රුසියාවෙන් තෙල් මිල දී ගැනීම හේතුවෙන් ට්‍රම්ප් ඉන්දියාවට 25%ක අමතර තීරු බදු පනවයි

India Prime Minister Narendra Modi shakes hands with President Donald Trump at the White House in February during a press conference. Behind the two men are the flags of India and the US. Modi stands in profile while Trump is looking forward.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රුසියාවෙන් බොර තෙල් මිල දී ගැනීම හේතුවෙන් ඉන්දියාවට අතිරේක 25%ක තීරු බදු පනවමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා විධායක නියෝගයක් නිකුත් කර තිබේ.

එමගින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන ඉන්දියානු භාණ්ඩවලින් අය කෙරන මුළු තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව, එය එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ඉහළ ම තීරු බදු අනුපාත අතරට එක් වේ.

"මෙම නියෝගය නිකුත් කළ දින සිට දින 21කට පසු ඇමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පෙ.ව. 12:01ට හෝ ඊට පසු පරිභෝජනය සඳහා පැමිණෙන හෝ පරිභෝජනය සඳහා ගබඩාවලින් පිට කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් නව තීරු බදු අනුපාතය ක්‍රියාත්මක වනු ඇත," යනුවෙන් විධායක නියෝගයේ සඳහන් විය.

"රුසියානු යුද්ධ යාන්ත්‍රය මගින් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය ගියත් ඉන්දියාවට කමක් නැහැ," යැයි පවසමින්, තමන් තීරු බදු වැඩි කරන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර අනතුරු අඟවා තිබිණි.

"යුක්‍රේනයේ රුසියානු සමූහාණ්ඩුවේ ක්‍රියාමාර්ග එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට අඛණ්ඩ තර්ජනයක් එල්ල කරන අතර, ජාතික හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ශක්තිමත් පියවර අවශ්‍ය වේ," යැයි ධවල මන්දිර නිවේදනයේ දැක්වෙයි.

"ඉන්දියාව රුසියානු සමූහාණ්ඩුවෙන් තෙල් ආනයනය කිරීම රුසියාවේ හානිකර ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට එක්සත් ජනපදය දරන උත්සහයට හානිකරයි."

ඉන්දියාව රුසියානු තෙල් ආනයනය කර යළි වෙනත් වෙළෙඳපොළවලට විකිණීම මගින් "[යුක්‍රේනය] ආක්‍රමණයට අරමුදල් සැපයීමට රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථිකයට තවදුරටත් හැකියාව ලැබෙන" බව ධවල මන්දිරය පැවසීය.

එහි සඳහන් වූයේ, "රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථිකයට සහය දීමෙන් රටවල් වැළැක්වීමට" එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම තීරු බදු භාවිත කරන බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රුසියාවෙන් තෙල් ආනයනය කරන අනෙකුත් රටවල් මොනවා ද යන්න එක්සත් ජනපදය විසින් තීරණය කරනු ලැබ ඇති බවත්, "අවශ්‍ය පරිදි ජනාධිපතිවරයාට වැඩිදුර ක්‍රියාමාර්ග නිර්දේශ කරනු ඇති" බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

රුසියාව සහ යුක්‍රේනය අතර සාමය සුරක්ෂිත කිරීම අරමුණු කර ගත් ට්‍රම්ප්ගේ ඉහළ ම නියෝජිත ස්ටීව් විට්කොෆ් මොස්කව්හිදී පැවැත්වූ රැස්වීම්වලින් පසුව මෙම තීරු බදු වැඩි කිරීමේ තර්ජනය එල්ල වී තිබේ.

රුසියාවෙන් තෙල් මිල දී ගැනීම පදනම් කර ගනමින් තීරු බදු ඉහළ නැංවීම පිළිබඳ ට්‍රම්ප්ගේ තර්ජනය "අසාධාරණ සහ අයුක්තිසහගත" බව ඉන්දීය රජය මීට පෙර සඳහන් කළේ ය.

මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් කියා සිටියේ, ගැටුම ආරම්භයේදී "ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා" රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාව දිරිමත් කළ බව ය.

"ගැටුම වර්ධනය වීමෙන් පසු සාම්ප්‍රදායික සැපයුම් තොග යුරෝපයට හරවා යැවූ නිසා ඉන්දියාව රුසියාවෙන් ආනයනය කිරීමට පටන් ගත්තා" යැයි ඔහු පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් රුසියාව සමග වෙළෙඳාම් කරන අතරතුර, තම රටට එරෙහිව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන ඇමෙරිකා එක්සත් ජනපදය විවේචනයට ලක් කළේ ය.

දැඩි සම්බාධක සහ තීරු බදු නොතකා, පසුගිය වසරේ ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාව සමග ඩොලර් බිලියන 3.5ක ඇස්තමේන්තුගත වටිනාකමක් සහිත භාණ්ඩ වෙළෙඳාම් කළේ ය.

"ඕනෑ ම ප්‍රධාන ආර්ථිකයක් මෙන්, ඉන්දියාව ද තම ජාතික අභිලාෂයන් සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනු ඇත," යනුවෙන් විදේශ අමාත්‍යංශ ප්‍රකාශයේ සඳහන් වේ.