Shein: අඩු මිලට ඇති ඇඳුම් සහ විලාසිතා පිටුපස ඇති සත්‍යය

The BBC spoke with factory workers in Guangzhou's Panyu neighbourhood, the so-called "Shein village"

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

    • Author, ලෝරා බිකර්
    • Role, චීන වාර්තාකරු
    • වාර්තාකරණය, ග්වැන්ජෝ, චීනය

නිරන්තරයෙන් ක්‍රියාත්මක වන මැහුම් යන්ත්‍රවල හඬ, දකුණු චීනයේ පර්ල් රිවර් ප්‍රදේශයේ පිහිටා ඇති දියුණු වරාය නගරයක් වන ග්වැන්ජෝහි ඇතැම් ප්‍රදේශවල සුලබ හඬකි.

උදෑසන සිට රාත්‍රී කාලය දක්වා ම කර්මාන්තශාලාවල විවෘතව ඇති ජනේලවලින් මෙම හඬ එළියට පැමිණෙන්නේ රටවල් 150කට අධික සංඛ්‍යාවකට නැව්ගත කිරීමට මැසෙන ටී-ෂර්ට්, කොට කලිසම්, බ්ලවුස්, කලිසම් සහ පිහිනුම් ඇඳුම් මසා නිම කිරීමත් සමග ය.

ඒ අධි වේගී විලාසිතා ලෝකයට සැපයුම් ලබා දෙන, ලොව විශාලතම විලාසිතා සමාගම බලගන්වන කර්මාන්තශාලාවලින් පිරුණු "ෂීන් ගම්මානය" ලෙස හඳුන්වන පැන්යූහි හඬයි.

"මාසෙකට දවස් 31ක් තියෙනවා නම් මම දවස් 31ක ම වැඩ කරනවා," යැයි එක් කම්කරුවෙක් බීබීසීයට පැවසීය.

බොහෝ දෙනෙකු පවසන්නේ, ඔවුන්ට නිවාඩු ඇත්තේ මාසෙකට එක් දිනයක් පමණක් බව ය.

බීබීසීය දින කිහිපයක් මෙහි ගත කළේ ය: අපි කර්මාන්තශාලා 10 වෙත ගොස්, හිමිකරුවන් හතර දෙනෙකු සහ කම්කරුවන් 20කට අධික පිරිසක් සමග කතා කළෙමු. එපමණක් නොව අපි ශ්‍රම වෙළෙඳපොළවල් සහ රෙදිපිළි සැපයුම්කරුවන් වෙත ද ගියෙමු.

මෙම වෙළෙඳ අධිරාජ්‍යයට ජීවය සපයන හදවත වී ඇත්තේ, චීන කම්කරු නීති උල්ලංඝණය කරමින් සතියකට පැය 75ක් පමණ මැහුම් යන්ත්‍ර පිටුපස සිට ශ්‍රමය වගුරවන ශ්‍රම බළකායක් බව අපි සොයා ගත්තෙමු.

ඉහළ අදායමක් අපේක්ෂාවෙන් මෙලෙස වැඩි පැය ගණනක් වැඩ කිරීම, ග්‍රාමීය කම්කරුවන් බහුල කර්මාන්ත පුරයක් වන ග්වැන්ජෝවලට හෝ ලෝකයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කලක් තිස්සේ සිටින චීනයට අලුත් දෙයක් නොවේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් මෙම කනස්සල්ල, චීනයේ ස්ථාපනය කරන ලද, වරෙක එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණු, වසර පහකට පමණ වැඩි කාලයක් තුළ ගෝලීය වශයෙන් දැවැන්ත සමාගමක් බවට පත් වුණු, ෂීන් පිළිබඳ තවත් ප්‍රශ්න මතු කර තිබේ.

තවමත් පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති සමාගමක් වන ෂීන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 60ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර එම සමාගම දැන් ලන්ඩන් කොටස් හුවමාරුවට ඇතුළු වීමට මාන බලමින් සිටියි.

කෙසේ වෙතත්, මෙහි ක්ෂණික නැගීම, බලහත්කාරයෙන් කම්කරු ශ්‍රමය ලබා ගැනීම වැනි චෝදනා සම්බන්ධයෙන් ඇති මතභේදාත්මක කරුණුවලින් වැසී ගොස් තිබේ.

පසුගිය වසරේ චීනය, සිය කර්මාන්ත ශාලාවල දරුවන් වැඩ කරන බව පිළිගත්තේ ය.

සම්මුඛ සාකච්ඡාවකට එක් වීම සමාගම ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුන් බීබීසීය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "අපගේ සැපයුම් දාමයේ සිටින සියලු ම කම්කරුවන්ට සාධාරණව හා ගෞරවාන්විතව ලෙස සැලකීම සහතික කිරීම සඳහා ෂීන් කැපවී සිටින අතර එහි පාලනය සහ නීති රෙගුලාසිවලට අනුව කටයුතු කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කර තිබේ," යනුවෙනි.

එහි තවදුරටත් මෙසේ සඳහන් විය: "වැටුප් සඳහා ඉහළ ම ප්‍රමිතීන් සැකසීම අපගේ අරමුණ වන අතර සියලු ම සැපයුම් දාම හවුල්කරුවන් අපගේ ආචාරධර්ම පද්ධතිය අනුගමනය කිරීම අවශ්‍ය වේ. මීට අමතරව, අදාළ නීති රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ෂීන් විගණකවරුන් සමග කටයුතු කරයි."

ෂීන් සමාගමේ සාර්ථකත්වය නිෂ්පාදන විකුණන ප්‍රමාණය මත රඳා පවතී. එනම් අන්තර්ජාලය හරහා එහි අයිතම සිය දහස් ගණනක් විශාල වට්ටම් සහිතව විකිණේ. එහි ගවුමක් පවුම් 10ක් පමණ වේ. ස්වෙටරයක මිල පවුම් 6කි. මිල ගණන් බොහෝ විට පවුම් 8ට වඩා අඩු ය.

H&M, Zara සහ එක්සත් රාජධානියේ Primark වැනි සමාගම් අභිබවා යමින් ෂීන්හි ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම අඩු වියදම් නිෂ්පාදන ෂීන් ගම්මානය වැනි කර්මාන්ත ශාලා 5000ක් පමණ ඇති ස්ථානවලින් සැපයේ. මෙම කර්මාන්ත ශාලාවලින් බොහෝමයක් ෂීන් සැපයුම්කරුවන් ය.

මැහුම් යන්ත්‍ර, රෙදි රෝල් සහ රෙදි කැබලිවලින් පිරුණු මලු සඳහා ගැළපෙන පරිදි ගොඩනැගිලි වෙනස් කර තිබේ. පහළ ම මාලයේ දොරවල් නිරන්තරයෙන් විවෘතව පවතින්නේ, නොනැවතී එකක් පසුපස එකක් පැමිණෙන ප්‍රවාහන රථ වෙනුවෙනි.

විනිවිද පෙනෙන බෑග්වල එකතුවන නිෂ්පාදන දවස් පුරාම රාක්කවල අසුරා තැබීම සිදුවේ. එම බෑග්වල මේ වනවිට ලොව පුර ප්‍රසිද්ධ අකුරු පහක නම සටහන් වී තිබේ.

රාත්‍රී 10.00න් පසුව ද මැහුම් යන්ත්‍ර සහ කම්කරුවෝ නොනැවතී ක්‍රියාත්මක වන අතර ඇතැම් විට ප්‍රමාණය ඉක්මවා ට්‍රක්රථවල අසුරා ඇති රෙදි රෝල් ඉඳහිට කම්හලේ බිම විසිරී යනු දක්නට ලැබේ.

A man in a beige t-shirt and black shorts is stepping down from a truck piled high with rolls of fabric of various colours - pink, white, green.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/ BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යන රෙදි බෙදාහැරීම්
A shirtless man in brown shorts secures rolls of colourful farbic - blue, white, pink - on the back of a small, open truck on a busy road.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/ BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, රාත්‍රී 10.00න් පසුව ද මැහුම් යන්ත්‍ර සහ කම්කරුවෝ නොනැවතී ක්‍රියාත්මක වේ.

"අපි සාමාන්‍යයෙන් දිනකට පැය 10, 11 හෝ 12ක් වැඩ කරනවා," යැයි නම හෙළිකිරීමට අකමැති වූ ජියැංෂිහි 49 හැවිරිදි කාන්තාවක් පැවසුවා ය."ඉරිදට අපි වැඩ කරන්නේ පැය තුනක් විතර අඩුවෙන්."

ඇය සිටින්නේ ගොඩනැගිලි දෙකක් අතරේ පටු මාවතක ය. එහි ඇය මෙන් ම තවත් පිරිසක්, දැන්වීම් පුවරු වටා වට වී දැන්වීම් කියවමින් සිටිති.

ඔවුන් කියවන්නේ ඒ පුවරුවල ඇති රැකියා දැන්වීම් ය. ඒ අතරේ ම එහි එල්ලා ඇති සැහැල්ලු චීනෝ කලිසමක මැහුම් ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වේ.

මෙය ෂීන්හි සැපයුම් දාමයයි. ඇණවුම් මත පදනම්ව ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා ගිවිසුම්ගත වී ඇති අතර ඒවා ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් විය හැක. චීනෝ කලිසම් ජනප්‍රිය වුවහොත්, ඇණවුම් වැඩි වන අතර නිෂ්පාදනය ඉහළ නැංවීම අවශ්‍ය වේ. ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා, කර්මාන්තශාලා ඔවුන්ගේ ස්ථිර කාර්ය මණ්ඩලයට අතිරේකව තාවකාලික කම්කරුවන් බඳවා ගනී.

ජියැංෂිහි සංක්‍රමණික කම්කරුවෙකු කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ රැකියාවක් සොයමින් සිටියි. චීනෝ ඇයට ඇති එක් විකල්පයකි.

"අපි උපයන්නේ බොහොම අඩුවෙන්. ජීවන වියදම දැන් හරි ම වැඩියි," ඇය පවසයි. සිය මිත්තණිය සහ මුත්තණුවන් සමග ජීවත්වන තම දෙදරුවන් වෙත යැවීමට හැකි පරිදි මුදලක් ඉපැයීම ඇගේ බලාපොරොත්තුව වී තිබේ.

"අපිට ගෙවීම් කරන්නේ අපි හදන ගාණ අනුව," ඇය පැහැදිලි කරයි. "ඒක රඳා පවතින්නේ ඒ හදන ඇඳුම කොච්ච්චර අමාරු ද කියන එක මත. ටී ෂර්ට් වගේ සරල එකකට යුවාන් එකක් හෝ දෙකක් ලැබෙනවා. [ඩොලරයකට වඩා අඩු අගයකි] මට පැයකින් ටී ෂර්ට් දුසිමක් පමණ හදන්න පුළුවන්.

චීනෝ කලිසම්වල ඇති මැහුම් පරීක්ෂා කිරීම මේ තීරණය ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වේ. ඇය වටා රැස්ව සිටින කම්කරුවන් ගණනය කරන්නේ ඔවුන් එක් ඇඳුමකට කොපමණ මුදලක් උපයනවා ද සහ පැයක් තුළ කොපමණ ගණනක් ඔවුන්ට නිෂ්පාදනය කළ හැකි ද යන්නයි.

පැන්යූහි පටු මාවත්, ශ්‍රම වෙළෙඳපොළවල් ලෙස ක්‍රියාත්මක වේ. එම මාවත් ස්කූටර්වල නැගී සිය රැකියා ස්ථාන වෙත කම්කරුවන්ගෙන් පිරී පවතී. ඔවුන් පසු කර යන්නේ උදෑසන ආහාර පිණිස ඩම්ප්ලිං විකුණන කරත්ත සහ උණු සෝයා කිරි මෙන් ම කුකුළු මස් සහ තාරාවන්ගේ බිත්තර විකුණන වෙළෙන්දන් සහ ගොවීන් ය.

A man in a t-shirt and shorts looks a row of red and yellow bulletin boards with job ads on them and clothes draped over them.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/ BBC

A woman examines the clothes on display on the bulletin boards on a busy street.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, එබැවින් කම්කරුවන්ට පැයකට කොපමණ මුදලක් ඉපයිය හැකිදැයි ගණනය කළ හැකිය

මෙහි සාමාන්‍ය රාජකාරි වේලාව උදෑසන 08:00 සිට රාත්‍රී 10:00 දක්වා වන බව බීබීසීය සොයා ගත්තේ ය.

ෂීන් සමාගම සඳහා ඇඳුම් නිෂ්පාදනය කරන කම්හල්වල කම්කරුවන් 13 දෙනෙකු සමග සාකච්ඡා කළ ස්විට්සර්ලන්ත ක්‍රියාකාරීන් කණ්ඩායමක් වන Public Eye හි වාර්තාවකට අනුව ද මෙය සනාථ වී තිබේ.

කම්කරුවන් ගණනාවක් අධික ලෙස අතිකාල වැඩ කරන බව ඔවුහු එහිදී සොයා ගත්හ. අතිකාල නොමැතිව මූලික වැටුප යුවාන් 2,400කි (ඇමෙරිකානු ඩොලර් 327ක්). මෙය Asia Floor Wage Alliance විසින් අවම "ජීවන වැටුප" ලෙස හඳුන්වනු ලබන යුවාන් 6,512ට වඩා පහළ අගයකි. නමුත් අප සමග කතා බහ කළ කම්කරුවන් මසකට යුවාන් 4,000ත් 10,000ත් අතර ආදායමක් ඉපැයීමට සමත්ව තිබේ.

"මේ වැඩ කරන පැය ගණන අසාමාන්‍ය නැහැ. ඒත් ඒක නීති විරෝධී සහ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරන බව පැහැදිලියි," එම කණ්ඩායමේ ඩේවිඩ් හැච්ෆීල්ඩ් පැවසුවේ ය. "එය සූරාකෑමේ ආන්තික ස්වරූපයක්. මෙය ලෝකය විසින් දැකිය යුතුයි."

චීන කම්කරු නීතිවලට අනුව සාමාන්‍ය වැඩ කරන සතියක් පැය 44 නොඉක්මවිය යුතු අතර, සේවා යෝජකයින් විසින් කම්කරුවන්ට සතියකට අවම වශයෙන් එක් විවේක දිනයක්වත් ලැබෙන බව සහතික කරනු ලැබිය යුතු ය. සේවා යෝජකයෙකුට මෙම පැය දීර්ඝ කිරීමට අවශ්‍ය නම්, එය කළ හැක්කේ විශේෂ හේතු මත පමණි.

A man and a woman at a Shein factory, sitting side-by-side and working on sewing machines. They are cutting and sewing red fabric.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, කම්කරුවන්ට ගෙවනු ලබන්නේ ඔවුන් මසනු ලබන ඇඳුම් ගණනටය. ප්‍රාථමික මට්ටමේ ටී ෂර්ට් එකකින් ඔවුන්ට ලැබෙන්නේ ඩොලර් එකකට වඩා අඩු මුදලකි

ෂීන් සමාගමේ ප්‍රධාන කාර්යාලය දැන් ඇත්තේ සිංගප්පූරුවේ වුවත්, එහි නිෂ්පාදනවලින් බහුතරයක් නිෂ්පාදනය වන්නේ චීනයේදී ය.

එමෙන් ම ෂීන් සමාගමේ සාර්ථකත්වය, චීන සමාගම්වලින් වඩ වඩාත් ප්‍රවේශම් වන වොෂින්ටනයේ අවධානයට යොමු වී තිබේ.

In June, Donald Trump's pick for US Secretary of State, Marco Rubio, said he had "grave ethics concerns" about Shein's "deep ties to the People's Republic of China": "Slave labour, sweatshops, and trade tricks are the dirty secrets behind Shein's success," he wrote.

ජූනි මාසයේදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තෝරා ගන්නා මාර්කෝ රුබියෝ, ෂීන් සමඟ සහ "මහජන චීන සමූහාණ්ඩුව සමඟ ඇති තදබල සබඳතාව" ගැන මෙන්ම ම එහි වන බව කියන "බරපතළ ආචාර ධර්ම උල්ලංඝණයන්" ගැන පැවසුවේ ය. ඔහු කියා සිටියේ, "වහල් ශ්‍රමය සහ ශ්‍රම සූරාකෑම ෂීන් සාර්ථකත්වය පිටුපස ඇති අපිරිසිදු රහස්" බව ය.

ෂීන් සැපයුම්කරුවන්ගේ කොන්දේසි විස්තර කිරීම සඳහා රුබියෝ පැවසූ සියල්ල සමග සෑම කෙනෙකු ම එකඟ නොවේ. කෙසේ වෙතත්, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ, ග්වැන්ජෝහි බහුලව දක්නට ලැබෙන දිගු වැඩ කරන වේලාවන්, අසාධාරණ ශ්‍රම සූරාකෑම් බව ය.

දවසේ රිද්මය තීරණය කරන්නේ යන්ත්‍රයි.

දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සඳහා කම්කරුවන්, ලෝහ පිඟන් සහ චොප්ස්ටික් ද රැගෙන, ආහාර මිල දී ගැනීම සඳහා ආපනශාලාවට යන මොහොත ඔවුන් විවේකයක් ලබන කාලයයි. අසුන් ගැනීමට ඉඩක් නොමැති නම්, ඔවුහු වීදියේ සිටගෙන සිටිති.

"මම අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ මේ කම්හල්වල වැඩ කරනවා," යැයි විනාඩි විස්සකින් ආහාර ගෙන අවසන් කළ එක් කාන්තාවක් පැවසුවා ය. මෙය ඇයගේ ජීවිතයේ තවත් දිනයක් පමණි.

අප නිරීක්ෂණය කළ කර්මාන්ත ශාලා ඇතුළත තදබදවලින් තොර ය. ඔවුන්ට ප්‍රමාණවත් ආලෝකයක් ලබා දී ඇති අතර, උණුසුම අඩු කිරීම සඳහා විශාල ප්‍රමාණයේ විදුලි පංකා භාවිත කරයි. පසුගිය වසරේ සැපයුම් දාමයේ ළමා ශ්‍රමය පිළිබඳ සිද්ධීන් දෙකක් වාර්තා වීමත් සමග, කම්හල පුරා අලවා ඇති විශාල පෝස්ටර්, බාල වයස්කාර කම්කරුවන් සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමට කාර්ය මණ්ඩලය දිරිමත් කරයි.

A woman in a red dress stands at a large wooden table folding brown t-shirts. A oile of folded brown trousers also sits on the table.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, කර්මාන්තශාලාවල ප්‍රමාණවත් පරිදි ආලෝකය ඇති අතර ඉඩකඩ සහිතය.
A window with a brown sill look into a room with sewing machines with a row of lights and green fans. Another purple fan can also be seen lower down.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, විශාල ප්‍රමාණයේ විදුලි පංකා ඇතුළත සිසිල්ව තබයි

ලන්ඩන් කොටස් හුවමාරුවට ඇතුළු වීමේ අභිලාෂයෙන් සිටින සමාගම, සිය සැපයුම්කරුවන් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන බව බීබීසීයට පෙනී ගියේ ය.

"මේක ඔවුන්ගේ කීර්තිය සම්බන්ධ දෙයක්," ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ විලාසිතා හා ඇඟලුම් අධ්‍යනය පිළිබඳ මහාචාර්ය ෂෙන්ග් ලූ පවසයි. "ෂීන් සාර්ථකව මහජන කොටස් නිකුතුවක් සිදු කළොත් ඔවුන් කීර්තිමත් සමාගමක් ලෙස සලකාවි. නමුත් ආයෝජකයන්ගේ විශ්වාසය පවත්වා ගැනීමට නම් ඔවුන් සිය සැපයුම් දාමය පිළිබඳ වගකීම භාරගත යුතුයි."

ෂීන් සමාගම මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ, එය චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් කපු ලබා ගන්නා බවට එල්ල වන චෝදනා ය.

වරක් ලොව හොඳ ම රෙදි ලෙස ප්‍රසාදයට ලක් වූ ෂින්ජියැන්ග්හි කපු, ඒවා නිපදවන්නේ සුළුතර මුස්ලිම් උයිගර් ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමයෙන් බවට චෝදනා එල්ල වීමත් සමඟ අප්‍රසාදයට ලක් විය. මේ චෝදනාව චීන රජය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම විවේචනය මගහැර යාමට ඇති එක ම ක්‍රමය වඩා ත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම බව මහාචාර්ය ෂෙන්ග් පවසයි.

"කර්මාන්තශාලා සියල්ලෙහි ම ලැයිස්තුව නිකුත් නොකරන්නේ නම් සහ, සැපයුම් දාමය මහජනතාවට වඩාත් විනිවිද පෙනෙන පරිදි සිදු නොකරන්නේ නම්, ෂීන් සමාගමට එය ඉතා අභියෝගාත්මක වනු ඇත."

"ඔවුන්ට තියෙන ලොකු ම වාසිය තමයි ෂීන් සැපයුම් දාමය ම චීනයේ තිබීම," ඔහු තවදුරටත් පවසයි: "පූර්ණ සැපයුම් දාමයක් තියෙන්නේ රටවල් අතළොස්සකට විතරයි. චීනයට මේක තියෙනවා. ඒකත් එක්ක කාටවත් තරග කරන්න බැහැ."

ප්‍රතිවාදීන් විය හැකි බවට අපේක්ෂා කරන වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල් ද ඇඳුම් නිර්මාණය සඳහා චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කරයි. නමුත් චීන කර්මාන්තශාලා රෙදිවල සිට සිපර් සහ බොත්තම් දක්වා සෑම දෙයක් සඳහා ම දේශීය නිෂ්පාදන මත සම්පූර්ණයෙන් ම රඳා පවතී. එබැවින් විවිධ ඇඟලුම් සෑදීම පහසු වන අතර, ඔවුන්ට එය ඉක්මනින් කිරීමට හැකි වේ.

A man on a motorbike drives down a street with buildings on either side

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, පැන්යූහි කාර්යබහුල කර්මාන්තශාල චීනයේ සැපයුම් දාමයේ ආධිපත්‍යයට අත්‍යවශ්‍ය වේ

පාරිභෝගික හැසිරීම නිරීක්ෂණය ඇල්ගොරිතමයක් ඇති ෂීන් සඳහා එය ඵලදායී වේ. පාරිභෝගිකයින් නිතර ම යම් ඇඳුමක් මත ක්ලික් කරන්නේ නම් හෝ වූල් ස්වෙට්ර් දෙස බැලීමට වැඩි කාලයක් ගත කරන්නේ නම්, ඒ ඉල්ලු ම සපුරාලීම සඳහා එම අයිතමයෙන් වැඩි ගණනක් ඉක්මනින් නිෂ්පාදනය කරන ලෙස සමාගම කර්මාන්තශාලාවලින් ඉල්ලා සිටියි.

ග්වැන්ජෝහි කම්කරුවන් සඳහා මෙය අභියෝගයකි.

"ෂීන් සමාගමට ඒකෙ වාසි සහ අවාසි තියෙනවා," එක් කර්මාන්තශාලා හිමිකරුවෙක් අපට පැවසුවේ ය. "ඒකෙ හොඳ දේ තමයි අවසානයේ විශාල ඇණවුම් ලැබීම. ඒත් ලාභය අඩුයි සහ ඒක නිශ්චිත ගාණක්."

ෂීන්, එහි විශාලත්වය සහ ඊට වෙළෙඳපොළ තුළ ඇති බලය අනුව, දැඩි කේවල් කරන්නෙක් බවට පත්ව තිබේ. එබැවින් කර්මාන්තශාලා හිමියන්ට වෙනත් තැන්වලින් පිරිවැය අඩු කිරීමට සිදු වන අතර බොහෝ විට කාර්ය මණ්ඩලයට ගෙවීමට සිදු වන්නේ අඩු වැටුප් ය.

"ෂීන් සමාගම එන්න කලින් අපි තනිය ම ඇඳුම් නිෂ්පාදනය කරලා විකුණුවා," යැයි කර්මාන්තශාලා තුනක හිමිකරුවෙක් පැවසුවේ ය."එතකොට අපිට වියදම ඇස්තමේන්තු කරන්න, මිල තීරණය කරන්න, ලාභය ගණනය කරන්න හැකියාව තිබුණා. දැන් ෂීන් සාම්ගම මිල පාලනය කරන නිසා අපි පිරිවැය අඩු කරන්න පුළුවන් ක්‍රම ගැන හිතලා බලන්න ඕනේ."

කෙසේ වෙතත්, ඇණවුම් උපරිම වූ විට, එය සුවිශාල ආදායමක් උපයා දෙයි. දත්ත විශ්ලේෂක සමාගමක් වන ShipMatrixහි දත්තවලට අනුව ෂීන් සමාගම සාමාන්‍යයෙන් දිනකට පැකේජ මිලියනයක් පමණ නැව්ගත කරයි.

A women wearing a t-shirt and shorts walks past a row of jeans on display on the street in the late evening. Behind her are buildings which house the factories.

ඡායාරූප මූලාශ්‍රය, Xiqing Wang/ BBC

"ෂීන් යනු විලාසිතා කර්මාන්තයේ යෝධයෙක්" ෂීන් සැපයුම්කරුවෙකු වන ගුඕ ක්වින් ඊ පැවසීය.

"මම පටන් ගත්තෙත්, ෂීන් සමාගම පටන් ගත්ත කාලයේ ම යි. මම එහි වර්ධනය දුටුවා. අවංකව ම, ෂීන් කියන්නේ, චීනයේ විශිෂ්ට සමාගමක්. මම හිතන්නේ එය වඩාත් ශක්තිමත් වෙන්නේ එය නියමිත වේලාවට ගෙවීම් කරන නිසා. ඒ නිසා ම එය වඩා ත් විශ්වාසදායකයි."

"අපේ භාණ්ඩ සඳහා මුදල් 15 වන දාට ගෙවිය යුතු නම්, ඒක මිලියන ගණනක් හෝ දස ලක්ෂයක් වුණත්, නියමිත වෙලාවට ගෙවනවා."

ෂීන්, එහි දීර්ඝ වැඩ මුර සහ ඇතැම් විට ලැබෙන අඩු වැටුප් ද සහිතව, එහි සියලු කම්කරුවන්ට සතුටට හේතුවක් නොවිය හැකිය. නමුත් එය ආඩම්බරයක් ලෙස දකින පිරිසක් ද වෙති.

"චීන ජනතාව ලෝකයට ලබා දෙන දායකත්වය මෙයයි," සිය නම සඳහන් නොකළ ගුවැන්ඩොංහි 33 හැවිරිදි අධීක්ෂකවරියක් පවසන්නී ය.

පිටත තද අඳුරින් වට වී තිබියදී, රාත්‍රී ආහාරය ගත් කම්කරුවෝ අවසන් වැඩ මුරය වෙනුවෙන් කර්මාන්තශාලාවලට නැවත ගොනු වෙමින් සිටිති. මෙය දීර්ඝ වැඩ මුරයක් බව ඔවුහු පිළිගනිති. එහෙත් "අපි එකිනෙකා සමග හොඳින් කටයුතු කරනවා. අපි පවුලක් වගේ," ඇය පවසයි.

පැය කිහිපයකට පසු, බොහෝ කම්කරුවන් රාත්‍රිය ගත කිරීම සඳහා සිය නිවෙස්වලට ගිය පසුත්, ගොඩනැගිලි කිහිපයක විදුලි පහන් දැල්වෙමින් තිබේ.

ඇතැම් අය මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කරන බව කම්හල් හිමියෙක් අපට පැවසුවේ ය. ඒ ඔවුන්ට වැඩි මුදලක් උපයා ගැනීමට අවශ්‍ය බැවිනි.

මේ සියල්ලට පසුවත් ලන්ඩන්, චිකාගෝ, සිංගප්පූරුව, ඩුබායි සහ තවත් බොහෝ ස්ථානවල සිට, යමෙක් ඔවුන්ගේ ඊළඟ මිල දී ගැනීම වෙනුවෙන් සූදානම් වෙමින් සිටියි.