ගැලියම් සහ ජර්මේනියම්: මයික්‍රොචිප් යුද්ධයේ චීනය ගත් නව පියවර ලෝකයට බලපාන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇනබෙල් ලියාං සහ නික් මාෂ්
- Role, බීබීසී පුවත්
එක්සත් ජනපදය සමග ඇති 'චිප් යුද්ධය' උණුසුම් වෙමින් පවතින මොහොතක චීනය අර්ධ සන්නායක කර්මාන්තය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන මූලද්‍රව්‍ය දෙකක අපනයනය සීමා කිරීම ආරම්හ කිරීමට නියමිත ය.
නව නියාමන පියවර යටතේ, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ඇති චීනයේ සිට ගැලියම් සහ ජර්මේනියම් අපනයනය කිරීමට විශේෂ බලපත්‍ර අවශ්‍ය වනු ඇත.
චිප් නිෂ්පාදනය කිරීමට සහ මිලිටරි උපකරණ නිශ්පාදනය සඳහා මෙම මූලද්‍රව්‍ය යොදා ගනි යි.
මෙම සීමා කිරීම් පැමිණෙන්නේ, නවීන මයික්‍රොප්‍රොසෙසර් තාක්‍ෂණය වෙත බීජිංහි ප්‍රවේශය සීමා කිරීමට වොෂින්ටනය ගත් උත්සහයෙන් පසුව ය.
ගැලියම් සහ ජර්මේනියම් ගෝලීය සැපයුම් දාමයේ මුලසුන හොබවන්නේ චීනය යි. Critical Raw Materials Alliance (CRMA) නම් කර්මාන්ත ආයතනයට අනුව, චීනය ලොව ගැලියම් අවශ්‍යතාවෙන් 80%ක් සහ ජර්මේනියම්වලින් 60%ක් නිෂ්පාදනය කරයි.
මෙම මූලද්‍රව්‍ය "විරල ලෝහ" ලෙස හඳුන්වයි. එනම්, ඒවා සාමාන්‍ය පරිසරයෙන් සොයාගත නොහැකි අතර බොහෝ විට වෙනත් ක්‍රියාවලීන්ගේ අතුරු ඵල ලෙස හමු වේ.
එක්සත් ජනපදයට අමතරව, ප්‍රධාන චිප් උපකරණ නිෂ්පාදක ASMLහි නිවහන වන ජපානය සහ නෙදර්ලන්තය යන රටවල් ද චීනයට චිප් තාක්‍ෂණය සම්බන්ධ අපනයන සීමා පනවා ඇත.
"නෙදර්ලන්තය විසින් ප්‍රකාශයට පත් කරන ලද චිප් අපනයන සම්බන්ධ සීමා කිරීම් සැලකිල්ලට ගැනීමේදී, චීනයෙන් මේ නිවේදනය එන එක අහම්බයක් නොවෙයි," BMO Capital Marketsහි ආයෝජන සමාගමක කොලින් හැමිල්ටන් බීබීසීය වෙත පැවසීය.
"ඉතා සරලව කිව්වොත්, ඔබ අපට චිප්ස් දෙන්නේ නැති නම්, ඒ චිප්ස් හදන්න අවශ්‍ය මූලද්‍රව්‍ය අපි ඔබට දෙන්නෙ ත් නැහැ," ඔහු වැඩිදුරට ත් පැවසීය.
ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර නිරන්තරයෙන් සිදු වන ගැටුම්, ඊනියා "සම්පත් ජාතිකවාදයේ" වර්ධනය පිළිබඳ කනස්සල්ලක් මතු වී තිබේ. ඒ, වෙනත් රටවලට බලපෑම් කිරීම සඳහා රාජ්‍යයන් ඉතා වැදගත්කමක් උසුලන මූලද්‍රව්‍ය ගොඩගසා ගැනීම ත් හේතුවෙනි.
"ගෝලීයකරණය කියන සංකල්පයෙන් රාජ්‍යයන් ඈත් වීම වැඩි වැඩියෙන් සිදු වන බව අපිට පේනවා," යැයි බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ විරල මූලද්‍රව්‍ය පිළිබඳ පර්යේෂකයෙකු වන ආචාර්ය ගැවින් හාපර් පවසයි.
"ජාත්‍යන්තර වෙළෙඳපොළවල් හුදෙක් මූලද්‍රව්‍ය බෙදාහරිනු ඇතැයි යන අදහස දැන් පහව ගිහිල්ලා තියෙන්න. මේ දිහා වඩා ත් පුළුල් ලෙස බැලුවොත්, බටහිර කර්මාන්තයට තමන්ගේ පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණ දීමේ යම් ඉඩක් තියෙනවා."
ගැලියම් සහ ආසනික්වල සංයෝගයක් වන ගැලියම් ආසනයිඩ්, අධි-සංඛ්‍යාත පරිගණක චිප්වල මෙන් ම ආලෝක විමෝචක ඩයෝඩ (LED) සහ සූර්ය පැනල නිෂ්පාදනය සඳහා ද භාවිත වේ.
CRMAට අනුව, ඉලෙක්ට්‍රොනික උපාංගවල භාවිතය සඳහා අවශ්‍ය සංශුද්ධතාවයෙන් යුතු ගැලියම් ආසනයිඩ් නිෂ්පාදනය කරන්නේ, ලොව පුරා සමාගම් සීමිත සංඛ්‍යාවක් පමණි.
මයික්‍රොප්‍රොසෙසර් සහ සූර්ය කෝෂ නිෂ්පාදනය සඳහා ද ජර්මේනියම් භාවිත කරයි. එය "හමුදා කටයුතුවල ප්‍රධාන අංගයක්" වන 'විෂන් ගොගල්ස්වල' ද භාවිත වන බව හැමිල්ටන් පැවසීය.
කෙසේ වෙතත්, හැමිල්ටන් සඳහන් කළේ, "විකල්ප සැපයීම සඳහා මූලික "ලෝහ උණු කරන පිරිස්වල කලාපීය සැපයුම ප්‍රමාණවත් විය යුතු යි. චීනය ඇත්තට ම ආධිපත්‍යය දරන නිසා, ඉහළ ගුණාත්මක බවින් යුතු අර්ධ සන්නායක සඳහා ඇති වැදගත්කම විසඳීමට අපහසු දෙයක්."
පසුගිය මාසයේදී පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එක්සත් ජනපදය සතුව ජර්මේනියම් සංචිත ඇති නමුත් ගැලියම් තොග නොමැති බව ය.
එම ප්‍රකාශකයා වැඩිදුරට ත් පැවසුවේ, "[ආරක්ෂක] දෙපාර්තමේන්තුව ක්‍රියාශීලීව පියවර ගනිමින් ඉන්නවා... ගෘහස්ථ කැණීම් වගේ ම, මයික්‍රොඉලෙක්ට්‍රොනික උපාංග සහ අභ්‍යවකාශ සැපයුම් දාමය සඳහා වැදගත් ගැලියම් සහ ජර්මේනියම් ඇතුළු විරල මූලද්‍රව්‍ය නිශ්පාදනය ඉහළ දැමීමට."
කෙසේ වෙතත්, චීන අපනයන සීමා කිරීම් දිගුකාලීනව සීමිත බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීනය ගැලියම් සහ ජර්මේනියම් අපනයනය කිරීමේ ප්‍රමුඛයා වුව ද, පරිගණක චිප් වැනි උපාංග නිෂ්පාදනයේදී මූලද්‍රව්‍ය සඳහා ආදේශක පවතින බව දේශපාලන අවදානම් පිළිබඳ උපදේශන ආයතනයක් වන යුරේසියා ගෲප් පවසයි.
චීනයෙන් පිටත ක්‍රියාකාරී පතල් කැණීම් සහ සැකසුම් පහසුකම් ද ඇති බව එම ආයතනය තවදුරට ත් පැවසීය.
දශකයකට පෙර චීනය දුර්ලභ විරල ඛනිජ අපනයනය සීමා කළ අවස්ථාවට මෙය සමාන බව මෙම උපදේශන ආයතනය පෙන්වා දුන්නේ ය.
යුරේසියාවේ ඇස්තමේන්තුවලට අනුව, ඒත් සමග තව ත් අපනයනකරුවන් මතු වූ අතර දශකයකට අඩු කාලයකදී දුර්ලභ ඛනිජ සැපයුම් දාමයේ චීනයේ ආධිපත්‍යය 98% සිට 63% දක්වා පහත වැටිණි.
"ගැලියම් සහ ජර්මේනියම් ලබා ගැනීම සඳහා විකල්ප මූලාශ්‍ර සොයා යාම මෙන් ම මෙම භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සහ එම මූලද්‍රව්‍ය සඳහා විකල්ප හඳුනා ගැනීමේ උත්සහයන්වල ඉහළ යාමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්," යුරේසියාහි චීන ආයතනික කටයුතු සහ එක්සත් ජනපද-චීන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂිකා ඇනා ඇෂ්ටන් බීබීසීය වෙත පැවසීය.
"ඒක හුදෙක් චීනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අපනයන සීමාවන්ගේ ප්‍රතිඵලයක් නොවෙයි," ඇය තවදුරට ත් පැවසුවා ය. "එය වර්ධනය වන ඉල්ලුම, තීව්‍ර වන භූ මූලෝපායික තරගකාරිත්වය සහ අවිශ්වාසය පිළිබඳ අපේක්ෂාවන් සහ දේශපාලන හා උපායමාර්ගික අරමුණු වෙනුවෙන් ආනයන සහ අපනයන සීමා කිරීමට චීනයේ පැහැදිලිව සූදානමේ ප්‍රතිඵලයක්."
ඔක්තෝබර් මාසයේදී, වොෂින්ටනය නිවේදනය කළේ, ලොව කොතැනක නිෂ්පාදනය කළ ත්, එක්සත් ජනපද මෙවලම් හෝ මෘදුකාංග භාවිතයෙන් චීනයට චිප් අපනයනය කරන සමාගම් සඳහා බලපත්‍ර අවශ්‍ය වන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වොෂින්ටනය විසින් පනවන ලද අපනයන පාලනයන්ට ප්‍රතිචාර වශයෙන් චීනය "තාක්ෂණික ආධිපත්‍යය" පිළිබඳව එක්සත් ජනපදයට නිතර චෝදනා නගයි.
ඉකුත් මාස මාස කිහිපයේදී, චීන රජය විසින් අභ්‍යවකාශ සමාගමක් වන ලොක්හීඩ් මාටින් වැනි ඇමෙරිකානු හමුදාවට සම්බන්ධ එක්සත් ජනපද සමාගම්වලට ද සීමා පනවා ඇත.
මේ අතර, බටහිර රාජ්‍යයන් චීනයෙන් එල්ල වන "අවදානම ඉවත් කිරීමේ" අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ. ඉන් අදහස් වන්නේ, මූලද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ යන දිවිත්වය මත ම අඩු වශයෙන් යැපීම ය.
කෙසේ වෙතත්, සැපයුම් දාම විවිධාංගීකරණය කිරීම සහ පතල් කැණීමේ හැකියාව ගොඩනගා ගැනීම මෙන් ම පසුව, තීරණාත්මක ලෙස, ගැලියම් සහ ජර්මේනියම් වැනි ලෝහ සැකසීමට වසර ගණනාවක් ගත වනු ඇත.
දිගු කාලීනව ගත් කල ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි, ඛනිජවලින් පොහොසත් රටවල් මූලද්‍රව්‍ය අර්බුදය ඔවුන්ට වාසිදායක අවස්ථාවක් ලෙස දකී.
ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ, භූ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සම්පත් සහ තාක්ෂණික හැකියාවන් භාවිත කිරීම - එක්සත් ජනපදය සහ චීනය දැනටමත් සිදු කර ඇති පරිදි - පරිසරය සම්බන්ධයෙන් ගත් කල ගෝලීය ප්‍රතිවිපාක ද ගෙන දෙනු ඇති බව ය.
ඒ, වඩා වැදගත් නව හරිත තාක්ෂණයන් මෙවැනි මූලද්‍රව්‍ය මත රඳා පවතින බැවිනි.
"මේක ජාතික ප්‍රශ්නයක් නොවෙයි. මේක මනුෂ්‍ය වර්ගයා වශයෙන් අප මුහුණ දෙන ප්‍රශ්නයක්. බලාපොරොත්තු සහගත ලෙස, ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපරිම කැපවීමෙන් කටයුතු කරන්න පුළුවන් වගේ ම, බලශක්ති සංක්‍රාන්තිය සඳහා ඇත්තට ම අත්‍යවශ්‍ය වන එම තීරණාත්මක ද්‍රව්‍ය වෙත ප්‍රවේශය සුරක්ෂිත කරන්න ත් පුළුවන්. ඒත් එක්ක ම, කාබන්හරණය වටා ඇති ඇතැම් අභියෝගවලට මුහුණ දීමට අපට පටන් ගන්න ත් පුළුවන්," ආචාර්ය හාපර් පැවසීය.
නවතම අපනයන පාලනයන්හි බලපෑම කර්මාන්තයට හෝ පාරිභෝගිකයින්ට ව්‍යසනකාරී නොවනු ඇත ත්, මෙම ප්‍රවණතාව කොතැනට යන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
"සාමාන්‍ය මනුස්සයෙක්ට ගැලියම් සහ ජර්මේනියම් ගැන තේරුම් ගන්න තරම් විශේෂඥ දැනුමක් නැහැ," ආචාර්ය හාපර් පවසයි. "නමුත් ඒ හා සමානව, තමන්ගේ මෝටර් රථයේ මිල කොපමණ දැයි හෝ හරිත තාක්ෂණයට මාරු වීම කෙතරම් මිල අධික ද ක්‍රියාවලියක් ද යන්න ගැන ඔවුන් සැලකිලිමත් වෙනවා."
"ඇතැම් විට දුර බැහැර රටවල සිදුවන ඉතා සංකීර්ණ ප්‍රතිපත්ති ඇත්ත වශයෙන් ම ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරන දෙයක් බවට පරිවර්තනය වෙනවා."










