ලී ජේ-ම්යුං: දකුණු කොරියානු විපක්ෂ නායකයාට බුසාන්හි දී පිහි ඇනුමක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දකුණු කොරියානු දේශපාලන විපක්ෂයේ නායකයාට එරට බුසාන් වරාය නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පිහියෙන් ඇන තිබේ.
2022 දී කොරියානු ජනපතිවරණය ඉතා සුළු පරතරයකින් පරාජයට පත්වූ ලී ජේ-ම්යුං, අඟහරුවාදා (ජන 2) උදෑසන මෙම පිහි ඇනුමට ලක්විය. ඔහුගේ ගෙලේ වම් පැත්තට මේ ඇනුම සිදුකර තිබුණි.
පිහි ඇනුම සිදුකළ පුද්ගලයා එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගනු ලැබුණි.
ප්‍රහාරයෙන් ලීට සෙ.මී. එකක කැපුම් තුවාලයක් ඇතිවී තිබෙන අතර, රෝහලේ දී ඔහු සිහියෙන් සිටින අතරතුරේ ප්‍රතිකාර ලැබූ බව වාර්තා වෙයි. ඔහුගේ තුවාලය ජීවිතයට තර්ජනයක් නොවන බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 50 හෝ 60 ගණන්වල පිරිමියෙකු බව පෙනෙන ප්‍රහාරකයා ලීගෙන් සමරු සටහනක් ඉල්ලමින් ඔහු සමීපයට ගොස් ඇතැ යි වාර්තාවන අතර, හදිසියේම ඉදිරියට පැන පිහියෙන් ඇන තිබේ.
සමාජ මාධ්‍යවල පළ කරන ලද ප්‍රහාරයේ වීඩියෝ දර්ශනවලින්, ලී පළමුව සෙනඟ අතරට ඇද වැටෙන බවත්, අනතුරුව බිම ඇද වැටෙන බවත්, ඒ අතරතුරේ කීප දෙනෙකු ප්‍රහාරකයා මැඩපැවැත්වීමට තැත් කරන බවත් පෙනී යයි. අනතුරුව ලබාගත් ඡායාරුපවලින්, ලී දෑස් වසාගෙන බිම වැතිර සිටින ආකාරයත්, කිසිවෙකු ඔහුගේ ගෙලෙහි පැත්තකට ලේන්සුවක් තදකර ගෙන සිටින අයුරුත් පෙන්නුම් කෙරෙයි.
ඔහු හෙලිකොප්ටරයකින් රෝහලට ගෙන ගිය බව යොන්හැප් පුවත් ඒජන්සිය පැවසුවේ ය.
ලීගේ "ශීර්ෂපෝෂී ශිරාවට තුවාල" සිදුවී ඇති අතර, තවදුරටත් එතනින් රුධිර වහනය සිදුවනු ඇතැ යි වෛද්‍ය කාර්යය මණ්ඩලය සිතන බැවින් ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදුවනු ඇති බව, ලීගේ කොරියානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"සෝල් ජාතික විශ්වවිද්‍යාල රෝහලට ගෙනගියාට පස්සේ අපි ඉක්මනින්ම සැත්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා වගේම, එය පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීමේ ක්‍රියාවක් විදියට දකිනවා," ප්‍රකාශක ක්වොන් චිල්-ස්යුන්ග් ප්‍රකාශ කළේ ය.
පනස් නව හැවිරිදි ලී දැනට ඉන්චියොන්හි දකුණු කොරියා ව්‍යවස්ථාදායකයේ ආසනයක් දරයි. ඔහු අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේ දී ආසනයක් සඳහා තරග කරනු ඇතැ යි ද බොහෝ දෙනා අපේක්ෂා කරති.
2022 ජනාධිපතිවරණයේ දී ඔහු හුදෙක් ඡන්ද 0.73%ක වෙනසකින් වත්මන් ජනාධිපති යූන් සුක්-යොල්ට පරාජය වූ අතර, එය දකුණු කොරියානු ඉතිහාසයේ ආසන්නතම පරතරයකින් සිදුවූ ජනාධිපති තරගය බවට පත් කළේ ය. ඔහු 2027 දී පැවැත්වෙනු ඇති මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැ යි ද බොහෝදෙනා අපේක්ෂා කරති.
ඉන්පසු ඔහු දූෂණය සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා ඇත. ඔහු සෝල් නගරයට දකුණින් පිහිටි මිලියනයක ජනගහනයක් සිටින නගරයක් වන ස්යොංනම්හි නගරාධිපතිව සිටිය දී දේපළ ව්‍යාපෘතියකින් පුද්ගලික සංවර්ධකයින්ට නීති විරෝධී අයුරින් ලාභ ලැබීමට ඉඩ දුන්බවට අධිචෝදකයින් ඔහුට චෝදනා කළේ ය. ලී එම චෝදනා ප්‍රතික්ෂේපකර ඇති අතර, ඒවා දේශපාලන පළිගැනීම් ලෙස හඳුන්වයි.
චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙන තෙක් ඔහු අත්අඩංගුවේ තබාගන්නා ලෙස පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ ඉල්ලීම සැප්තැම්බර් මාසයේ දී අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඔහු ධුරයේ සිටිය දී සිදුකෙරුණු දූෂණ සම්බන්ධ තවත් නඩු ගණනක් සම්බන්ධයෙන් අභිචෝදකයින් තවමත් විමර්ශන සිදුකරයි.
මේ අධිකරණ නියෝගය නිකුත්වූයේ යූන්ගේ විදේශ සහ දේශීය ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ලී උපවාසයක් ආරම්භ කර තෙසතියකිනි. උපවාසය නිසා ලී රෝහල්ගත කිරීමට සිදුවිය.
දකුණු කොරියානු දේශපාලනඥයන්ට එරෙහිව අවි ආයුධ යොදාගනිමින් සිදුකෙරුණු පහරදීම් ගණනාවක් පසුගිය කාලයේ දී වාර්තාවිය.
2022 මාර්තු මාසයේ දී, ලීගේ පූර්වගාමියා වූ සොං යං-ගිල් ලී වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිය දී මොට ආයුධයකින් පහරදීමට ලක්විය. හිසට තුවාල ලැබූවත් ඔහු දිවි ගලවා ගත්තේ ය.
පසුව ජනපතිධුරයට පත්වූ ද, ඉන් පෙර කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව වූ ද පාක් ගුන්-හයි 2006 දී පිහි පහරකට ලක්වූ අතර, එය ඇගේ මුහුණ මත කැළලක් ඇති කළේ ය.












