ජීවිත අවදානම නොතකා පලස්තීන සහන සේවකයින් ගාසා අවතැන්වූවන්ට ආධාර සැපයීමට කැප වන අයුරු

Mohammed Abu Rajila works on some dough at a table.
ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් අබු රජිලා තම ජීවිතය පරදුවට තබා ගාසා තීරයේ සිටින සෙසු පලස්තීනුවන්ට ආධාර ලබා දෙයි
    • Author, මහමුද් එල් නජ්ජර්
    • Role, බීබීසී පුවත් අරාබි

"ජාත්‍යන්තර ගුවන් ගමන් බලපත්‍රයක් තියෙන විදේශිකයෙකුවත් බෝම්බ ගහලා මරලා දානවා නම්, ඒගොල්ලෝ අපිට මොනවා නොකරයි ද?"

පලස්තීන තරුණයෙකු වන මොහොමඩ් අබු රජිලා ගාසා තීරයේ මානුෂීය කටයුතු පිළිබඳ සංවාදය ආරම්භ කළේ මෙලෙස ය.

ඒ, අප්‍රේල් 1 වන දා ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් World Central Kitchen (WCK) නමැති පුණ්‍යායතනයේ සේවකයන් හත් දෙනකු මිය යාමේ සිදුවීමෙන් පසුව ය.

ප්‍රහාරයට ගොදුරු වූවන් අතර බ්‍රිතාන්‍ය, පෝලන්ත, ඔස්ට්‍රේලියානු, පලස්තීන ජාතිකයන් මෙන් ම, එක්සත් ජනපද-කැනේඩියානු ද්විත්ව පුරවැසියෙක් ද සිටියි.

සහන කණ්ඩායම් පවසන්නේ, ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීන සහන සේවකයින් 196 දෙනෙකු මිය ගොස් ඇති බව ය. (මූලාශ්‍රය: බීබීසී)

අබු රජිලා යනු, ගාසා තීරය සහ පලස්තීන අනන්‍යතාව පිළිබඳ වීඩියෝ අන්තර්ගතයන් නිර්මාණය (content creator) කර පළ කළ අයෙකි. යුද්ධය ආරම්භ වූ පසු, ඔහු එහි පුරවැසියන්ට සහය වීමට සහ ඔවුන්ට ආධාර බෙදා දීමට "Youth of Gaza" නමින් ක්‍රියාන්විතයක් ආරම්භ කළේ ය.

A group of aid workers cooking food in large pots

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ප්‍රහාරයට පෙර, (WCK) ආයතනය ගාසා තීරයේ ජනතාව සඳහා දිනකට ආහාර වේල් 350,000 ක් පමණ සපයන ලදී.

අබු රජිලා පවසන්නේ, ජාත්‍යන්තර සහන සේවකයින් ඝාතනය කිරීමෙන් පසු ප්‍රදේශයේ අනතුරුදායක තත්ත්වය ඉහළ ගොස් ඇති බව ත් ආධාර බෙදා හැරීමේදී [පලස්තීන] සහන සේවකයින් මිය යාමේ වැඩි අවදානමක් ඇති බව ත් දැන් ඔහුට හැඟෙන බව ය.

සහන සැපයීමට හෝ අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට පවා එහා මෙහා යාම දුෂ්කර වී ඇති බව ඔහු තවදුරටත් පවසයි.

නමුත් මෙම තරුණයා පවසන්නේ, මෙම බිය තමාට හෝ ඔහුගේ සගයන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට බාධාවක් නොවන බව ය.

"ආධාර ලබා නොදීමෙන් ඇති වෙන හානිය, ඝාතනයට ලක් වීමෙන් සිද්ධ වෙන හානියට වඩා අඩුයි කියලා සලකන්න බැහැ," ඔහු පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම "ඛේදනීය" සහ "අනපේක්ෂිත" සිදුවීමක් ලෙස විස්තර කර ඇත.

ප්‍රහාරයෙන් මද වේලාවකට පසු, World Central Kitchen සංවිධානය, අනෙකුත් ජාත්‍යන්තර පුණ්‍යායතන සමග එක්ව ගාසා තීරයේ සිය මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත්තේ ය.

Four aid workers working by a damaged ambulance
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සඳුදා රාත්‍රියේ WCK රථ පෙළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය

ආරක්ෂාව සම්බන්ධයෙන් සමාලෝචනයක් පවත්වන තෙක්, ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති රෆාහි සහ එහි මධ්‍යයේ පිහිටා ඇති ඩේර් අල්-බාලාහි තම මානුෂීය කටයුතු දින තුනකට අත්හිටුවන Project HOPE නමැති ජාත්‍යන්තර සංවිධානය බව නිවේදනය කළේ ය.

එම සංවිධානයේ හදිසි සූදානම සහ ප්‍රතිචාරය පිළිබඳ අධ්‍යක්ෂ ආර්ලන් ෆුලර් ඊමේල් පණිවිඩයක් හරහා බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, WCK කණ්ඩායමේ සාමාජිකයින් ඝාතනය කිරීමෙන් Project HOPEහි සියලු ම සේවකයින් බියට පත් වූ බව ත් අතිශයින් කම්පා වුණු බව ත් ය.

ප්‍රහාරයට ගොදුරු වූවන් සමග ඔවුන්ට ශක්තිමත් සම්බන්ධයක් පැවති බව ත් හදිසි අවස්ථාවලදී ඔවුන් බොහෝ විට එක්ව වැඩ කළ බව ත් ඔහු පැවසීය.

"ඝාතනයට ලක් වුණු WCK කණ්ඩායමේ සාමාජිකයෙක් ගාසා තීරයේ ඉන්න අපේ Project HOPE කණ්ඩායමේ සාමාජිකයෙකුට ඥාති වෙනවා," ඔහු පැවසීය.

A Project Hope worker measuring a person's arm

ඡායාරූප මූලාශ්‍රය, Project Hope

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය පුණ්‍යායතනයක් වන 'ප්‍රොජෙක්ට් හෝප්' ගාසා තීරයේ සිය මෙහෙයුම් පිළිබඳ ආරක්ෂක සමාලෝචනයක් පවත්වනු ලැබීය

ෆුලර් පැවසුවේ, මෙහෙයුම් අත්හිටුවීමට ඔවුන් ගත් තාවකාලික තීරණය, මූලික වශයෙන් WCK වෙත තම සහය පළ කිරීමක් මෙන් ම තර්ජන මට්ටම නැවත තක්සේරු කිරීමක් බව ය.

"සහන සේවකයින් ආරක්ෂා ක‍රන්න පිහිටුවලා තියෙන "යුද්ධ මුක්ත කලාප ඇති කිරීමේ" යාන්ත්‍රණවල සඵලතාව ගැන වගේ ම WCK කණ්ඩායමේ සාමාජිකයින්ට එල්ල වූ ප්‍රහාරය ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් ගැන සැලකිය යුතු ප්‍රශ්න මතු කරනවා," ඔහු පැවසීය.

"මෙම සිදුවීමත් එක්ක ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහන මෙහෙයුම් ගැන දකින විධියේ වෙනසක් වෙනව ද කියන එක අපි ඇගයීමට ලක් කළ යුතු අතර ම අපේ කණ්ඩායම් ආරක්ෂා කර ගන්න අපට ඔවුන් මත විශ්වාසය තැබිය හැකි ප්‍රමාණය ගැන තීරණය කළ යුතු යි."

Tents set up by International Medical Corps (IMC) mission in Gaza

ඡායාරූප මූලාශ්‍රය, IMC

ඡායාරූප ශීර්ෂ වැකිය, The International Medical Corps (IMC) charity is also reviewing security protocols

ගාසාහි International Medical Corpsහි සෞඛ්‍ය උපදේශක සවාර් අලී ද පැවසුවේ, WCK සේවකයින් ඝාතනය කිරීම, ආරක්ෂක ප්‍රොටෝකෝල සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් කළ බව ය.

මෙම සංවිධානයට තමන්ගේ ම ආරක්ෂක ක්‍රියා පටිපාටි ඇති නමුත් තම කාර්ය මණ්ඩලයට වැඩි ආරක්ෂාවක් ලබා දීම සඳහා ඔවුන්ගේ ගමන්බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඔහු පැවසීය.

ඔවුන් සතුව රෆා නගරයට උතුරින් එක් ක්ෂේත්‍ර රෝහලක් ඇති අතර එය ඔවුන් රෆාහි බටහිර කොටසේ අල්-මවාසි ප්‍රදේශයට ගෙන යාමට තීරණය කර ඇත.

WCR වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු මධ්‍යම ගාසාවේ ඩේර් අල්-බාලාහි දෙවන ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවීම සම්බන්ධ ඔවුන්ගේ සැලසුම් පිළිබඳව "නැවත තක්සේරු කිරීමට" ඔවුන් තීරණය කර ඇත.

"ඩේර් අල්-බාලාහි නව ක්ෂේත්‍ර රෝහලක් වෙනුවෙන් දැවැන්ත මානුෂීය අවශ්‍යතාවක් තියෙනවා. විශේෂයෙන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ළමා රෝග සත්කාර සපයන එකක්. මොක ද ඒ තුළ අවතැන් වූවන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා," අලී පැවසීය.

WCK tents by the jetty for aid arriving by sea

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු ගාසා තීරයේ සමුද්‍ර කොරිඩෝවක් සහ එහි බෙදාහැරීමේ ජාලය විවෘත කිරීම හේතුවෙන් WCK එහි ප්‍රමුඛත්වය ලබා ගත්තේය.

උතුරු ගාසා තීරයේ සාගත බියක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පලස්තීන රතු අඩසඳ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය බෂාර් මුරාද් පැවසුවේ, වෛද්‍යවරුන් ද බියට පත්ව ඇති බව ය.

වෛද්‍ය රථ සහ වෛද්‍ය කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා විවිධ ජාත්‍යන්තර හා ජාතික ආයතන සමග සන්නිවේදනය කළ ද, ආරක්ෂාව පිළිබඳව සහතික වීම් නොමැතිකම හේතුවෙන් තුවාල ලැබූවන් දකුණු ප්‍රදේශයට යැවීම සම්බන්ධීකරණය කිරීම සඳහා ඔවුන් උතුරට යාමට මැලිකමක් දක්වන බව ඔහු පැවසීය.

"WCK ධජය පැහැදිලිව පේන්න සලකුණු කරලා තිබුණු වාහනයක්, ඊශ්‍රායල පාර්ශවය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් ඉලක්ක කිරීම මානුෂීය කටයුතුවල යෙදිලා ඉන්න සේවකයන්ට ප්‍රබල පණිවිඩයක්," ආචාර්ය මුරාද් පැවසීය.

"ඒ ප්‍රහාරය වැරදීමක් කියලා කියාවි කියලා මම බලාපොරොත්තු වෙනවා."

ගාසා තීරයේ ජනගහනයෙන් වැඩි පිරිසක් දශක ගණනාවක් තිස්සේ මානුෂීය ආධාර මත විශ්වාසය තබා තිබුණු පසුබිමක, සමුද්‍ර කොරිඩෝවක් විවෘත කිරීම සහ තම බෙදාහැරීමේ ජාලය හේතුවෙන් WCK ඉක්මනින් ප්‍රමුඛ තැනක් දිනා ගත්තේ ය.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සේවා කටයුතු ආයතනයේ (UNRWA) ප්‍රකාශක අද්නාන් අබු හස්නා පැවසුවේ, WCK විසින් වැඩ අත්හිටුවනු ලැබීම හේතුවෙන් ගාසා තීරයේ, විශේෂයෙන් උතුරේ සිවිල් වැසියන්ට විශාල බලපෑමක් ඇති වූ බව ය.

"අවදානමට ලක්විය හැකි ගාසා වැසියන් බොහෝ දෙනෙකුට WCK විසින් දීපු දෛනික ආහාර වේල වැදගත් වුණා," යනුවෙන් හස්නා පැවසීය.

"කළ හැකි එක ම දේ තමයි, එක්සත් ජාතීන්ගේ සහන සේවා වැඩ ආයතනයට උතුරේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම. ගාසා තීරයේ දැනට පවතින විශාලතම සහ එක ම ආධාර සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සහන සේවා වැඩ ආයතනයට ගාසා තීරයේ සෑම ප්‍රදේශයක ම වගේ නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි."

පලස්තීනුවන් 300,000ක් උතුරේ රැඳී සිටින බවට ගණන් බලා ඇත. (මූලාශ්‍රය: බීබීසී)

තම සංවිධානයට මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ දෙමින් උතුරු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමට ඊශ්‍රායලය අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතීන්ගේ සහන සේවා වැඩ ආයතනය පවසයි.

ඊශ්‍රායලය එම තහනම "සාගත තත්ත්වය වේගවත් කරන" බව හස්නා ප්‍රකාශ කර ඇති අතර එය මැයි මාසය වන විට උතුරු ගාසා තීරයේ පුළුල් ලෙස ව්‍යාප්ත වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ඇතිව සකස් කෙරුණු වාර්තාවක් පවසයි.

ඊශ්‍රායලය පවසන්නේ, තමන් ගාසා තීරයට ඇතුළු වන කිසිදු ආධාරයක් නතර නොකරන බව ත් ඒවා බෙදා හැරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරන බව ත් ය. (මූලාශ්‍රය: බීබීසී/රොයිටර්ස්)

ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය යටතේ, ඊශ්‍රායලය '96 වන ගේට්ටුව' ලෙස හැඳින්වෙන උතුරු ගාසා තීරයට ඍජුව ම ආධාර සැපයීම සඳහා නව මාර්ගයක් විවෘත කළේ ය. (මූලාශ්‍රය: රොයිටර්ස්)

මාර්තු 20 වන විට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශ ආයතනය වන කෝගැට් (Cogat) පැවසුවේ, අවම වශයෙන් ජාත්‍යන්තර ආධාර රැගත් ට්‍රක් රථ 86ක් නව හරස් මාර්ගය හරහා ඇතුළු වී ඇති බව ය. (මූලාශ්‍රය: රොයිටර්ස්)

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් අවම වශයෙන් දරුවන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. (මූලාශ්‍රය: බීබීසී)