි විමර්ශනයකට අදාළ ලේඛනයක් ඇතුළත් වේ.
නීතියේ දක්වා ඇති පරිදි, වින්දිතයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා හෝ සිදු කෙරෙමින් ඇති අපරාධ විමර්ශනයකට අදාළ ඕනෑ ම දෙයක් ආරක්ෂා කිරීම සඳහා ලිපිගොනු සංස්කරණය කිරීමට නිලධාරීන්ට අවසර දී ඇති නමුත්, නීතියෙන් ඔවුන් එවැනි සංස්කරණයන් ගැන පැහැදිලි කිරීමට අවශ්‍ය වන අතර එය තවමත් සිදු කර නොමැත.
දෙසැම්බර් 19 වන දිනට පෙර සියලුම ලිපිගොනු නිකුත් නොකළේ මන්දැයි විමසූ විට බ්ලැන්ච් මෙසේ පැවසීය: "ඒක ඉතා සරලයි සහ ඉතා පැහැදිලියි. වින්දිතයින් ආරක්ෂා කිරීමට ද ව්‍යවස්ථාවෙන් අපෙන් ඉල්ලා සිටිනවා."

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
එම මූලික තොරතුරු නිකුත් කිරීමෙන් පසුව, අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රසිද්ධියට පත් කරන ලද තොරතුරු, පසුව නිකුත් කරන ලද තොරතුරුවලින් කොටසක් පමණක් බවයි.
එම කාලසීමාව වන විට දෙපාර්තමේන්තුව "පිටු ලක්ෂ කිහිපයක්" නිකුත් කරමින් සිටි බවත් ඉදිරි සති කිහිපය තුළ "තවත් ලක්ෂ කිහිපයක්" නිකුත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් බ්ලැන්ච් පැවසීය.
ඩිමොක්‍රටික් පක්ෂයේ රෝ ඛන්නා සහ රිපබ්ලිකන් පක්ෂයේ තෝමස් මැසි ඇතුළු එක්සත් ජනපද කොංග්‍රසයේ මේ පිළිබඳ කතා කරන කොංග්‍රස් සාමාජිකයින්, ප්‍රමාදය සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර තිබේ.














