කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ ChatGPT Atlas බ්‍රව්සරය Google Chrome සඳහා අභියෝගයක් ද?

ගූගල් ක්‍රෝම් සහ ChatGPT Atlas ලාංඡන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

OpenAI මගින් ලොව ජනප්‍රිය ම බ්‍රව්සරය වන Google Chrome වැනි තරගකරුවන්ට අභියෝග කිරීම සඳහා නිර්මාණය කළ Atlas නමැති කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන නව වෙබ් බ්‍රව්සරයක් එළි දක්වා තිබිණි.

ChatGPT-නිර්මාපක සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා කරන ආයෝජනයෙන් මුදල් උපයා ගැනීමට සහ එහි වර්ධනය වන පරිශීලක පදනමෙන් ප්‍රයෝජන ගැනීමට නැවුම් ක්‍රම සොයමින් සිටින අතරතුර, Atlas ආගමනය සිදුව තිබේ.

මෙම මස මුලදී OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් අනාවරණය කළේ, මේ වන විට ChatGPT සඳහා සතිපතා මිලියන 800ක ක්‍රියාකාරී පරිශීලකයින් පිරිසක් සිටින බව සහ එය පෙබරවාරි මාසයේ පැවති මිලියන 400 සිට ඉහළ යාමක් බව ය.

Atlas සමග පාරිභෝගිකයින්ගේ බ්‍රව්සර් හැසිරීම් පිළිබඳ දත්ත රැස් කිරීමෙන් OpenAI පරිශීලකයින්ගේ මාර්ගගත ක්‍රියාකාරකම්වල තවත් අංශ වෙත තවදුරටත් ව්‍යාප්ත වනු ඇත.

මූලික විශේෂාංග මොනවා ද?

එදිනෙදා බ්‍රවුසින් කිරීම වෙත AI සම්බන්ධ කිරීම Atlasහි අරමුණ වේ.

ඇල්ට්මන්ට අනුව එය සාම්ප්‍රදායික ලිපින තීරුව (address bar) බැහැර කරන අතර "ChatGPT වටා ගොඩනගා ඇත.''

අන්තර්ගතය සාරාංශ කිරීමට, නිෂ්පාදන සංසන්දනය කිරීමට හෝ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා පරිශීලකයින්ට ඕනෑ ම පිටුවක ChatGPT sidebar එකක් විවෘත කිරීමේ හැකියාව පවතී.

ගෙවන ලද "agent mode" එකක් මගින් ChatGPT වෙත සෙවීම් සිදු කිරීමට සහ පරිශීලකයින් වෙනුවෙන් වෙබ් අඩවි සමග අන්තර් ක්‍රියා කිරීමට, සංචාර සැලසුම් කිරීම සහ මාර්ගගත සාප්පු සවාරි වැනි කාර්යයන් හැසිරවීමට ඉඩ සැලසේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය දා පැවති එළිදැක්වීමේදී OpenAI සංවර්ධකයින් ඇට්ලස් සංයෝග ක්‍රමයක් සොයා ගනිමින් පසුව සිල්ලර බඩු බෙදාහැරීමේ සහ පිකප් සේවාවක් ක්‍රියාත්මක කරන ඇමෙරිකානු සිල්ලර මාධ්‍ය සහ බෙදාහැරීමේ සමාගමක් වන Instacart හරහා අමුද්‍රව්‍ය මිල දී ගන්නා ආකාරය ප්‍රදර්ශනය කළේ ය.

Etsy සහ Shopify වැනි ඊ-වාණිජ්‍ය වේදිකා මෙන් ම Expedia සහ Booking.com ඇතුළු සංචාරක සේවාවන් සමග සිදු කරන හවුල්කාරිත්වයන් ද OpenAI මගින් නිවේදනය කර ඇත.

"විවිධ සබැඳි ඔස්සේ පිවිසීම වෙනුවට, ඒවාට පිවිස අදාළ වන්නේ කුමක් දැයි බැලීම සඳහා දැන් ඔබට [වෙබ්] පිටුවල අන්තර්ගතයේ සාරාංශයක් ඇති බැවින් Atlas වඩාත් පහසු යාන්ත්‍රණයක් වේවි (අනෙකුත් බ්‍රව්සර්වලට වඩා)" ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි කෘත්‍රිම බුද්ධි ආයතනයේ ප්‍රධානී මහාචාර්ය එලේනා සිම්පර්ල් පවසයි.

කෙසේ වෙතත්, ඇය අනතුරු අඟවන්නේ එම සාරාංශවල නිරවද්‍යතාව සැකසහිත විය හැකි බවට ය.

''සෑම චැට්බොට් එකක් සඳහා ම පවතින ගැටලුවක් වන්නේ, මෙම නව වර්ගයේ AI බ්‍රවුසරයට විශ්වාසදායක වෙබ් අඩවියක් ලියන ලද උපදෙසක් විශ්වාසදායක නොවන මූලාශ්‍රයක් විසින් ලියන ලද පාඨයකින් වෙන්කර පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීම යි," ඇය පවසයි.

එහි අවදානමක් තිබේ ද?

OpenAI සමාගම පවසන්නේ, එම සමාගම Atlas බ්‍රව්සරයට ආරක්ෂිත විධිවිධාන සැලසුම් කර ඇති බව ය. නමුත් පරිශීලකයින් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත හැකි නියෝජිත විශේෂාංගය තවමත් අවදානම්සහගත බව ද පවසයි.

මෙම ආරක්ෂණ ක්‍රියාවලිය යටතේ, බ්‍රවුසරයට කේත ක්‍රියාත්මක කිරීමට, ගොනු බාගත කිරීමට හෝ වෙනත් යෙදුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි අතර බැංකු වැනි සංවේදී අඩවිවල විරාම යෙදිය නොහැක. නිරාවරණය සීමා කිරීම සඳහා පරිශීලකයින්ට ලොග්-අවුට් න්‍යායේදී කාරකය ක්‍රියාත්මක කළ හැකි ය.

කෙසේ වෙතත් වෙබ් පිටු හෝ ඊමේල් තුළ සැඟව තිබෙන දෝෂ සහ ද්වේෂසහගත උපදෙස් ඇතුළු අවදානම් තවදුරටත් පවතින බව OpenAI අනතුරු අඟව‍යි. මේවා අනපේක්ෂිත ක්‍රියා හෝ දත්ත සොරකම් සඳහා හේතු විය හැකි ය.

සමාගම පවසන්නේ, එය පුළුල් පරීක්ෂණ සිදු කර ඇති බව සහ දුර්වලතා හඳුනාගැනීම (patch vulnerabilities) අඛණ්ඩව සිදු කරන බව ය. නමුත් තොරතුරු බෙදා ගැනීම සිදු කරන විට ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ වාසි අවාසි සලකා බලන ලෙස පරිශීලකයින්ට උපදෙස් ලබා දෙයි.

"අපි අපගේ ම තොරතුරු බොහොමයක් ප්‍රේරක සහ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය තුළ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට හෝ අපගේ දත්ත සුරක්ෂිතව තබා ගැනීමට හැකි බව මෙතෙක් පෙන්වා නැති සමාගමක් සමග බෙදා ගනිමින් සිටිනවා," මහාචාර්ය සිම්පර්ල් පවසයි.

''ඒක පාවිච්චි කරන එක ගැන ටිකක් බයක් දැනෙනවා,'' ඇය පැවසුවා ය.

Atlasහි 'බ්‍රවුසර් මතකයන්' විශේෂාංගයක් ද ඇතුළත් වන අතර එයට ඔබගේ බ්‍රවුසින් ඉතිහාසය මතක තබා ගැනීම සහ විමසිමක් සිදු කරන්නේ නම් සෙවුම් විස්තර පවා ආවර්ජනය කළ හැකි ය. කෙසේ වෙතත් Open AI පවසන්නේ මෙම විශේෂාංගය 'සම්පූර්ණයෙන් ම විකල්පයක් වන බව සහ ඔබ සැමවිට ම පාලනයේ සිටින' බව ය.

එය ගූගල් වෙත අභියෝග කරන්නේ කෙසේ ද?

ඉන්ටර්නෙට් භාවිත කරන්නන් විශාල සංඛ්‍යාවක් දැනටමත් ඔවුන් පිළිතුරු සහ නිර්දේශ සෙවීමේදී ChatGPT වැනි විශාල භාෂා ආකෘති (LLM) භාවිතය තෝරා ගනිමින් සිටිති.

Google වෙතින් සාම්ප්‍රදායික මූල පද මත පදනම් වූ ප්‍රතිඵල මත විශ්වාසය තැබීම වෙනුවට තොරතුරු සංස්ලේෂණය කරන සංවාද මෙවලම් වෙත පරිශීලකයින් වැඩි වැඩියෙන් යොමු වන බැවින්, Atlas හට AI මත පදනම් වූ සෙවුම දෙසට මෙම පුළුල් මාරුව වේගවත් කළ හැක.

පර්යේෂණ සමාගමක් වන ඩාටෝස් පැවසුවේ, 2025 ජූලි වන විට, ඩෙස්ක්ටොප් බ්‍රව්සර්වල සෙවුම් වලින් 5.99%ක් LLM වෙත යොමු වූ බව ය - එය වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

නමුත් ගූගල් ද AI සඳහා දැඩි ලෙස ආයෝජනය කර තිබේ, පසුගිය වසරේදී එහි සෙවුම් ප්‍රතිඵලවල විමසුම්වලදී AI-උත්පාදිත පිළිතුරු ප්‍රමුඛත්වය ගෙන තිබිණි.

iOS Chrome යෙදුමට Gemini ගෙන ඒමේ සැලසුම් සමගින් පසුගිය මාසයේදී Google එක්සත් ජනපද පරිශීලකයින් සඳහා එහි Gemini AI ආකෘතිය Chrome වෙත ඒකාබද්ධ කළේ ය.

''මම විශ්වාස කරන්නේ පළමු පරිශීලකයින් නව OpenAI බ්‍රවුසරය පරීක්ෂා කරයි කියලා" Moor Insights & Strategy හි ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන විශ්ලේෂක පැට් මුවර්හෙඩ් පැවසුවේය.

නමුත්, ඔහු පැවසුවේ ප්‍රධාන ධාරාවේ, ආරම්භකයින් සහ ව්‍යාපාරික පරිශීලකයින් ඔවුන්ගේ කැමති බ්‍රව්සර් මෙම විශේෂාංගය පිරිනමන තෙක් බලා සිටින බැවින් Atlas, Chrome හෝ Microsoft Edge වෙත බරපතළ අභියෝගයක් එල්ල කරනු ඇතැයි ඔහු සැක කළ බව ය.

මුවර්හෙඩ් පැවසුවේ, අද වන විට Microsoft Edge මෙම හැකියාවන් බොහොමයක් සපයන බව ය.

OpenAI හි ඇට්ලස් කරළියට පැමිණෙන්නේ, Google ඉන්ටර්නෙට් සෙවුමේ නීති විරෝධී ඒකාධිකාරයක් ඇති බව සොයා ගැනීමෙන් වසරකට පසුව ය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිඥයින් එම පිළියම සඳහා බලපෑම් කර තිබියදීත්, ගූගල්හි ආධිපත්‍යය මැඩපැවැත්වීම අරමුණු කර ගත් 2025 සැප්තැම්බර් මාසයේ තීන්දුවක් මගින් සමාගමට එහි Chrome බ්‍රව්සරය අක්‍රිය කිරීමට බල කිරීම නතර කළේ ය.

StatCounter වෙබ් අඩවියට අනුව තරගකාරීත්වය ඉහළ යමින් තිබියදීත් සැප්තැම්බර් මාසයේදී ගෝලීය බ්‍රව්සර් වෙළඳපොළේ 71.9%ක වෙළෙඳපළ කොටසක් සමගින් Google Chrome එහි ආධිපත්‍යය පවත්වාගෙන ඇත.

තවමත්, විශ්ලේෂකයින් පවසන්නේ OpenAI වෙතින් පැමිණෙන නව බ්‍රව්සරයක් ප්‍රචාරණ ඩොලර් සඳහා නව තරගයක් හඳුන්වා දිය හැකි බව ය.

''Browser එකකට කතාබස් එකතු කිරීම OpenAI සඳහා දැන්වීම් විකිණීම ආරම්භ කිරීම සඳහා වන පළමු පියවරක්, ඔවුන් තවමත් කර නැති දෙයක්. OpenAI වෙළඳ දැන්වීම් විකුණන්නේ නම් Google වෙතින් විශාල සෙවුම් දැන්වීම් මුදල් කොටසක් ලබා ගන්න පුළුවන්,'' D.A. Davidsonහි විශ්ලේෂක ගිල් ලූරියා පවසයි.

එය ලබා ගත හැක්කේ කවදා ද?

ChatGPT Atlas දැන් Appleහි MacOS මෙහෙයුම් පද්ධතියේ Free, Plus, Pro සහ Go පරිශීලකයින්ට භාවිත කළ හැකි ය.

Windows, iOS සහ Android සඳහා එම අත්දැකීම පසුව හඳුන්වා දෙන බව OpenAI පැවසීය.