ශිරන්ති රාජපක්ෂගේ සැත්කම පිළිබඳව සොයා බැලීමෙන් පසු අධිකරණය දුන් නියෝගය

ඡායාරූප මූලාශ්‍රය, Ishara S. KODIKARA / AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාව වන විට විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද [ඔක්. 13] බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකාරිය මේ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින බවත්, එය සුවිශේෂි කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බව යි.
ඒ අනුව, මෙම නඩුව පස්වරු 2.00 ට කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, මෙලෙස ඇය සැත්කමකට භාජනය වෙමින් සිටින්නේදැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝග කළේ ය.
ඉන්පසුව නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 16 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදින කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළේ ය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.






























