රනිල්ගේ අසනීප ගැන මාධ්‍ය වෙත තොරතුරු දීම නිසා විවේචනයට ලක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව රෝහල්ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත පළ කළ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රනිල් වික්‍රමසිංහට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත්, ඔහුට දැඩි විවේකයක් අවශ්‍ය බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය වෙත පැවසීය.

පසුව, ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ ය.

'ඔහුගේ සමහර ක්‍රියාකලාප නීත්‍යනුකූල නෑ'

"ජාතික රෝහලේ ඔය කියන පුද්ගලයා කරන්නේ එයාට අයිති නැති ජොබ් එකක්. ඒකට අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න ඕන. මොක ද රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක වුණත් ජනමාධ්‍යයකට ලබා දීමට කිසිදු අයිතියක් නෑ. ඔහුගේ සමහර ක්‍රියාකලාප නීත්‍යනුකූල නෑ," සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මහනුවරදී මාධ්‍ය වෙත කියා තිබිණි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

'මට තාම නම් දැනුම් දීලා නෑ'

තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණයක් පිළිබඳව මෙතෙක් නිල දැනුම් දීමක් තමන් වෙත ලැබී නොමැති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අගෝස්තු 29 වන දා උදෑසන බීබීසි සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

"මමත් දන්නේ මාධ්‍යයෙන්. මට තාම නම් දැනුම් දීලා නෑ," ඔහු පැවසීය.

මොරටුවේ පදිංචි, තිදරු පියෙකු වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පත්වූයේ, 2022 වසරේදී ය.

වෛද්‍ය වෘත්තියේ ගමන්මග

1987 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා තිබිණි.

එහෙත්, එම වකවානුවේ රට තුළ පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබූ අතර, එම වකවානුවේදී ඔහුට ලැබුණ ශිෂ්‍යත්වයක් මත රුසියාවට ගොස් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවස්ථාව ලැබී ඇත.

ඉන්පසුව, පානදුර මූලික රෝහලෙන් රජයේ වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීය ආරම්භ කර ඇති රුක්ෂාන් බෙල්ලන, සිය වෘත්තිය ජිවිතයේ 30 වන වසරට ආසන්නව සිටී.

"ගොඩක් රෝහල්වල වැඩ කළා. 96,97 කාලයේ මඩකලපුව රෝහලේ වැඩ කළා යුද්ධය මැද්දේ. පැය 12ක් පහුකරලා, චෙක් පොයින්ට් 12ක් පහුකරලා බස් එකේ තමයි යන්නේ ඕනේ ඒ කාලේ," සිය වෘත්තීය ගමනේ අත්දැකිම් විස්තර කරමින් ඔහු පැවසීය.

වෛද්‍ය බෙල්ලන පවසන පරිදි, ඔහු පොළොන්නරුව මහ රෝහලේ සහ මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ධූරය හොබවා ති⁣බේ.

වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තේ ඇයි?

ඔහු වෛද්‍ය වෘත්තීය සමිතියක් පිහිටුවීමට ද මුල් විය.

ඒ අනුව, 2014 වසරේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පිහිටුවා, එහි නායකත්වය ද හොබවයි.

එම වෘත්තීය සමිතිය පිහිටුවා ගැනීමට හේතු වූ කරුණු මෙන් ම එහි අරමුණු ද ඔහු බීබීසි සිංහල සේවයට පැහැදිලි කළේ ය.

"හැම තිස්සේ ම අපේ ප්‍රතිපත්තිය ගොඩනැඟුණේ ස්ට්‍රයික්වලට විරෝධී වෙන්න කියලා. විශේෂයෙන් අසාධාරණව නිකරුණේ කරන සෞඛ්‍ය ස්ට්‍රයික් බහුලව තියෙනවා කියලා අපි දැක්කා."

"අපේ ප්‍රතිපත්තිය වුණේ ඉන්න හැම ආණ්ඩුවක් එක්ක ම සුහදශිලීව, නම්‍යශීලීව ගිහිල්ලා අපේ ඉල්ලීම් ලබා ගැනීම," යැයි වෛද්‍යවරයා කියා සිටියේ ය.

එජාප සංවිධායකවරයෙක් කියන්නේ ඇත්තක් ද?

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරයක් ලබා ගත් බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එල්ල වන චෝදනා සම්බන්ධව ද ඔහු අදහස් පළ කළේ ය.

"සංවිධායකවරයෙක් පත් වෙද්දී ඒ පත්වීම ඉලෙක්ෂන් කමිෂන් එකට යවනවා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එහෙන් අහන්න මම සංවිධායකවරයෙක් ද කියලා," ඔහු අභියෝග කළේ ය.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී වෘත්තීය සමිති නායකයකු ලෙස ලද අගැයීමකදී ගන්නා ලද ඡායාරූපයක් තමන් සංවිධායක ධූරයක් ලබා ගත් බවට එලෙස පළව ඇති බව වෛද්‍යවරයා පැවසීය.

"ඔය වැඩසටහනේ වෙච්ච සිද්ධියට පෙත්සම් ගියා. ගිය පෙත්සම් ඉලෙක්ෂන් කමිෂන් කොමසාරිස් විභාගයක් කළා. ඒ විභාගයෙන් මම නිදොස් වුණා."

පැය 5ක් කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින් 2023 වසරේදී ඔහුව පැය 5කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගත්හ.

කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ සේවකයන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිත කර රාජකාරියේ යෙදෙන බවට වෛද්‍යවරයා කළ බව කියන ප්‍රකාශයකට ඔවුහු එලෙස විරෝධය පළ කළහ.

මෙහිදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කළේ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව ය.

එම අවස්ථාවේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියෙන් මුදා ගැනීමට හැකි වූයේ පොලිසිය මැදිහත් වීමෙනි.

"මට කාලයක් කිව්වා මම මහින්දගේ ගොට්ටෙක් කියලා, කාලයක් කිව්වා රාජිතගේ ගොට්ටෙක් කියලා, කාලයක් කිව්වා ගෝඨාභයගේ කියලා. ඒකට හේතුව අපේ ප්‍රතිපත්තිය," වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ ය.