රහසිගත ලේඛන:තමන් වැරදිකරු නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට කියයි
- Author, අධිකරණයේ සිටින කේලා එප්ස්ටයින්, මියෑමිහි සිටින මැඩලින් හැල්පර්ට් සහ වොෂින්ටන් ඩීසීහි සිටින හොලි හොන්ඩරිච්
- Role, බීබීසී පුවත්
සංවේදී ලේඛන වැරදි ලෙස පරිහරණය කළේ යැයි එල්ල වී ඇති ඓතිහාසික චෝදනාවලට තමන් වරදකරු නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ මියෑමිහි ෆෙඩරල් අධිකරණයකදී ප්‍රකාශ කර තිබේ.
අපරාධයක් සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයකදී අධිචෝදනාවලට ලක් වූ වත්මන් හෝ හිටපු පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප් මහතා ය.
තද පැහැති ඇඳුමකින් සහ රතු පැහැති ටයි පටියකින් සැරසී, ඔහු මෙම වසරේ දෙවන වරට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා දෑත් බැඳ, වාඩිවී සිටියේ හැඟීම් විරහිත මුහුණකින් යුතුව ය.
මෙම රිපබ්ලිකන් පක්ෂ නායකයා ඉන් පසුව නිව් ජර්සිහි බෙඩ්මින්ස්ටර්හි පිහිටි සිය ගොල්ෆ් සමාජය වෙත ගිය අතර එහිදී ඔහු ආධාරකරුවන් ඇමතීය.
පසුබිමෙන් ලෙලදෙමින් තිබුණු ඇමෙරිකානු ධජ ඉදිරියේ සිට, 2024 වසරේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින ට්‍රම්ප් රැස්ව සිටි පිරිසට පැවසුවේ, රහසිගත ලේඛන තමන් සන්තකයේ තබා ගැනීමට තමාට "සෑම අයිතියක් ම" තිබුණු නමුත් "ඒ සියල්ල කියැවීමට අවස්ථාවක් නොලද" බව ය.
තමා නීත්‍යනුකූලව කටයුතු කළ බව සඳහන් කළ ඔහු ඉන් අනතුරුව ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ හිටපු ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට එරෙහි සනාථ නොකළ ප්‍රකාශ මෙන් ම දුක්ගැනවිලි මාලාවක් ගෙනහැර දැක්වීය.
මියෑමි නගරයෙන් පිටත්ව යාමට පෙර දිනයේ, ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන 'Truth Social' ඔස්සේ, අදහස් දක්වමින් "අද දවස රටට මෙවන් දුක්බර දවසක් වෙලත් මෙතරම් උණුසුම් පිළිගැනීමක්" යැයි සඳහන් කරමින් නගරවැසියන්ට ස්තූතිය පළ කළේ ය.
රහසිගත ලේඛන නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ ඒවා නැවත ලබා ගැනීමට රජය දරන උත්සහයට බාධා කිරීම යන චෝදනා 37කට තමන් වරදකරු නොවන බවට ඊට පැය කිහිපයකට පෙර, මියෑමි නගරයේ ෆෙඩරල් අධිකරණයක 13 වන මහලේ වූ ශාලාවක, සිය නීතීඥවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ලබමින් සිටින අතරතුර ට්‍රම්ප්ගේ මුහුණේ දිස්වූයේ අඳුරු, හැඟීම් විරහිත ස්වභාවයකි.
"අපි අනිවාර්යයෙන් ම වැරදිකරු නොවන බවට අභියාචනයක් ඉදිරිපත් කරනවා," නීතිඥ ටොඩ් බ්ලැන්ච් විනිසුරුවරයාට පැවසීය.
ට්‍රම්ප්ගේ සම-විත්තිකරු වන මෙම නඩුවේ අපරාධ චෝදනා හයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔහු සමීප සහයකයෙකු වන වෝල්ට් නෞටා ද වාඩි වී සිටියේ හිටපු ජනාධිපතිවරයා සිටි මේසයේ ම ය.
පසුගිය සතියේ අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කළ විශේෂ නීතිඥ ජැක් ස්මිත් ඇතුළුව සමස්ත නීතිඥ කණ්ඩායම ම අධිකරණ ශාලාවේ විරුද්ධ පැත්තේ අසුන්ගෙන සිටියහ.
76 හැවිරිදි හිටපු ජනාධිපතිවරයාට දේශීය හෝ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමක් සිදු නොවිණි. විත්තිකරුගේ ගුවන් ගමන්වලින් අධිකරණ ක්‍රියාවලියට බාධාවක් සිදු නොවන බව පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරු මහේස්ත්‍රාත් විනිසුරු ජොනතන් ගුඩ්මන් වෙත පැවසූහ.
නමුත් ට්‍රම්ප්ට නඩුව පිළිබඳව නෞටා සමග සාකච්ඡා කිරීම තහනම් කෙරිණි.
නඩු විභාගයෙන් අනතුරුව, ඔහු සිය රථයට නැග තව ත් වාහන පෙළක් ද සමග අධිකරණයෙන් පිටව ගියේ ආධාරකරුවන් වෙත 'සියල්ල හොඳින් බව' සිය හස්තයෙන් සැල කරමිනි. ඔහු පිටව යත් ම, ට්‍රම්ප් විරෝධී විරෝධතාකරුවෙකු සිර ඇඳුමකින් සැරසී ට්‍රම්ප්ගේ වාහන පෙළ ගමන් කළ වීදිය වෙත දිව ගියේ, ආරක්ෂක අංශ විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීමට පෙර ය. ඇතැම් විට එය බොහෝ දුරට සාමකාමීව තිබුණු දිනයක වඩාත් ම නොහික්මුණු මොහොත වූවා විය හැකි ය.
ට්‍රම්ප් සහ ඔහුගේ ආරක්ෂක අංශ ඍජුව ම මියෑමිහි ලිට්ල් හවානාහි පිහිටි ජනප්‍රිය කියුබානු අවන්හලක් වන වර්සායිල් වෙත ගිය අතර එහිදී හිටපු ජනාධිපතිවරයා සමග ඡායාරූප ගැනීම සඳහා පෙළ ගැසී සිටි ආධාරකරුවන් විශාල පිරිසක් ඔහුව පිළිගත්හ.
ඔහු තම ආරක්ෂකයින් කිහිප දෙනෙකු සමග යාඥා කරන අයුරු දිස් වුණු අතර බදාදාට යෙදී ඇති ඔහුගේ 77 වන උපන් දිනයට පෙර සුබ පැතුම්වලින් ද සංග්‍රහ ලැබුවේ ය.
හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරියක වන ඇලිනා හබ්බා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින්, මෙම චෝදනා දේශපාලනික අරමුණු අරඹයා එල්ල කළ ඒවා බවට වන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නැවත ප්‍රකාශ කළා ය.
"අපි අපේ රටේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකට දැන් ඇවිල්ලා ඉන්නේ. ප්‍රමුඛ පෙළේ දේශපාලන විරුද්ධවාදියෙක් ඉලක්ක කර ගෙන නඩු පවරන එක කියුබාව සහ වෙනිසුවෙලා වැනි ඒකාධිපති පාලනයක් තියෙන රටවල් තුළ ඔබ දකින ආකාරයේ දෙයක්," ඇය වාර්තාකරුවන්ට පැවසුවා ය.
"ජනාධිපති ට්‍රම්ප්ට කරන දේ ගැන මේ රටේ සියලු ම පුරවැසියන් බය වෙන්න ඕනේ," ඇය වැඩිදුරට ත් පැවසුවා ය.
නඩු විභාගයට පෙර, අධිකරණ නිලධාරීන් පැවසුවේ ට්‍රම්ප්ගේ ඡායාරූපයක් [මග්ෂොට්] ලබා නොගන්නා නමුත් ඩිජිටල් තාක්ෂණය භාවිත කර ඇඟිලි සලකුණු ලබා ගන්නා බව ය. තව ද ඔහුට සිය DNA සාම්පලයක් ඉදිරිපත් කරන ලෙසට ද ඔවුහු පැවසූහ.
නඩු විභාගය සඳහා මෙතෙක් දිනයක් නියම කර නැතත් ට්‍රම්ප් විසින් පත් කරන ලද දකුණු ෆ්ලොරිඩාවේ ෆෙඩරල් දිසා විනිසුරුවරයෙකු අයිලීන් කැනන් වෙත නඩුව යොමුකර තිබේ.
මෙම චෝදනා සිකුරාදා ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ, අගෝස්තු මාසයේදී ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාහි පිහිටි පෞද්ගලික නිවසක් වන මාර්-ඒ-ලාගෝහි තිබී එෆ්බීඅයි නියෝජිතයින් විසින් රහසිගත සලකුණු සහිත ලේඛන 100කට අධික සංඛ්‍යාවක් සොයා ගනු ලැබීමෙන් පසුව ය.
එක්සත් ජනපදයේ සහ විදේශීය රටවල ආරක්ෂක තත්ත්වය සහ ආයුධ පිළිබඳ තොරතුරු මෙන් ම විදේශීය ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව සඳහන් සැලසුම් ද ඒවා තුළ අනතර්ගත බව පැවසෙයි.
පැමිණිලිකාර පාර්ශයව ඔහුට චෝදනා කරන්නේ, නීති විරෝධී ලෙස ලේඛන විශාල ගණනක් තමන් සන්තකයේ තබා ගැනීම, එනම්, ඇතැම් ලේඛන උත්සව ශාලාවක ත් ඇතැම් ඒවා නාන කාමරයක ත් ගබඩා කර තැබීම සහ FBI විමර්ශනවලට බාධා කිරීම අරඹයා සිය සහයකයෙකු සමග කුමන්ත්‍රණයක නිරත වීම සම්බන්ධයෙනි.
ට්‍රම්ප්ට ඇති නීතිමය ගැටලු රිපබ්ලිකන් ඡන්දදායකයින් අතර ඔහුට ඇති සහයෝගය අඩු වීමට බලපා නොමැති බව පෙනී යයි.
බීබීසීහි එක්සත් ජනපද සහකරු CBS විසින් කරන ලද මත විමසුමකින් පෙනී ගියේ, රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන ඡන්ද දායකයින්ගෙන් 76%ක් ජාතික ආරක්‍ෂාව අවදානමට ලක් කර ඇති මෙම ලේඛනවලට වඩා, අධිචෝදනා දේශපාලනික අරමුණු අරඹයා එල්ල කළේ ද යන්න ගැන සැලකිලිමත් වන බව ය.
නීතිය අනුව, එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක කරන ෆෙඩරල් ආයතනය වන අධිකරණ දෙපාර්තමේන්තුව, ධවල මන්දිරයේ බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු ය. රහසිගත ලේඛන හැසිරවීම පිළිබඳව වෙන ම පරීක්ෂණයකට භාජනය වන බයිඩන් මහතා පසුගිය සතියේ මෙසේ පැවසීය: "මම කවදාවත් එක පාරක්වත් - එක වතාවක්වත් - එයාල කරන්න ඕනේ මොනවා ද කියලා අධිකරණ දෙපාර්තමේන්තුවට කියලා නෑ."
නීති විශාරදයින් පවසන්නේ, ට්‍රම්ප් වරදකරු වුවහොත් අපරාධ චෝදනා හේතුවෙන් ඔහුව සැලකිය යුතු කාලයක් සිරගත කළ හැකි බව ය. කෙසේ වෙත ත්, කුමන තීන්දුවක් ලැබුණ ද, ජනාධිපතිවරණ සටන අඛණ්ඩව කරගෙන යන බවට ඔහු සපථ කර ඇත.
ට්‍රම්ප් මාස තුනකට අඩු කාලයකදී අධිකරණයට පැමිණි දෙවන අවස්ථාව මෙය වේ. 2016 වසරේ මැතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට තමන් සමග පැවති සම්බන්ධතාව පිළිබඳ තොරතුරු හෙළි නොකරන ලෙස මුදල් ගෙවීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවක් මත ඔහු අප්‍රේල් මාසයේදී නිව් යෝර්ක්හිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.














