ජනාධිපති යූන්ගේ දෝෂාභියෝග තීන්දුව නැරඹීමට කොරියානුවන් අතර K-pop ටිකට් ලබා ගැනීමටත් වඩා දැඩි තරගයක්

ඡායාරූප මූලාශ්‍රය, Kim San-jung
- Author, යෝජුන්ග් කිම්
- Role, බීබීසී කොරියානු සේවය
ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ දැඩි ගැටුම් රැසක අත්දැකීම් ඇති K-pop රසිකාවියක වන කිම් සැන් ජුංහට (ඇගේ සැබෑ නම නොවේ), නැවත වරක් ඔන්ලයින් වේටින් රූම් එකක රැඳී සිටීමට සිදුවිය.
කෙසේ වෙතත්, මෙවර එවැන්නක් සිදුවූයේ ප්‍රසංගයක් නැරඹීම සඳහා නොවේ. ඇය 40,000කට අධික පිරිසක් සමග තරග කරමින් සිටියේ, ජනාධිපති යූන් සුක් යොල්ගේ දෝෂාභියෝග තීන්දුව නැරඹීමට වෙන් කර ඇති, බොහෝ දෙනෙකු ලබා ගැනීමට තැත් කරන ආසන 20න් එකක් ලබා ගැනීම සඳහා ය.
අසුනක් ලබා ගැනීම සඳහා ලැබූ පීඩාකාරී අත්දැකීම ගැන සිහිපත් කරමින්, "මම K-pop ටිකට් ගන්න සෑහෙන්න තරගවලට මුහුණ දීලා තියෙනවා, නමුත් මේ නඩු විභාගයට ඊටත් වඩා තරගයක් තියෙන බවක් දැනෙනවා," යැයි පැවසුවා ය.
අවසානයේ එම වටිනා ආසන ලබා ගැනීමට පුද්ගලයින් 96,370ක් තරග කර තිබිණි.
අප්‍රේල් 4 වන දින සෝල්හි ව්‍යවස්ථා අධිකරණයේදී පැවැත්වූ ජනාධිපති යූන්ගේ දෝෂාභියෝග තීන්දුව කෙරෙහි පෙර නොවූ විරූ මහජන උනන්දුවක් ඇති වී තිබිණි.
ආසනයක් ලබා ගැනීම සඳහා අනුපාතය 4,818ට 1ක් වූ අතර, එය "එක් ආසනයක් සඳහා පමණක්" 796 දෙනෙකු තරග කළ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුන් හයි 2017 දෝෂාභියෝග නඩු විභාගයදී පැවති තරගය ඉක්මවා ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Constitutional Court of Korea
2024 දෙසැම්බර් 14 වන දින ජාතික සභාව දෝෂාභියෝග යෝජනාව සම්මත කිරීමෙන් පසු ව්‍යවස්ථා අධිකරණය මගින් තීන්දුවක් ලබා දීමට දින 100කට වැඩි කාලයක් ගත විය. යුක්තිසහගත නොවන ලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් යූන් තම ව්‍යවස්ථාපිත රාජකාරිය උල්ලංඝණය කළ බවට ඔහුට චෝදනා එල්ල විය.
මේ වන විට දෝෂාභියෝග තීන්දුව ලබා දී ඇති අතර ඔහු වහා ම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ. දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ එවැන්නක් සිදුවූ දෙවන අවස්ථාව වන මෙහිදී ඔහු ඉවත් කිරීමෙන් දින 60ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ය.
දැඩි ආරක්ෂාව යටතේ සිදු කෙරුණු නඩු විභාගය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වයස අවුරුදු 40 ගණන්වල මැද භාගයේ පසු වන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන ඕ මි-ආ , උත්සාහයන් තුනකින් පසු ප්‍රවේශ පත්‍ර වෙන් කර ගන්නා වෙබ් පිටුවට ඇතුළු වීමට සමත් වූවා ය.
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවාද සඳහා පහසුකම් සපයන කෙනෙක් විදිහට මට අවශ්‍ය වුණේ මාධ්‍ය වාර්තා මත විශ්වාසය තබනවාට වඩා හරියට ම දේවල් තහවුරු කර ගන්න, මොක ද විශේෂයෙන් ම සමහරු විරෝධතා වැරදි ලෙස වාර්තා කර තිබුණා," ඇය පැහැදිලි කළා ය.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන යූන් සෝ-රා වැනි තවත් අය ටිකට් පතක් ලබා ගැනීමට උත්සාහ කළේ මෙම නඩු විභාගය දකුණු කොරියාවේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් නියෝජනය කරන හෙයිනි.
"මේක ඉතිහාසයේ නැවත සිදුනොවිය යුතු දෙයක්," ඇය පැවසුවා ය. "මට අවශ්‍ය වුණේ එහි සාක්ෂිකරුවෙක් වෙන එක, ඒ වගේ ම මේක අවසන් දෝෂාභියෝගය වෙයි කියල බලාපොරොත්තු වෙනවා."
"ළඟදී මගේ ගෙවල් කිට්ටුව G-Dragon [K-pop කණ්ඩායමක්] ප්‍රසංගයක් පැවැත්වුවත්, ඒකට නොගිය මම යූන්ගේ විනිශ්චය බලන්න ටිකට් පතක් ගන්න එක තෝරා ගත්තා. පුරවැසියෙක් විදිහට මේ ඓතිහාසික මොහොතේ එතන ඉන්නයි මම කැමති," යනුවෙන් ගෘහණියක වන යූ ජී යොන් පැවසුවා ය.
දින ගණනාවක් තිස්සේ දැවැන්ත විරෝධතා පැවති අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් යන දෙපිරිස ම වීදි බැස සිටියහ. පසුගිය දෙසැම්බරයේ දෝෂාභියෝග ඡන්ද විමසීමේදී ජාතික සභාව අසල රැස්වූ 210,000ක විරෝධතාකරුවන්ට සමාන ජන සහභාගීත්වයක් මෙවර ද පොලිසිය අපේක්ෂා කළේ ය.
අධිකරණයෙන් පිටත දැඩි පාලනයක් ක්‍රියාත්මක විය. පොලිසිය විසින් "දෙවන මට්ටමේ හදිසි අවස්ථාවක්" ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, රටේ පොලිස් බළකායෙන් අඩක් පමණ අධිකරණය වටා යොදවා තිබිණි. ග්යොංබොක්ගුන් මාලිගාව අසල ප්‍රධාන රැලි පවත්වන ස්ථානයක් අසල පිහිටා ඇති අංගුක් උමං දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන් ම වසා දමා තිබිණි.
තීන්දුවෙන් ඔබ්බට

ඡායාරූප මූලාශ්‍රය, Oh Mi-a
2017 දී, පාක් ගුන් හයිගේ දෝෂාභියෝග නඩු විභාගයට සහභාගී වූ අයෙකු "ඒක වංචනික හා සැලසුම්සහගත දෝෂාභියෝගයක්" යැයි කෑ ගැසීමෙන් පසු පිටතට ඇදගෙන ගොස් රඳවා ගනු ලැබී ය.
යූන්ගේ නඩු විභාගවලදී ද ඊට සමාන අතුරු කතා සිදුවූ බව ඕ මිආ සිහිපත් කරයි. "බොහෝ අය සද්ද නැතුව හිටියත්, සාක්ෂිකරුවන් ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණා. සමහර සහභාගි වුණ අය අදහස් දක්වන්න ගියා සහ සමහරුන් ශාප කිරීම පවා කළා."
'නඩු තීන්දුව සජීවීව බලන්න ඕන නිසා මම මගේ සැලසුම් ඔක්කොම අවලංගු කළා'
අධිකරණ තීන්දුව අධිකරණයට ගොස් නැරඹීමට පුරවැසියන් 20 දෙනෙකු පමණක් සහභාගී වූ අතර, බොහෝ දකුණු කොරියානුවෝ සජීවී විකාශය නැරඹීමට උත්සහ කළහ.
තිදරු මවක වන යූ ජි යොන් පැවසුවේ, තීන්දුව සජීවීව නැරඹීම සඳහා ඇය ඊට පෙර සැලසුම් කර තිබූ සියල්ල අවලංගු කළ බව ය. "මගේ දරුවන්ට වඩා හොඳ සමාජයක් හදන්න මම කැප වෙලා ඉන්නවා කියන එක පෙන්වන්න මට අවශ්‍ය යි."
"ගොඩක් පුරවැසියෝ වීදිවල රැඳී සිටිමින් මේ අවසන් දිනය එන තුරු බොහෝ කාලයක් බලන් ඉඳලා තියෙනවා. දැන් අවසානයට ඇවිත් තියෙන නිසා, ප්‍රතිඵලය නැරඹීමට [ඇති උනන්දුව] ස්වාභාවික යි," කිම් සැන් ජුන්ග් වැඩිදුරටත් පැවසුවා ය.














