ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සඳ නිසා පෘථිවි දින වඩාත් දිගු වන්නේ මෙසේ යි
මානව ඉතිහාසය පුරා ම චන්ද්‍රයා වෙන් කළ නොහැකි, අද්භූත වස්තුවක් ලෙස පෘථිවියට ඉහළින් පැවතිණි. එහි දුබල ගුරුත්වාකර්ෂණ බලය වඩදිය බාදියෙහි රිද්මය සකසන අතර, එහි සුදුමැලි ආලෝකය බොහෝ සත්ත්ව විශේෂවල නිශාචර මංගල්‍යයන් ආලෝකවත් කරයි. කාලානුරූපීව එහි කලාව වෙනස් වන බැවින් සමස්ත ශිෂ්ටාචාරයන් එය අනුව දින දර්ශන සකස්කර ගෙන ඇති අතර, ගොම කුරුමිණියන් වැනි ඇතැම් සතුන් මඟ සොයාගැනීම සඳහා චන්ද්‍රයා මතුපිටින් පරාවර්තනය වන හිරු එළිය භාවිත කරයි.
වඩා ත් තීරණාත්මක ලෙස, ඇතැම් න්‍යායන්ට අනුව අපගේ ග්‍රහලෝකය තුළ ජීවය සම්භවය විය හැකි තත්ත්වයන් නිර්මාණය කිරීමට චන්ද්‍රයා උපකාර වන්නට, එසේම පෘථිවියේ ජීවය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට පවා උපකාර වන්නට ඇත. අපගේ ග්‍රහලෝකය වටා ඇති එහි විකේන්ද්‍රීය කක්ෂය අද අප ජීවිත පාලනය කරන ඇතැම් වැදගත් කාලගුණික පද්ධති සඳහා බලපෑම් එල්ල කරනු ඇතැ යි සැලකේ.
නමුත් චන්ද්‍රයා අපගේ ග්‍රහණයෙන් ගිලිහී යමින් පවතියි.
එය කිසි විටෙකත් භ්‍රමණ නර්තනයක නොයෙදී පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් සිය සියුම්, සමතුලිත 'ඇස්ට්‍රෝ-බැලේ' නර්තනයේ යෙදෙන අතර [අපට සඳෙහි එක් පැත්තක් පමණක් පෙනෙන්නේ එබැවිනි], 'චන්ද්‍ර පසුබෑම' (lunar recession) ලෙස හඳුන්වන ක්‍රියාවලියක දී ක්‍රමක්‍රමයෙන් අපේ ග්‍රහලෝකයෙන් ඈත් වෙමින් යයි. ඇපලෝ මෙහෙයුම්වලට සම්බන්ධ වූ ගගනගාමීන් විසින් චන්ද්‍ර පෘෂ්ඨය මත තබන ලද පරාවර්තකවලින් නිකුත් කෙරෙන ලේසර් කිරණ මගින් සඳ කෙතරම් වේගයකින් පෘථිවියෙන් ඈතට යනවාදැ යි නිවැරදිව ම මැන ගැනීමට විද්‍යාඥයින්ට මෑතකදී හැකි වී තිබේ.
සෑම වසරක ම සඳ අඟල් 1.5ක (සෙන්ටිමීටර 3.8) වේගයකින් අපෙන් ඉවතට යන බව ඔවුන් තහවුරු කර ඇත. එය එසේ සිදු වන විට, අපගේ දවස් ටිකෙන් ටික දිගු වනු ඇත.
චන්ද්‍රයා සහ පෘථිවිය අතර සම්බන්ධය අධ්‍යයනය කරන ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ රෝයල් හොලොවේහි භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් වොල්තම් පවසන්නේ, "ඒ හැමදේ ම වඩදිය බාදිය ගැන" බව ය. "පෘථිවිය මත ඇතිකරන උදම් බලය ඒකෙ භ්‍රමණය මන්දගාමී කරනවා. චන්ද්‍රයා එම ශක්තිය කෝණික ගම්‍යතාවක් ලෙස ලබාගන්නවා."
අත්‍යවශ්‍යයෙන් ම, පෘථිවිය භ්‍රමණය වන විට, කක්ෂීය ගමනක නිරතවන චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය සාගර මත ක්‍රියාත්මක වන්නේ වඩදිය බාදිය ඇති කිරීම සඳහා ය. වඩදිය බාදිය යනු ඇත්ත වශයෙන් ම චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය දෙසට සහ ඉන් බැහැරට ඉලිප්සාකාර හැඩයකින් විහිදී "නෙරා යන" ජල කඳක් වේ. නමුත් පෘථිවිය එහි අක්ෂය වටා භ්‍රමණය වන්නේ චන්ද්‍රයාගේ කක්ෂීය ගමනට වඩා ඉතා වේගයෙනි. එහි අර්ථය වන්නේ, ජලයට යටින් චලන වන සාගර පතුල්වලින් නිසා ඇති වන ඝර්ෂණ බලය ද ඒ සමග ම ජලය ඇදගෙන යාමට ක්‍රියා කරන බව යි. පසුපසට ඇද ගැනීමට උත්සහ කරන නෙරා යන කක්ෂීය ගමනක නිරත චන්ද්‍රයාගේ ගමන් මඟට මදක් වෙනස් ලෙස ගමන් කරන බව ඉන් අදහස් කෙරෙයි. මෙය අපගේ ග්‍රහලෝකයේ භ්‍රමණ ශක්තිය සෙමෙන් අඩු කරන අතර චන්ද්‍රයා ශක්තිය ලබා ගන්නා විට එහි භ්‍රමණය මන්දගාමී වී එය ඉහළ කක්ෂයකට ගමන් කිරීමට හේතු වේ.
නවතම විශ්ලේෂණයට අනුව, අපගේ ග්‍රහලෝකයේ භ්‍රමණය ක්‍රමයෙන් අඩුවීම යනු, 1600 ගණන්වල අග භාගයේ සිට සාමාන්‍ය පෘථිවි දිනයක කාලය සියවසකට මිලි තත්පර 1.09කින් පමණ වැඩි වී තිබීම ය. අනෙකුත් ඇස්තමේන්තු කිරීම් මෙම අගය මඳක් ඉහළින් තබන්නේ (සියවසකට මිලි තත්පර 1.78), චන්ද්‍රග්‍රහණ ආදිය පිළිබඳ පෞරාණික නිරීක්ෂණයන් භාවිතාවෙනි.
මෙය එතරම් දෙයක්යැ යි නොසිතුන ද, පෘථිවියේ වසර බිලියන 4.5ක ඉතිහාසය තුළ දේවල් සිදු වූ ආකාරය අනුව ඒ සියල්ල විශාල වෙනසක් සඳහා හේතු වනු ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ උපතින් පසු ආසන්න වශයෙන් පළමු වසර මිලියන 50ක් තුළ චන්ද්‍රයා සෑදී ඇතැ යි සැලකේ. වඩා ත් පුළුල් ලෙස පිළිගත් න්‍යාය නම්, පෘථිවියේ මුල් කාලයේ දී එය සහ 'තීයා' ලෙස හඳුන්වනු ලබන අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණයේ තවත් වස්තුවක් අතර සිදුවූ ගැටීමකින් කැඩී ගිය ද්‍රව්‍ය කොටස් හා සුන්බුන් එකතු වී අප දැන් චන්ද්‍රයා ලෙස හඳුන්වන දෙය නිර්මාණය වූ බව ය. පෘථිවියේ පාෂාණ ස්ථරවල සංරක්ෂණය වී ඇති භූ විද්‍යාත්මක දත්තවලින් පැහැදිලි වන්නේ චන්ද්‍රයා අතීතයේ පෘථිවියට අදට වඩා බොහෝ සමීපව සිටි බව ය.
වේගයෙන් භ්‍රමණය වන පෘථිවිය දවසේ දිග කෙටි කළ නිසා, සෑම පැය 24කට වරක් හිරු උදාවන් දෙකක් සහ හිරු බැස යාම් දෙකක් සිදු විය.
චන්ද්‍රයා දැනට පෘථිවියේ සිටින අපට කිලෝමීටර් 384,400ක් (සැතපුම් 238,855ක්) දුරින් පිහිටා ඇත. නමුත් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ, මීට වසර බිලියන 3.2කට පමණ පෙර, එනම්, භූ තැටි එහා මෙහා ගමන් කිරීමට පටන්ගත් සහ සාගරයේ වාසය කරන ක්ෂුද්‍රජීවීන් නයිට්‍රජන් අවශෝෂණය කරමින් සිටි අවධියේ, චන්ද්‍රයා සිටියේ පෘථිවියේ සිට කිලෝමීටර් 270,000ක් (එහි වත්මන් දුර ප්‍රමාණයෙන් 70%ක් පමණ) දුරින් බව ය.
"වේගයෙන් භ්‍රමණය වන පෘථිවිය දවසේ දිග කෙටි කළ නිසා [පැය 24ක කාලයක් තුළ] අද මෙන් එකක් බැගින් නොව හිරු උදාවන් දෙකක් සහ හිරු බැස යාම් දෙකක් සිදු වුණා," ජර්මනියේ ජෙනාහි පිහිටි ෆ්‍රීඩ්රික් ෂිලර් විශ්වවිද්‍යාලයයේ එම අධ්‍යයනය මෙහෙය වූ භූ භෞතික විද්‍යාඥයෙකු වන ටොම් යුලන්ෆෙල්ඩ් පවසයි. "මෙය දිවා රෑ අතර උෂ්ණත්ව වෙනස අඩු කරන්නට ඇති අතර ප්‍රභාසංස්ලේෂක ජීවීන්ගේ ජෛව රසායනික ක්‍රියාවලියට බලපෑවා වෙන්නත් පුළුවන්."
කෙසේ වෙතත්, එවැනි අධ්‍යයනයන් හෙළිදරව් කරන්නේ චන්ද්‍රයා පෘථිවියෙන් ඉවතට යාමේ වේගය ද නියතව නොතිබුණු බව ය. එය කාලයත් සමග වේගවත් වෙමින්, මන්දගාමී වෙමින් පැවතී ඇත. ආර්ජන්ටිනාවේ සෝල්ටා ජාතික විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යාඥවරියක වන වැනිනා ලෝපෙස් ද අසරෙවිච් විසින් සිදුකෙරුණු එක් අධ්‍යයනයකින් පෙනී යන්නේ, මීට වසර මිලියන 550-625කට පමණ පෙර චන්ද්‍රයා වසරකට අඟල් 2.8ක් (සෙ.මී. 7ක්) පමණ පෘථිවියෙන් ඉවතට ගියා වීමට ඉඩ තිබූ බව ය.
"චන්ද්‍රයා පෘථිවියෙන් ඉවතට ගමන් කරන වේගය කාලයත් සමග නියත වශයෙන් ම වෙනස් වනවා; අනාගතයේ දී ද එය එසේ ම සිදුවේවි," යුලන්ෆෙල්ඩ් පවසයි. කෙසේ වෙතත්, එහි ඉතිහාසයේ බොහෝ අවස්ථා තුළ චන්ද්‍රයා දැන් ඉවතට ගමන් කරන වේගයට වඩා බෙහෙවින් මන්දගාමී වේගයකින් ඉවතට ගමන් කරමින් සිට තිබේ.
ඇත්ත වශයෙන් ම, අප දැනට ජීවත් වන්නේ චන්ද්‍රයා පෘථිවියෙන් ඉවතට යන වේගය අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින කාල පරිච්ඡේදයක ය. දැනට පවතින වේගය අතීතයේ දී ද දිගටම පැවතියේ නම්, එය වර්තමානයේ සිටින තැනට පැමිණීමට චන්ද්‍රයාට ගතවනු ඇත්තේ වසර බිලියන 1.5ක් පමණි. නමුත් වසර බිලියන 4.5කට පෙර චන්ද්‍රයා බිහි වූ දා සිට මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බැවින් අතීතයේ දී එය පැහැදිලිව ම ඉතා මන්දගාමී විය.
"වඩදිය බාදිය මගින් සිදුවන ඇදගැනීම අපි බලාපොරොත්තු වනවාට වඩා දැන් තුන් ගුණයකින් විශාල යි," වොල්තම් පවසයි. අත්ලාන්තික් සාගරයේ විශාලත්වය ඊට හේතු විය හැකි ය.
මහාද්වීපවල වත්මන් පිහිටීමෙන් අදහස් වන්නේ, උතුරු අත්ලාන්තික් සාගර පතුලට අනුනාදය ඇති කිරීම සඳහා නිශ්චිතව ම ඉඩ සලසනු ඇති බව ත්, එබැවින් එහි අඩංගු ජලය වඩදිය බාදියට ආසන්න වේගයකින් ඉදිරියට හා පසුපසට ගලා යන බව ත් ය. මෙයින් අදහස් කරන්නේ වඩදිය බාදිය පවතිනවාට වඩා විශාල වන බව ය. වෝල්තම් පවසන පරිදි, දරුවෙකු ඔංචිල්ලාවක තබා තල්ලු කිරීම ගැන සිතන්න - එක් එක් තල්ලුව පවතින චලිතයට ගැලපෙන පරිදි නියමිත වේලාවට යෙදුවහොත් ඔහු ඉහළට යයි.
"උතුරු අත්ලාන්තික් සාගරය තරමක් පුළුල් හෝ පටු වුණා නම් මේක සිද්ධ වෙන්නේ නෑ," වොල්තම් පවසයි. "මහාද්වීප විවිධ ස්ථානවල තිබූ නිසා වඩදිය බාදියවල ශක්තිය හරියට ම අඩු වන බව ඔබ වසර මිලියන කිහිපයක් ආපස්සට ගියොත් ආකෘතිවලින් පෙනේවි."
නමුත් අනාගතයේ දී එය වෙනස් වීමට ඉඩ ඇත. ආකෘති නිර්මාණය පුරෝකථනය කරන්නේ, මෙතැන් සිට වසර මිලියන 150කට පසුව නව උදම් අනුනාදයක් දිස්වනු ඇති අතර පසුව නව "සුපිරි මහාද්වීපයක්" නිර්මාණය වීමත් සමග මෙතැන් සිට වසර මිලියන 250කින් පමණ එය අතුරුදන් වනු ඇති බව ය.
ඉතින්, අවසානයේ දී පෘථිවියට තවදුරටත් චන්ද්‍රයෙකු නොමැති අනාගතයක් තිබෙනු ඇති ද?
චන්ද්‍රයා පෘථිවියෙන් ඈත් වන එහි ඉහළ වර්තමාන වේගයේ දී පවා එය කිසිදාක පෘථිවියෙන් සම්පූර්ණයෙන් ම ඈත්ව යනු ඇතැ යි සිතිය නොහැකි ය. එය සිදුවීමට වසර බිලියන 5-10කට පමණ බොහෝ කලකට පෙරාතුව සූර්යයා තමා විසින් ම අත්පත් කර ගනු ලබන ඛේදජනක මරණය ඊට බොහෝ දුරට මැදිහත්වනු ඇත. මනුෂ්‍යත්වය ඊට බොහෝ කලකට පෙර තුරන් වී යනු ඇත.
කෙසේ වෙතත්, කෙටි කාලයක් තුළ දී, දේශගුණික විපර්යාස නිසා සිදුවන අයිස් දියවීම හේතුවෙන් ග්ලැසියරවල සහ අයිස් තට්ටුවල සිර වී ඇති ජල ප්‍රමාණය අඩු කිරීමෙන් දිනක කාලය ටිකක් හෝ දිගු කිරීමට මනුෂ්‍යත්වය විසින් ම කාර්යභාරයක් ඉටු කරනු ලැබ හැකි ය.
"අයිස් මූලික වශයෙන් වඩදිය බාදිය යටපත් කරනවා,"යි වොල්තම් පවසන්නේ, මීට වසර මිලියන 600-900කට පමණ පෙර අප ග්‍රහලෝකය 'හිමබෝල පෘථිවිය' ලෙසින් හඳුන්වන තුහින කාල පරිච්ඡේදයකට ඇතුළු වී තිබුණේයැ යි සැලකූ අවස්ථාවේ චන්ද්‍රයා පෘථිවියෙන් ඈත් වීමේ වේගයේ පැහැදිලි මන්දගාමීත්වයක් තිබුණු බව පෙන්වා දෙමිනි. කෙසේ වෙතත්, එම බලපෑම පුරෝකථනය කිරීම දුෂ්කර ය. මන්ද යත්, අයිස් තට්ටුවල බර ඒවායින් ඉවත් වන විට ගොඩබිම් නැවත ගොඩ නැගීම සහ වෙනත් සංකූලතා ඒවායින් සමහරකට විරුද්ධව ක්‍රියා කරන බැවිනි.
න්‍යායාත්මකව, නාසාහි ආටෙමිස් වැඩසටහන මගින් සඳ වෙත පියාසර කරන ගගනගාමීන්ගේ මීළඟ කණ්ඩායමට, මීට වසර 60කට පෙර ඇපලෝ වැඩසටහනේ දී සඳ මතට ගිය ගගනගාමීන්ට වඩා ඈතක සිට තම උපන් ග්‍රහලෝකය දෙස ආපසු හැරී බැලූ බව පැවසිය හැකි ය (එසේ වුව ද පෘථිවිය වටා සිදුවන චන්ද්‍රයාගේ ඉලිප්සාකාර කක්ෂීය ගමන අනුව ඔවුන් ගොඩ බසින ස්ථානය මෙය බොහෝ දුරට තීරණය කරනු ඇත - එහි ආසන්නතම සහ දූරස්ථ ස්ථාන අතර දුර සෑම දින 29කට ම කිලෝමීටර 43,000කින් වෙනස් වේ).
අප අනෙක් පිරිසට ගෙවී යන සෑම දිනක ම කාලයට පිකෝතත්පර එකතු වන බව දැකීමට පවා අපගේ ජීවිත ඉතා කෙටි වැඩි වනු ඇත. ඔබ ඇසිපිය හෙළන්නේ නම්, ඔබට එය මග හැරෙනු ඇත.