ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු කුමක් ද? එය සිදු කරන්නේ කෙසේ ද?
- Author, බීබීසී
ඝාතනයක් හෝ මරණයක් පිළිබඳ ප්‍රවෘත්තියකදී 'පශ්චාත් මරණ පරීක්ෂණය' යනු අපට නිතර ඇසෙන කරුණකි.
මළ සිරුරක් කපා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේ මරණයට හේතුව දැන ගැනීමට යන්න බොහෝ දෙනාගේ අදහස වුව ද එම පරීක්ෂණවල ඇතැම් වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා ම යන බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි.
එහෙත්, පසුගිය කාලයේ කොරෝනා වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ හෝ මරණ පරීක්ෂණ පැවැත්වුයේ නැත. කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ජාත්‍යන්තර සෞඛ්‍ය නීතිරීති අනුව ඥාතීන්ගේ ද සහභාගීත්වයකින් තොරව ආදාහනය කරන ලදී.
මේ අතර මිහිදන් කර මාස කිහිපයක් ගත වූ පසු ද මළ සිරුරු ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරෙන අවස්ථා ද තිබේ. එසේ ගොඩගනු ලබන්නේ මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් පරිදි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ඉදිරිපිටදී ය.
දෙවන වරටත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මිහිදන් කර මාස කිහිපයකට පසු ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගැනීම මෙයට වසර කිහිපයකට පෙර රට පුරා මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.
එහි දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ, කරාපිටිය රෝහලේදී ය.
පශ්චාත් මරණ පරීක්ෂණය වැදගත් ඇයි?
මළ සිරුරු කපා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේ ඇති වැදගත්කම හා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳවත් දැන ගැනීමට කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් පී. රුවන්පුරගෙන් අපි විමසීමක් කළෙමු.
"රටක ප්‍රධාන ම සම්පත මානව සම්පත යි. ඒනිසා සෑම පුද්ගලයෙකු ම මියගිය ආකාරය ගැන රජය දැන ගත යුතු වෙනවා. ඒ අනුව සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම, ප්‍රජා සෞඛ්‍යය ගැන ජනතාව දැනුවත් කිරීම, වසංගත රෝග බෝවීම වළක්වා ගැනීම, අපරාධ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, නැවතත් එවැනි මරණ සිදුවීම වළක්වා ගැනීම ආදී රටේ ජනගහන වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍ය පියවර ගැනීමට පුළුවන්."
"යම් පුද්ගලයෙක් මැරණා ම ඒ මරණය සිද්ධ වුණේ කොහොම ද? කියල සොයා බලන එක රජ කාලෙත් තිබිල තියෙනවා. ලෝකයේ ලේඛන ගතවූ පළමු මරණ පරීක්ෂණය ලෙස සැලකෙන්නේ ජුලියස් සීසර්ගේ මරණ පරීක්ෂණය යි. සීසර්ට පිහියෙන් ඇනල මැරුවට පස්සේ පුරෝහිත වෛද්‍යවරයා පරීක්ෂා කරල බලල සිරුරේ පිහි පාරවල් විසි තුනක් තිබූ බවත්, එයින් එක් පිහි පාරක් හෘදය වස්තුව හරහා වැදී තිබෙන බවත් වාර්තා කරල තියෙනවා."
"ඒ අනුව, ඒ කාලයේත් මිය ගියේ ඇයි කියල සොයල බලන ක්‍රමයක් තිබිල තියෙනවා. ඒක පසු කාලයේ නීතිගත වෙලා අපේ රටෙත් අපරාධ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබෙනවා. කෙනෙකු මියගිය පසු ඒ පිළිබඳ පරීක්ෂණය පවත්වා ඥාතීන්ට භාර දෙන තුරු මළ සිරුරේ නාමික අයිතිය තිබෙන්නේ රජයට," වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළ පරිදි, ස්වාභාවික මරණයක් නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා රෝහලේ වෛද්‍යවරයාටත්, ග්‍රාම නිලධාරීවරයාටත් හදිසි මරණ පරීක්ෂකවරයාටත් ඊට අමතරව වතු දොස්තරවරයාටත් මරණ සහතිකය නිකුත් කළ හැකි ය.
ඊට අමතරව ප්‍රකාශිත යුද්ධයකදී යුද බිමේදී මිය යන සෙබළුන්ගේ මරණ සහතිකය දීමට අණ දෙන නිලධාරියාට හැකියාව පවතී
"මේ කව්රු සහතිකය දුන්නත් එය පළාතේ විවාහ උප්පැන්න මරණ රෙජිස්ටාර්වරයා ළඟට ගිහින් ලියාපදිංචි මරණ සහතිකය ලබාගත යුතු යි."
කෙසේ වෙතත්, හේතුව නොදන්නා මරණ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ම මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. සියදිවි නසා ගැනීම්, සියලු ම වර්ගයේ අනතුරු, මිනී මැරුම්, මානසික රෝහලේ සහ ලාදුරු රෝහලේ සිදුවන මරණ අත්අඩංගුවේ සිටියදී සිදුවන මරණ, බන්ධනාගාරයේදී සිදුවන මරණ ආදිය පිළිබඳව මරණ පරීක්ෂණ පැවැත්විය යුතු වන අතර, ශල්‍යාගාරයකදී සිදුවන මරණ ගබ්සාවෙන් සිදුවන මරණ ආදිය පිළිබඳව ද මරණ පරීක්ෂණ පැවැත්විය යුතු බව කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
"හේතුව නොදන්නා මරණ, සියදිවි නසා ගැනීම්, හදිසි අනතුරු ආදිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදුකරනු ලැබුවත්, මිනීමැරුම්වලදී, මානසික රෝහලේදී සහ ලාදුරු රෝහලේදී සිදුවන මරණවලදී සහ අත්අඩංගුවේදී සිදුවන මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්විමට හදිසි මරණ පරීක්ෂකවරයාට බලතල නැහැ. ඒවා මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්විය යුතු යි."
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නේ කෙසේ ද?
"හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පවත්වනු ලබන මරණ පරීක්ෂණයකදී නම් අඩු ම වශයෙන් සාක්කි දෙකක්වත් කැඳවිය යුතු යි. එම සාක්ෂි විමසීම කාටවත් විරුද්ධව කරන එකක් නෙවෙයි. මරණ පරීක්ෂකවරයා කරන්නේ ඉන්ක්වෙස්ට් (INQUEST) එකක් මිස ඉන්ක්වයර් (INQUIRE) එකක් නෙවෙයි. සාක්කි විමසීමෙන් පසු මළ සිරුර කපා පරීක්ෂා කොට මරණයට හේතුව ප්‍රකාශ කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා," වෛද්‍ය රොහාන් පී. රුවන්පුර පැවසීය.
ඒ අනුව, මළ සිරුර කපා පරීක්ෂා කොට වාර්තාව මරණ පරීක්ෂකවරයාට ලබා දෙන අතර එවිට වෛද්‍යමය හා සිද්ධිමය හේතු මත මරණ පරීක්ෂකවරයා මරණය පිළිබඳ නිගමනය ප්‍රකාශයට පත් කරන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
හදිසි මරණ පරීක්ෂකවරයා මහේස්ත්‍රාත්වරයාට වගකිව යුතු අතර ඔහුගේ නිගමනය මත රෙජිස්ටාර්වරයා මරණ සහතිකය නිකුත් කරයි. මෙහිදි මාතෘ මරණ ද සලකන්නේ හදිසි මරණ ලෙසට ය.
"සමහර අවස්ථාවල මළ සිරුර කපනවාට ඥාතීන් කැමති නෑ. එවැනි අවස්ථාවල යම් යම් බලපෑම් පවා එනවා. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිසා ඒ පිළිබඳ පූර්ණ නිදහස අධිකරණ වෛද්‍යවරයාට තිබෙනවා. එය ඉතා ගැඹුරින් හා පරීක්ෂාවෙන් කළ යුතු යි. එසේ කළ යුතු වන්නේ එම වාර්තාව විශේෂඥ සාක්ෂියක් ලෙසට අධිකරණය පිළිගන්නා නිස යි."
මළ සිරුරු ගොඩ ගැනීම
ස්වාභාවික මරණයක් හෝ රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට තීරණය කිරීමෙන් පසු මිහිදන් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් පසු කලෙක මතු කෙරෙන සැකයන් හේතුවෙන් එම මළ සිරුරු ගොඩ ගැනීමට සිදු වෙයි. ඒ, මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝග මත ය.
එවැනි අවස්ථාවකදී මළ සිරුරක් ගොඩ ගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ඉදිරිපිටදී ය. නමුත් කලකට පසු ගොඩ ගන්නා ලද මළ සිරුරක් පිළිබඳව විස්තරාත්මක කරුණු දීමට අපහසු වන අතර ඊට හේතුව සාක්ෂි විනාශ වී තිබිම බව වෛද්‍ය රොහාන් පී. රුවන්පුර පැවසීය.
"පසුගිය කාලයේ එක්තරා ගමක වයසක පුද්ගලයෙක් මියගොස් හිටියා. ඔහු කලක් රෝගීව සිටි නිසා මරණය ස්වාභාවික මරණයක් ලෙසට ග්‍රාම සේවක සහතික කර තිබුණා. ඒ අනුව ඥාතීන් මළ සිරුර භූමදාන කිරීමට කටයුතු කර තිබුණා.මළ ගෙදරට ගිය පුද්ගලයෙක් මියගිය අයගේ බෙල්ලේ නියපොතු පහරවල් වැනි දෙයක් තිබෙනු දැක පොලිසියට දැනුම් දී තිබුණා. පසුව අධිකරණ නියෝග මත භුමදාන කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මළ සිරුර රෝහලට රැගෙන ආවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වුණා ගෙළ මිරිකීමකින් මරණය සිදුවෙලා තිබුණ බවට."
මරණයට හේතුව වැඩිදුරටත් සනාථ කර ගැනීමට අවශ්‍ය වූ විට පටක පරීක්ෂණ වෙන ම පවත්වන අතර වස විෂ පිළිබඳ විෂවේද පරීක්ෂණ සිදු කරයි.
ඊට අමතරව, රජයේ රස පරීක්ෂක වෙත සාම්පල් යවා පසුව ඒ සියලු ම වාර්තා සමාලෝචනය කොට මරණයට හේතුව ප්‍රකාශයට පත් කෙරේ. මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නේ, පොලිසිය යි. එමෙන් ම, මරණ පරීක්ෂණයක් පවත්වන්නේ ඥාතින් විසින් මළ සිරුර හඳුනාගත් පසුව ය. හඳුනා නොගත් මළ සිරුරු හඳුනා නොගත් ඒවා ලෙස සලකා කටයුතු කෙරේ.
පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ හැක්කේ කාට ද?
පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය හැක්කේ, එම්.බී.බී.එස්. සහතිකය ලත් වෛද්‍යවරයෙකුට පමණි. එහෙයින්, ග්‍රාමීය රෝහලක ග්‍රාමීය ප්‍රදේශයක හඳුනා නොගත් මරණයක් හෝ මිනී මැරුමක් හෝ අනතුරක් සිදුවූ විට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර ඒ සඳහා සුදුසු වෛද්‍යවරයෙකු සිටින රෝහලකට රැගෙන යා යුතු ය.
දශක කිහිපයකට පෙර හදිසි මරණයක් හෝ මිනී මැරුමක් සිදුවූ විට එම ස්ථානය ආසන්නයේ සිට මැස්සක මළ සිරුර තබාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණෙන තුරු පොලිසිය මළ සිරුර ආරක්ෂා කළ බව වෛද්‍යවරයා පැවසීය.
රාත්‍රි කාලයේ පහන් දල්වාගෙන පොලිසියේ තනියට ගමේ වැසියෝ ද එම ස්ථානයේ රැඳී සිටියහ. එහෙත් පසුව රටේ ඇති වූ කලබලකාරී තත්ත්වයත් සමග එය වෙනස් වී මළ සිරුර රජයේ රෝහලක් රැගෙන යාම සිදුවිය.
මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා නවීන උපකරණ ද දැන් ප්‍රධාන රෝහල්වල ඇතැයි විශේෂඥ වෛද්‍ය රොහාන් පී. රුවන්පුර පැවසීය.
"මළ සිරුර කපන්න කලින් ඒකේ උස මැනල සටහන් කර ගන්නවා. අවශ්‍ය වුණොත් බරත් කිරනවා. මළ සිරුර සෝදන්නේ අවශ්‍යතාවක් වුණොත් විතර යි."
මළ සිරුර කපා පරීක්ෂා කරන හැටි
පළමුව හිස් කබළ කපා මොළය ඉවතට ගෙන පරීක්ෂා කිරීමෙන් පසු උගුරේ සිට ලිංගේන්ද්‍රිය දක්වා ම විවර කොට අනෙකුත් ඉන්ද්‍රියයන් පිටතට ගෙන පරීක්ෂා කෙරේ. මරණයට හේතුව සොයා සටහන් කිරීමෙන් පසු මළ සිරුර යළි සැකසීමට පටන් ගනී. එය ද විශේෂ කටයුත්තකි. එහි බාහිර පෙනුමට හානියක් නොවන ආකාරයට එය සකසා ඥාතීන්ට බාර දිය යුතු ය.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමේදී තවත් වැදගත් කාර්යයක් වන්නේ, වසංගත රෝගවලින් මිය ගිය අයගේ සිරුරු කැපීමයි. ඒවා කැපිය යුත්තේ වෙන ම කාමරයක ය.ඒවා කැපිමේදී පැළඳිමට විශේෂ උපකරණ ද ඇත. වසංගත රෝගවලින් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට බාර දිය යුත්තේ සීල් තබා ය. එය සෞඛ්‍ය නීතිරීති යටතේ වසංගත රෝග විද්‍යාඥවරයාගේ උපදෙස් මත කෙරෙන කාර්යයකි. ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද දැනුවත් කෙරේ.
ඊට අමතරව අධිකරණයට සම්බන්ධ රෝගීන් පරීක්ෂා කිරීම, දූෂණයට ලක්වූ කාන්තාවන්, ළමා අපචාරවලට ලක්වූවන්,සාපරාධී ක්‍රියාවලට ලක්වීමෙන් රෝහල්ගත වූවන්, රිය අනතුරුවලට ලක්වූවන්, මත්පැන් පානය කළ රියැදුරන්, මානව හිමිකම් උල්ලංඝණය වූවන්, ඇතුළු අධිකරණයට සම්බන්ධ රෝගීන් පරීක්ෂා කිරීම සිදු කරනු ලබන්නේ ද අධිකරණ වෛද්‍යවරයා විසිනි.
'විවෘත තීන්දුවක්' කියන්නේ කුමක් ද?
විවෘත තීන්දුවක් යනු මළ සිරුරේ කොටස් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම ය. "ඒ කියන්නේ මූලික පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව නිශ්චිතව දීමට බැරි අවස්ථාවල පටකවේද පරීක්ෂණයට යවනවා. එහි වාර්තාව මාසයක් ඇතුළත ලැබෙනවා. ඒ වගේ ම මොළේ පටකත් පරීක්ෂණවලට යවනවා. එහි වාර්තාව ලැබෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා."
"ඒ වගේ ම විෂ වර්ග ශරීරගත වීමෙන් මරණය සිදුව ඇති බව මූලික පරීක්ෂණයේදී දැන ගත්තත් ඒවා රජයේ රස පරීක්ෂකටත් වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් යවනවා. ඒවායේ වාර්තා ලැබුණ පසු තමයි මරණයට හේතුව නිශ්චිතව ම ලබා දෙන්නේ. පිටරටවල නම් ජාන පරීක්ෂණත් සිදු කරනවා. නමුත් අපේ රටේ ජාන පරීක්ෂණ සිදු කරන්නේ නැහැ," යැයි කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් පී. රුවන්පුර වැඩිදුරටත් පැවසීය.