ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
1700කට මරණයේ දොරටු විවෘත කළ 'ගෝල්ඩන් ගේට්' පාලම
- Author, ප්‍රනාන්දු දුවර්තේ
- Role, BBC ලෝක සේවය
"පහළට පනින්න හිතාගෙන මේ පාලමට එන කිසිම කෙනෙකුට මැරෙන්න උවමනාවක් නැහැ. ඒ අයට දැනගන්න ඕන තමන්ට දයාවක් දක්වන්න කවුරු ම හරි ඉන්නවද කියන එක විතරයි "
ඒ, කෙවින් හයින්ස් ගේ මුවින් පිටවූ වදන් ය. ඔහු වසර 2000 දී ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) මතට පැමිණියේ ඉන් පහළට පැන දිවි තොර කර ගැනීමට ය. මේ පාලම පිහිටියේ ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ය.
දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූ 'කෙවින්' ඉන් මොහොතකට පෙර කීප දෙනෙකු විසින්ම දැක තිබුණි. එම ස්ථානයේ සිටි කාන්තාවකගේ ඡායාරුපයක් ගැනීමට පවා ඔහු උදව් කර තිබුණි.
දිවි නසා ගැනීමට තරම් වූ බරපතල ප්‍රශ්නයක පැටලී සිටින බවක් ඒ කිසිවෙකුට කෙවින්ගේ මුහුණින් නොපෙනුණි. කෙවින් පාලමෙන් පහළට පැන්නේය.
මීටර 75ක් පහළින් වූ, දැඩි ශීතලකින් යුත් ශාන්තිකර සාගර ජලයට වැටුණු 'කෙවින්' අදත් ජීවතුන් අතර සිටීම පුදුමයකි.
'ගෝල්ඩන් ගේට්' පාලම විවෘත කෙරුණේ 1937 මැයි මාසයේ දී ය. එදා මෙදා තුර එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700කට අධික බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.
ලොව වැඩිම වතාවක් ඡායාරූපගත කර ඇති ඉදි කිරීම ලෙසත්, වැඩිම පිරිසක් නරඹා ඇති පාලම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක් වූ 'ගෝල්ඩන් ගේට් පාලම'ය.
මෙම පාලම අසල ගැවසෙන ස්වේච්ඡා කණ්ඩායමක් සිටිති.
ඔවුන්ගේ රාජකාරිය දිවි නසා ගැනීම සඳහා පැමිණෙන අය අනුමාන කොට ඔවුන්ගේ දිවි බේරා ගැනීමට සහාය වීමය. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ඉතා සරල ක්රමයකි. ඒ ඔවුනට සවන් දීමය.
"දේවදූතයෝ"
2018 දී පමණක් 214 දෙනෙක් පාලමෙන් පැනීමට උත්සාහ කළහ. ඒ අනුව සෑම දින දෙකකට එක් අයෙකු එවැනි ප්රයත්නයක නිරතව ඇත.
කෙසේවුවද,දිවි බේරා ගැනීම සඳහා සිටින ස්වේච්ඡා කණ්ඩායමට සහ නීති ක්‍රියාවට නංවන්නන් ට ස්තුති වන්නට 2018 වසරේ පාලමෙන් පහළට පැනීමට අවස්ථාව ලැබී ඇත්තේ විසිහත් (27) දෙනෙකුට පමණි.
මියා මුනායර් සහ කෙවින් බ්‍රිග්ස් පසුගිය විසි වසර පුරා 'ගෝල්ඩන් ගේට්' ස්වේච්ඡා කාණ්ඩයට එක්ව සිටින දෙදෙනෙකි. මියා සහ කෙවින් මේ වන විට මරණයෙන් ගලවා ගෙන ඇති ජීවිත සංඛ්‍යාව සිය ගණනකි.
ඔවුන් දෙදෙනාම පොලිසියේ රැකියා කරන්නෝ වෙති.
කෙවින් බ්‍රිග්ස් සිය සේවා කාලය තුළ, දිවි නසා ගැනීමට උත්සාහ කළ දෙසීයකට (200)අධික පිරිසක් සමඟ කතාබස් කොට ඔවුන් මරණයෙන් ගලවා ගැනීමට සමත්ව ඇත.
මානසික රෝග
ලොව පුරා දිවි නසා ගැනීම් බහුලව වාර්තා වෙන අතර, වසරකට ලක්ෂ අටකට ආසන්න පිරිසක් දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි.
එක්සත් ජනපදයෙන් පමණක් 2017 දී දිවි නසා ගැනීම් 47,000ක් වාර්තා විය.
එවැනි දිවිනසා ගැනීම් සඳහා බලපාන හේතු විවිධ විය හැකිය.නමුත් දිවි නසා ගැනීම් සහ මානසික සෞඛ්‍යය අතර දැඩි සම්බන්ධයක් පවතී. මානසික විෂාදය (depression) ඉන් ප්‍රධාන වෙයි.
දිවි නසා ගැනීම්වලින් 90%කට පමණ හේතු වී ඇත්තේ මානසික රෝග හෝ කිසියම් ද්‍රව්‍යයක් අනිසි ලෙස භාවිතා කිරීම බව එක්සත් ජනපදයේ දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා වන SAVE සංවිධානය පවසයි.
විෂාදය (depression) සුව කළ හැකි මානසික රෝගයක් වුවද බොහෝ විට එය කෙලවර වන්නේ දිවි නසා ගැනීමෙනි.
"අපි සවන් දෙනවා"
මියා මුනායර් 2010 දී වාර්තා චිත්‍රපටයක් නැරඹුවාය. ඒ ගෝල්ඩන් ගේට් පාලමේ අඳුරු පැතිකඩ පිළිබඳව තැනුණු වාර්තා චිත්‍රපටයකි.
"තව තවත් මිනිස්සු මැරෙන එක නවත්වන්න මොනවා හරි කරන්න ඕන කියල මට හිතුන." ඇය බීබීසීයට පැවසුවාය.
2011 දී 'ඒන්ජල්ස්' (Angels) නමින් සංවිධානයක් පිහිටුවා ගත් ඇය, පාලම මත ගැවසෙන්නට පටන් ගත්තාය. ඇයගේ කණ්ඩායමට වෘත්තීය මට්ටමේ පුහුණුවක් ද ලැබිණ. දොම්නසට පත්ව ඇති කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ඔවුන් හොඳින් හදාරා ඇත.
'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායම ආදරවන්තයන්ගේ දිනය හෝ නත්තල් උදාව වැනි විශේෂිත දිනවල පාලම මත සැරිසරති.
'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායමට බැඳී ජීවිත බේරා ගැනීමට කැමති පිරිස් රැස් කර ගැනීමටත්, ඔවුනට මනා පුහුණුවක් ලබා දීමටත් මියා මුනායර් සිය පෞද්ගලික ධනයෙන් ඩොලර් 10,000කට අධික මුදලක් වැය කළාය.
"අපි මිනිස්සු එක්ක කතා කරනවා. ඔවුන් තනි වී නැති බව අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා."
"අපි සවන්දෙනවා. බොහෝ විට ඒක තමයි හොඳම ප්‍රතිචාරය." මියා පැවසුවාය.
කෙවින් බ්‍රිග්ස් පොලිස් සේවයේ යෙදී සිටි කාලයේ ඔහුගේ මුර සංචාරය දිනපතා කෙරුණේ ගෝල්ඩන් ගේට් පාලම ඔස්සේ වැටී තිබුණු මාර්ගයක ය.
පාලමෙන් පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ අයෙකු සමඟ ඔහුගේ රාජකාරිය පළමුවරට සිදු වුනේ 1994 දීය.
"මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද? කියල ඒ කාලේ අපිට නිල පුහුණුවක් ලැබිල තිබුණේ නැහැ. ඒ කාන්තාව පාලමේ කණුවක් දිගේ ඉහළට නගිමින් ඉන්නව දැක්කම මම භීතියට පත් වුනා." කෙවින් බ්‍රිග්ස් බීබීසීයට පැවසීය.
"දිවි නසා ගැනීමට තැත් කරන කෙකෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන මම කියවන්න පටන් ගත්තා."
පාලමෙන් පැනීමට උත්සාහ කළ දෙසීයකට (200) අධික පිරිසක් බේරා ගත් බ්‍රිග්ස් ගේ උත්සාහය අසාර්ථක වුයේ දෙවරක් පමණි.
"බේරා ගත්ත ජීවිතවලට වඩා මතකයට එන්නේ බේරා ගැනීමට නොහැකි වූ දෙදෙනා ගැන." ඔහු පැවසීය.
වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා පාලම දෙපස බාධක ඉදි කිරීම 2017 දී ආරම්භ විය.
එය පාලමේ දිගට එහි දෙපස ඉදි වන දැලකි. වියදම ඩොලර් මිලියන 200 කි. ඉදි කිරීම නිමාවීමට නියමිතව ඇත්තේ 2021 දීය.
දිවි නසා ගැනීම සඳහා ගෝල්ඩන් ගේට් පාලමෙන් පහළට පැනීමෙන් පසුව ජීවිතය බේරී ඇත්තේ කීපදෙනෙකුගේ පමණි. එම පාලමෙන් පහළට වැටෙන කෙනෙකු ජලය මතුපිට ට පතිත වන්නේ පැයට කිලෝ මීටර 140ක වේගයෙනි.
සැන් ෆ්රැන්සිස්කෝ හි හදිසි මරණ පරීක්ෂක කාර්යාලය පවසන පරිදි එවන් වේගයකින් ජලයට පතිත වීම මාරක අනතුරක් වීමේ ප්‍රතිශතය 95%කි.
දිවි බේරාගත් ස්වල්ප දෙනාගෙන් කීපදෙනෙක් තම අත්දැකීම සහ පසුතැවීම ප්‍රසිද්ධියේ කතා කර ඇත. දිවි තොර කර ගැනීමට ගත් තීරණය ගැන ඔවුන් සියලු දෙනා පශ්චාත්තාප වෙති.
ඒ මොහොතේ තමන් හා කතා කිරීමට කවුරුන් හෝ සිටියේ නම් දිවි හානිකර ගැනීමට තමා උත්සාහ නොකරනු ඇතැයි දිවි බේරුණ තැනැත්තෙක් CNN මාධ්‍යයට පැවසීය.
තවත් තොරතුරු;
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909