'ඉන්දියාව සහ චීනය විරුද්ධවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි' - චීන විදේශ අමාත්‍ය

Indian foreign minister S Jaishankar on the left wearing a black suit and magenta tie as he shakes hands with Wang Yi in a grey suit and purple tie on the right

ඡායාරූප මූලාශ්‍රය, MEA

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන විදේශ කටයුතු ඇමති වැන්ග් යී (වමේ) සඳුදා [අගෝස්තු 18] ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් හමුවෙමින්
    • Author, නෙයාස් ෆරුකී සහ මෙරිල් සෙබස්තියන්
    • Role, බීබීසී පුවත්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

පසුගිය සඳුදා [අගෝස්තු 18] දිල්ලියේ දෙදින සංචාරයක නිරත වෙමින් චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී පැවසුවේ ඉන්දියාව සහ චීනය ඔවුනොවන්ව දැකිය යුත්තේ "හවුල්කරුවන්" ලෙස මිස "විරුද්ධවාදීන් හෝ තර්ජනයන්" ලෙස නොවන බව ය.

මතභේදාත්මක හිමාලයානු දේශසීමා කලාපයක් වන ලඩාක්හි ගැල්වාන් නිම්නයේ මාරාන්තික ගැටුම් හේතුවෙන් රටවල් අතර සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට තුඩු දීමත් සමග 2020 වසරෙන් පසු දෙපාර්ශ්වය අතර පැවති දෙවන හමුව මෙය වූ අතර, මෙම සංචාරයේදී වැන්ග් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවිය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අඟහරුවාදා [අගෝස්තු 19] හමුවීමට පෙර, දෙරට අතර සබඳතා දැන් සහයෝගීතාව සඳහා "ධනාත්මක ප්‍රවණතාවක්" කරා ගමන් කරමින් පවතින බව වැන්ග් පැවසුවේ ය.

ඉන්දියාව සහ චීනය "අපේ සබඳතාවල දුෂ්කර කාල පරිච්ඡේදයකින් ඉදිරියට යාමට" උත්සාහ කරන බව ජයශංකර් පැවසීය.

වෙළඳාම, වන්දනා ගමන් සහ ගංගා දත්ත හුවමාරු කර ගැනීම ඇතුළු විවිධ ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

දෙරට අතර දේශසීමා ආරවුල විසඳීම සඳහා අඛණ්ඩ සාකච්ඡා කිරීම වෙනුවෙන් වැන්ග් අඟහරුවාදා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ද හමුවිය.

"දේශසීමා වල ස්ථාවරත්වය දැන් යථා තත්ත්වයට පත් පත් වෙලා තියෙනවා කියලා අපි සතුටින් කියනවා," දෝවාල් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ රැස්වීමේදී වැන්ග් පැවසීය.

"පහුගිය වසර කිහිපයේ අපි මුහුණ දුන්න දේවල්වලින් අපට කිසිම වැඩක් වුණේ නෑ," ඔහු පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සංචාරය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසියන් දෙදෙනා අතර සබඳතා වැඩිදියුණු වීමේ සංඥාවක් ලෙස පෙනී යයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාව සහ චීනය ඔවුන්ගේ මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේ ආතතීන් සමනය කිරීමට උපකාරී වන මුර සංචාර සඳහා එකඟ විය.

එතැන් සිට, දෙපාර්ශවය ම සබඳතා සාමාන්‍යකරණය කිරීමට, මෙම වසරේ ටිබෙට් ස්වයං පාලිත කලාපයේ ප්‍රධාන ස්ථාන නැරඹීමට ඉන්දියානු වන්දනාකරුවන්ට චීනය අවසර දීම ඇතුළුව පුළුල් පියවර රැසක් ගෙන තිබේ.

මෙම වසරේදී දෙරට අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ වන බවට ද වාර්තා පළ වේ.

මෙම මාසයේ අගභාගයේදී කලාපීය ආරක්ෂක කණ්ඩායමක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සහභාගී වීම සඳහා වසර හතකට පසු සිදු කිරීමට නියමිත මෝදිගේ පළමු චීන සංචාරය සඳහා අඩිතාලම දැමීම වැන්ග්ගේ රැස්වීම්වලින් අපේක්ෂා කරනු ලබයි.

මෝදි චීන ජනාධිපති ෂී ජින් පිං සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා පෙන්වා දෙන නමුත් දෙපාර්ශ්වයම මෙය තහවුරු කර නොමැත.

ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා නරක අතට හැරෙමින් පවතින පසුබිමක ඉන්දියාව සහ චීනය අතර මෙම සුහදතාවය ඇති වී තිබේ.

මේ මස මුලදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවෙන් තෙල් සහ ආයුධ මිලදී ගැනීම නිසා ඉන්දියානු ආනයන සඳහා අමතර 25% ක තීරු බද්දක් පැනවූ අතර, මුළු තීරුබදු 50% දක්වා ඉහළ නැංවීය. එය ආසියාවේ රටකට පැනවූ ඉහළම තීරු බදු අගයයි.

සඳුදා [අගෝස්තු 18] ධවල මන්දිර වෙළඳ උපදේශක පීටර් නවරෝ The Financial Times පුවත්පතට ලියූ ලිපියක සඳහන් වූයේ ඉන්දියාව "රුසියාව සහ චීනය යන දෙකටම ලැදිකම් දක්වන" බවට ය.

"ඉන්දියාව රුසියානු තෙල් සඳහා ගෝලීය නිෂ්කාශන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කර, තහනම් කරන ලද බොරතෙල් ඉහළ වටිනාකමක් ඇති අපනයන බවට පරිවර්තනය කරන අතර ම මොස්කව් වෙත අවශ්‍ය ඩොලර් ලබා දෙයි," නවරෝ ලිවීය.

"ඉන්දියාව එක්සත් ජනපදයේ උපායමාර්ගික සහකරුවෙකු ලෙස සැලකීමට අවශ්‍ය නම්, ඔවුන් [ඉන්දියාව] එවැනි අයෙකු ලෙස ක්‍රියා කිරීම ආරම්භ කළ යුතු යි," ඔහු පවසා තිබේ.

සඳුදා වැන්ග් හමුවීමෙන් පසු, ජයශංකර් සිය අදහස් දැක්වීමේදී පැවසුවේ සාකච්ඡාවලින් ගෝලීය වර්ධනයන් ආවරණය කරන බව ය.

"බහු ධ්‍රැවීය ආසියාවක් ඇතුළුව, සාධාරණ, සමබර සහ බහු ධ්‍රැවීය ලෝකයක් අපි බලාපොරොත්තු වෙනවා," ජයශංකර් පැවසුවේ ය.

"ප්‍රතිසංස්කරණය වූ බහුපාර්ශවිකභාවය අද වන විට අත්‍යවශ්‍ය දෙයක්. ඒක වත්මන් පරිසරය තුළ, ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ වැඩිදියුණු කිරීම පැහැදිලිවම අත්‍යවශ්‍ය දෙයක්," ඔහු වැඩිදුරටත් පැවසීය.