දකුණු කොරියාවේ ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වෙන්නේ ඇයි?

Woman standing and looking at posters of South Korean presidential candidates. The posters show four South Korean men, three with glasses, all in suits, one with grey hair. Two of the posters are on coloured backgrounds - one yellow, one orange. The woman looking at them is wearing a beige top, white trousers and has a handbag over her shoulder.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම හදිසි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති යූන් සොක් යෝල්ට එරෙහි දෝෂාභියෝගයෙන් පසුව ය
    • Author, ජොයෙල් ගින්ටෝ
    • Role, බීබීසී පුවත්

දෙසැම්බර් මාසයේදී පැය හයක් රට යුද්ධ නීතිය යටතේ තැබීම හේතුවෙන් ධූරයෙන් ඉවත් කරන ලද යූන් සොක් යෝල් වෙනුවට ජූනි 3 වන දින දකුණු කොරියාව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත.

රට ගැඹුරු කැලඹීමකට ඇද දැමූ සහ සමාජයේ ගැඹුරු බෙදීම් ඉස්මතු කළ යූන් ඉතිරි කර ගිය දේශපාලන හා ආර්ථික ගැටලු කළමනාකරණය කිරීමේ කාර්යය ජයග්‍රාහකයාට පැවරෙනු ඇත.

එපමණක් නොව මෙම මැතිවරණය පැවැත්වෙන්නේ, උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය සහ ලෝකයේ අඩු ම උපත් අනුපාතයට මුහුණ දීම වැනි දිගුකාලීන අභියෝග රැසක් ද ඇති පසුබිමක ය.

මේ, මිලියන 52ක පමණ ජනගහනයක් සිටින මෙම නැගෙනහිර ආසියානු රට ඉදිරි වසර පහ සඳහා තම නව නායකයා තෝරා ගන්නා ආකාරය යි.

දකුණු කොරියාව ජනාධිපතිවරණයක් පවත්වන්නේ ඇයි?

යූන් 2027 දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නියමිතව සිටි නමුත් ඔහුගේ ධූර කාලය අපකීර්තියෙන් අවසන් විය.

"රාජ්‍ය විරෝධී බලවේග" සහ උතුරු කොරියාවේ තර්ජන ගැන සඳහන් කරමින් දෙසැම්බර් 3 වන දින ඔහු යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් ඔහු එරට වැසියන් කම්පනයට පත් කළේ ය. නමුත් එය ඔහු තමා මුහුණ දී සිටි දේශපාලන අර්බුද මුල් කරගෙන ගත් පියවරක් බව ඉක්මනින් ම පැහැදිලි විය.

සතියකට පසු, පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරිණි. අප්‍රේල් 4 වන දින, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ඔහුට එරෙහි දෝෂාභියෝගය තහවුරු කර ඔහුව ස්ථිරව ම ධූරයෙන් ඉවත් කළේ, නීතියෙන් නියම කර ඇති පරිදි දින 60ක් ඇතුළත හදිසි ජනාධිපතිවරණයක් පැවැත් වීම සඳහා වේදිකාව සකසමිනි.

යූන්ගේ යුද්ධ නීතිය පැනවීමේ සිද්ධියෙන් පසු ගත වූ කැලඹිලි සහිත මාස පහ තුළ, රටට වැඩබලන ජනාධිපතිවරුන් තිදෙනෙකු සිටි අතර, මෑත කාලීනව පත් වූ ජනාධිපතිවරයා වූයේ මැතිවරණයට මාසයකට පෙර එම තනතුර භාරගත් කම්කරු අමාත්‍ය ඊ ජන්-හෝ ය.

යූන්ගෙන් පසු වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමෙන් සති කිහිපයකට පසු දෝෂාභියෝගයට ලක් වූ අගමැති හන් ඩොක් සූ වෙනුවට ඊ පත් විය.

මාර්තු මාසයේදී හන් නැවත සේවයේ පිහිටුවීමට පෙර මුදල් අමාත්‍ය ච්වෙ සං-මොක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.

දකුණු කොරියානු මැතිවරණයේ ඇති ප්‍රධාන ගැටලු මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යූන්ගේ යුද්ධ නීතිය, යූන්ගේ සහ ඔහුගේ ගතානුගතික 'People Power Party (PPP) ආධාරකරුවන් සහ විපක්ෂ නායක ඊ චේ-මියොන්ග් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සහය දක්වන අය අතර ඇති ගැඹුරු දේශපාලන බෙදීම ඉස්මතු කළේ ය.

ඒ වන විටත් දකුණු කොරියානු භාණ්ඩ සඳහා 25%ක බද්දක් පැනවූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන් මත තීරුබදු නිවේදනය කළ අවස්ථාවේ තීරණාත්මක මොහොතක සිටි දකුණු කොරියාව මෙම පියවරත් සමග සිය ආර්ථිකය කෙරෙහි වූ මහජන විශ්වාසය ද බිඳ වැටිණි.

ඒ අනුව, නව ජනාධිපතිවරයාට මෙම ගැටලු විසඳීමට ක්ෂණික පියවර ගැනීමේ කාර්යය පැවරෙනු ඇත.

නමුත් උතුරු කොරියාව සමග සබඳතා පවත්වා ගැනීම වැනි තවමත් පවතින අභියෝග තිබේ. 2025 ආරම්භය සාපේක්ෂව කැපී පෙනෙන සිදුවීම්වලින් තොර වුව ද, ඊට පෙර වසරේ දෙපාර්ශව ම දේශ සීමාව හරහා ප්‍රචාරක ද්‍රව්‍ය රැගත් බැලූන් සහ ඩ්‍රෝන යානා යැවූ බැවින් ආතතීන් ඉහළ ගියේ ය.

පුළුල් පරිමාණයකින් ගත් කළ, නව නායකයා සෝල්හි විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනය සහ ඔවුන්ගේ වැදගත් ම ආරක්ෂක සගයා වන ඇමෙරිකාව අතර සබඳතා තුලනය කළ යුතු ය.

ලෝකයේ අඩු ම උපත් අනුපාතයක් ඇති රටෙහි එම අනුපාතය පහත වැටීම නැවැත්වීමේ කාර්යය ද ඇත.

2024දී, රටේ සාඵල්‍යතා අනුපාතය, නැතහොත් කාන්තාවක තම ජීවිත කාලය තුළ ලැබීමට අපේක්ෂා කරන දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය, 0.75ක් විය. එය පෙර වසරට වඩා සුළු වශයෙන් ඉහළ ගිය ද, රටේ ජනගහනය මිලියන 51ක් පවත්වා ගැනීමට අවශ්‍ය 2.1ට වඩා බොහෝ අඩු මට්ටමක පවතී.

දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය හැකි ද?

මත විමසුම්වලට අනුව, අපේක්ෂකයින් හය දෙනාගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ චේ-මියොන්ග් ඉදිරියෙන් සිටින අතර ඔහුට පසුව කොන්සර්වේටිව් පීපීපී පක්ෂයේ අපේක්ෂක කිම් මූන්-සූ සිටියි.

2022දී යූන් හමුවේ ඉතා සුළු ඡන්ද පරතරයකින් පරාජයට පත් වූ ඊ, ඔහුගේ ආධාරකරුවෝ කම්කරු පන්තියේ වීරයෙකු ලෙස ප්‍රශංසා කරති. ඔහු මානව හිමිකම් නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වීමට පෙර කර්මාන්ත ශාලාවක සේවය කළේ ය. රැකියා සහ සාධාරණ සමාජයක් සහිත "සැබෑ කොරියානු ජනරජයක්" ස්ථාපනය කිරීමට ඔහු ප්‍රතිඥා ලබා දී තිබේ.

හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ කිම්, ආර්ථිකය වර්ධනය කළ හැකි ජනාධිපතිවරයෙකු ලෙස තමන්ව ස්ථානගත කර ගෙන ඇති අතර, ව්‍යාපාර හිතකාමී පරිසරයක් සහ රැකියා උත්පාදනය කරන බවට පොරොන්දු වෙමින් සිටී.

අනෙක් අපේක්ෂකයින් වන්නේ නව ප්‍රතිසංස්කරණ පක්ෂයේ (New Reform Party) ඊ ජුන්-සොක්, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ (Democratic Labor Party) ක්වොන් යං-ගුක් සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු වන හ්වාං ක්යෝ-ආන් සහ සොන්ග් ජින්-හෝ ය.

වසර 18කට පසු පළමු වතාවට ජනාධිපති ධූරය සඳහා කාන්තාවක ඉදිරිපත් වී නොමැත. දකුණු කොරියානු ජනාධිපති ධූරයට තරග කළ පළමු කාන්තාව 1987දී හොං සුක්-ජා වූ නමුත් ඇය ඡන්ද විමසීමට පෙර ඇය ඉවත් වූවා ය. 2012 මැතිවරණයට කාන්තා අපේක්ෂකයින් හතර දෙනෙක් ඉදිරිපත් වූහ.

මැතිවරණ දිනය කවදා ද සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්නේ කවදා ද?

මැතිවරණය ජූනි 3 වන දින පැවැත්වීමට නියමිත අතර ඡන්ද මධ්‍යස්ථාන එරට වේලාවෙන් පෙ.ව. 06:00 (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 3:30) සිට ප.ව. 20:00 දක්වා විවෘතව පවතී. විදේශයන්හි සිටින දකුණු කොරියානුවන්ට මැයි 20 සිට 25 දක්වා කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දෙන ලදී.

ඡන්ද විමසීම් අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ජයග්‍රාහකයා කවුරුන් ද යන්න පසු දා මුල් භාගයේදී ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තිබේ.

2022දී යූන්, ඊ පරාජය කළ මැතිවරණයේදී, ඡන්දය අවසන් වී පැය නවයකට පසු, නැතහොත් මැතිවරණ දිනට පසු අලුයම 04:40ට ඔහු ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

එය එරට ඉතිහාසයේ තියුණු ම ජනාධිපතිවරණ තරගය වූ අතර, එහිදී යූන් 0.73%ක ඡන්ද වෙනසකින් ජයග්‍රහණය කළේ ය.

නව ජනාධිපතිවරයා වහා ම බලයට පත්වන අතර ඔහුගේ බොහෝ පූර්වගාමීන් මෙන් නොව, යූන්ගෙන් විධිමත් බල සංක්‍රාන්තියක් ලැබීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත.

දෝෂාභියෝගයට ලක් වූ හිටපු ජනාධිපති යූන් සොක් යෝල්ට කුමක් සිදුවේ ද?

යුද්ධ නීති ප්‍රකාශයෙන් පැනනැඟුණු ආණඩුව පෙරළා දැමීමේ උත්සහ සම්බන්ධයෙන් වූ චෝදනා මත නඩු විභාගයකට යූන් මුහුණ දෙයි. ජනවාරි මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් සති කිහිපයකට පසු තාක්ෂණික හේතුවක් මත රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලදී.

ඊට අමතරව, බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට මෑතකදී චෝදනා එල්ල විය.

මැතිවරණයට පෙර, යූන් තම පක්ෂයෙන් ඉවත් වූයේ පීපීපීහි ජනාධිපතිවරණ අපේක්ෂක කිම් මූන්-සූ ජයග්‍රහණය කරවීමේ උත්සහයක් වශයෙන් බව විශ්ලේෂකයෝ පවසති.