ඉරාන නීතීඥයින් විරෝධතාකරුවන් මරණ දඬුවමින් ගලවාගැනීමේ ප්‍රයත්නයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
හිස් ආවරණය හරිහැටි පැළඳ නොසිටියේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මසා අමීනි නම් කුර්දි තරුණියගේ මරණයෙන් පසු ඉරානයේ ඇතිවූ ආණ්ඩු-විරෝධී උද්ඝෝෂණ මාලාව තුළ දී අවම තරමින් පුද්ගලයින් 30 000ක් අත්අඩංගුවට ගනු ලැබුණි. ඉරාන රෙජීමය දැවැන්ත මර්දනයක් දියත් කළ අතර, අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබේ.
උද්ඝෝෂණ සමනයට පත්වෙද්දී, රජය විවිධ කොන්දේසි මත පදනම්ව 22 000ක් පමණ දෙනා නිදහස් කළේ ය. එනමුත්, පුද්ගලයෝ 100කට අධික දෙනෙක් මරණීය දණ්ඩනයට හෝ ඒ හා සමාන චෝදනාවන් ලබා සිටිති. මෙවැනි සිදුවීම් හා කටයුතු කරන ඉරාන නීතිඥයින් කීපදෙනෙකුම සමග බීබීසීය කතාබහ කළේ ය. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු නම්ගම් වෙනස්කොට ඇති අතර, හඳුනාගැනීම වැළක්වීම සඳහා ඇතැම් තොරතුරු අපැහැදිලිව සඳහන්කොට ඇත.
භීතියෙන් විසීම
අමීන්, වසර 15කට වැඩි කාලයක් ඉරානයේ නීතීඥයෙකු ලෙස සේවයකර තිබේ. ඔහු ඉහළ පෙළේ දේශපාලන ක්‍රියාකාරිකයින් වෙනුවෙන් නිතර පෙනී සිට ඇති නිසාවෙන් බලධාරීන්ගේ තර්ජන හා කටයුතු කළ යුතු ආකාරය ගැන හොඳින් දනියි.
නමුත්, බුද්ධි කටයුතු අමාත්‍යංශය හෝ ඉස්ලාමික විප්ලවීය බලකාය (IRGC) යන බුද්ධි අංශය විසින් තමා නැවතත් අත්අඩංගුවට ගැනෙනු ඇතැ යි යන භීතිය තමා දැඩි සේ පෙළනබව, මුදු හඬින් කතා කරන මේ නීතීඥයා පවසයි.
වසර ගණනාවකට පෙර දී, ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සමයක බලධාරීන් අමීන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. පසුව, "රාජ්‍යයට එරෙහි ප්‍රචාරණ කටයුතුවල" නිරතවනබවට ඔහුට චෝදනා එල්ල කෙරිණි.
"මාව රඳවලා තිබ්බේ ආලෝක දූෂණය, ශබ්ද දූෂණය අධික කුටියක. ඒකට මගේ ඇඟ දක්වපු පළමු ප්‍රතිචාරය තමයි ඇස් අරින්න බැරි තරම් දරුණු ඔළුව කැක්කුමකුයි කරකැවිල්ලකුයි. ඊළඟට මට වමනෙ යන්න පටන්ගත්තා," අමීන් පවසයි.
"මට කාලය, අවකාශය ගැන දැනීම නැතිවෙලා ගියා. මට මලමුත්‍ර පහවෙන එක ගැන පාලනයක් නැතුව ගියා. උන් මට සිරින්ජ් එකක් අරන් මොනාද ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. උන් මාව ඉස්පිරිතාලෙ යවන්න කලින් මට ගැස්ම හැදුණා."
ඔහුට ඒ පීඩාවන්ගෙන් සුවපත්වී සාමාන්‍ය දිවියට එළැඹීමට වසර දෙකක් ගතවූබව ඔහු පවසයි. ඉරාන බලධාරීන් මීට ප්‍රථමව අමීන්ගේ චෝදනාවන් ප්‍රතික්ෂේපකර ඇති අතර, ඒවා "අසත්‍ය ප්‍රකාශයන්" ලෙස හැඳින්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත්, ගිය වසරේ දී "කාන්තාව, ජීවිතය, නිදහස" යන සමාජ ව්‍යාපාරය ඉරානයේ වීදි බැසීමත් සමග බලධාරීන් පුද්ගලයින් දස දහස් ගණනක් අත්අඩංගුවට ගත් අතර, තමාගේ විඳවීම පසෙකලා ඔවුනට සහායවිය යුතුබව අමීන් දැන සිටියේ ය.
අමීන්, විරෝධතාකරුවන් දස දෙනෙකුට වැඩි පිරිසක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇත. ඉන් එක් විරෝධතාකාරියකගේ අස්ථියක් ප්‍රශ්න කිරීම් අතරතුර දී බිඳීගොස් ඇති අතර, ඔවුන් ඇය "පාපොච්චාරණය කරවන්නට" තැත්කර ඇත.
නමුත් ඇගෙන් රුධිරය වහනයවීම ඇරඹි විට ඔවුන් රෑ මැදියමේ දීම ඇය රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටකරවා මාර්ගය අයිනට අත්හැර දමාගොස් තිබේ.
"දිගින් දිගටම තර්ජන ආපු නිසා, ඇගේ ඇටයක් කඩා දැමීම ගැන අදාළ බලධාරීන්ට පැමිණිලි කරන්නවත් අපට බැරිවුණා," අමීන් කියයි. මේ වන විට ඔහුගේ සේවාදායිකාවට එරෙහි සියලු චෝදනා ඉවත්කර ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Social Media
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරාන අධිකරණය පවසන්නේ සෑම පුරවැසියෙකුටම සාධාරණ නඩු විභාගයක් ලැබීම තහවුරුකර ඇතිබව යි. එය, විරෝධතාකරුවන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥයින් "විදෙස් බලවේගවල සාක්කුවල සිටිනබවට" චෝදනා කරයි.
බීබීසීය සමග කතාබහ කළ සියලුම නීතීඥයින් ප්‍රකාශ කළ පරිදි, සැප්තැම්බරයේ දී ආණ්ඩු-විරෝධී උද්ඝෝෂණ ඇරඹි දා පටන් ඔවුන්ට හා ඔවුන්ගේ සේවාදායකයින්ට එල්ලවෙන රාජ්‍ය හිරිහැර තීව්‍රවී තිබේ.
පසුගිය ඔක්තෝබරයේ දී, නීතීඥයෝ විශාල පිරිසක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන මධ්‍යම නීතීඥ සංගමය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වමින්, "පාලන තන්ත්‍රය විසින් පුරවැසියන්ගේ අයිතීන් දැඩිව උල්ලංඝනය කිරීමට එරෙහිව" විරෝධතා දැක්වූහ.
නොර්වේහි පදනම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන 'ඉරාන් හියුමන් රයිට්ස්' පවසන්නේ අවම වශයෙන් ස්වාධීන නීතීඥයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව යි.
"මේ ඉන්නේ වසර ගණනාවක් තිස්සේ අධිකරණයේ හිරිහැරයන්ට ලක්වුණු නීතීඥයො... ඔවුන් සරලවම ඔවුන්ගේ වෘත්තිමය රැකියාව යි සිදු කරන්නේ," 'ඉරාන් හියුමන් රයිට්ස්' ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
ගෙවුණු මාර්තුවේ දී, ඉරානයේ අධිකරණය ප්‍රසිද්ධ නීතීඥයෙකු වූ නීමත් අහමදිගේ බලපත්‍ර අවලංගුකොට, නීතීඥ වෘත්තියෙහි නියැලීමට ද ස්ථිරව තහනමක් පැනැවීය. ඒ වන විටත් ඔහු ඔහුගේ විශ්වවිද්‍යාල රැකියාවෙන් පහකර දමා තිබුණි. බලධාරීන් විසින් මීට හේතු ඉදිරිපත්ව නැති අතර ප්‍රකාශයක් ද නිකුත්ව නැත.
පසුගිය නොවැම්බරයේ ආණ්ඩු-විරෝධී උද්ඝෝෂණ මධ්‍යයේ, වෙනත් නගරයක අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් හා මරණයට පත්වූවන්ගේ පවුල් නියෝජනය කිරීම සඳහා ගුවන් ගමනක යෙදීමට සැරසෙමින් සිටි තවත් නීතීඥයෙකු වන මුස්තෆා නීලි ද අත්අඩංගුවට ගනු ලැබුණි.
'නරාවළක්'
ඉරානය තුළ, විත්තිකරුවන්ට නීතිමය නියෝජනයක් ලැබීම සඳහා අයිතිය තිබේ. නමුත් විත්තිකරුට එල්ලවී ඇති චෝදනාවන් වන්නේ "දෙවියන්වහන්සේට එදිරිවීම" හෝ "පෘථිවිය මත දූෂණය ඇතිකිරීම" නම් (මෙම චෝදනාවන් දෙකම මරණ දණ්ඩනයෙන් අවසන් විය හැකි ය), ඔවුන්ට ඔවුන්ගේ නීතීඥයා තෝරාගැනීමේ අවසරය අහිමිවෙයි.
ඒ වෙනුවට, අධිකරණය, අධිකරණ පද්ධතිය විසින් අනුමත කෙරුණු නීතීඥ ලැයිස්තුවකින් අයෙකු විත්තිකරු වෙනුවෙන් පත්කරයි. මෙය, චරපුරුෂ හෝ ඔත්තු බැලීම සම්බන්ධ නඩුවලට ද අදාළ ය.

ඡායාරූප මූලාශ්‍රය, Jamaran News Agency
දශක දෙකකට වැඩි කලක් නීතීඥවරියක ලෙස සේවයකර ඇති තක්ටෝම් පවසන්නේ, අධිකරණය නීති පිළිපැද ඇතැ යි පැවසීමට හැකිවීම සඳහා එය හුදෙක් නොසැලකිලිමත් ලෙස නඩු විභාග ඉක්මන් කරනු තමා අත්දැක ඇතිබවකි.
රජයේ අනුමත නීතීඥ ලැයිස්තුවේ නම් සඳහන් තැනැත්තන් මෙන් නොව, තක්ටෝම් ස්වාධීන නීතීඥවරියක ලෙස කටයුතු කරයි. පද්ධතිය තුළ ඇයට අවාසිදායක පසුබිමක් නිර්මාණයවී තිබුණ ද, ඇය තමාට නියෝජනය කිරීමට හැකි තැනැත්තන් උදෙසා අපක්ෂපාතී උපදෙස් ලබාදෙයි.
"තර්ජනවලට ලක්වෙන එක, බුද්ධි අංශවලින් කැඳවීම් ලැබෙන එක, අත්අඩංගුවට අරන් සිරගත කරන එක [නීතීඥයො මුහුණපාන] අභියෝගවලින් කීපයක් විතර යි," තක්ටෝම් කියයි. "සංස්ථාපිතයත්, රජයත් ඔබව දකින්නේ ඔවුන්ගේ විරුද්ධවාදියා විදියට. ඉතින් ඒක ලේසි නැහැ."
ස්වාධීන නීතීඥයින් සඳහා තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනබව ඇය පවසයි. "මේ දවස්වල උසාවිවල වාතාවරණය හරියට පණුවො පිරිච්ච නරාවළක වැඩ කරනවා වගෙ," තක්ටෝම් කියා සිටියි.
ඇය දැන්, උද්ඝෝෂණවලට සම්බන්ධවූබවට චෝදනා ලබා ඇති, අවසානයේ මරණ දණ්ඩනයට ලක්වීමේ අවදානමක පසුවන සේවාදායකයින් කීපදෙනෙකු වෙනුවෙන්ම පෙනී සිටියි.
ඉරානයේ නීති පද්ධතියට අනුව, යම් අධිකරණයක් මරණ දඬුවම ලබාදුන් පසු අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා එම තීන්දුව ඉහළ උසාවියකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයෑමට හැකි ය . එසේම, ශ්‍රේෂ්ඨාධිකරණය පවා මරණ දඬුවමට එකඟවුවත් එය ද අභියාචනය කිරීමේ හැකියාව පවතියි.
නමුත් තීන්දුවක් අභියෝගයට හෝ අභියාචනයට ලක්කිරීම සඳහා ඇති මේ කුඩා ඉඩකඩ තවදුරටත් හැකිළෙනු ඇතැ යි තක්ටෝම් බියෙන් පසුවන්නී ය. දැනටමත් උද්ඝෝෂකයින් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබේ.
"[ඉරාන] ඉස්ලාමික ජනරජය මරණ දඬුවම පාවිච්චි කරන්නේ බියගැන්වීමේ උපක්‍රමයක් විදියට," ඉරාන් හියුමන් රයිට්ස් පවසයි. "දීපව්‍යාප්ත උද්ඝෝෂණවලින් පස්සේ මරණ දඬුවම ම ලබාදෙන එක සැලකිය යුතු තරමින් වැඩිවීම මේකට හොඳ සාක්ෂියක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප කතා කළ සියලුම නීතීඥයින් පැවසූ පරිදි, නීතීඥ උපදෙස් ලබාගන්නවාට වඩා ස්වාධීන නීතීඥයෙකු නොමැතිව සිටීම වඩාත් වාසිදායක වනු ඇතැයි අධිකරණය විසින් විත්තිකරුවන්ට යෝජනා කළ අවස්ථා තිබේ.
මෙය, වඩාත් සැහැල්ලු හෝ බරපතල නොවන දඬුවමක් ලබාගැනීම සඳහා වන ඇඟවුමකි.
"මේ වගේ නඩුවල දි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි, සාමාන්‍යයෙන් විනිසුරුවරයා රෙජීමයට පක්ෂපාතී කෙනෙක් වෙන එක," තවත් නීතීඥයෙකු වන මුසාදික් පවසයි.
"ටෙහෙරාන්වල විප්ලවවාදී උසාවියෙ දි මට කීප වතාවක්ම කියල තියෙනවා, මේ වගෙ නඩුවල දී ලෝයර්කෙනෙක් හිටියත් නැතත් වෙනසක් සිද්ධවෙන්නෙ නැහැ කියලා," ඔහු වැඩිදුරටත් පවසයි.
"එක නඩුවක දී [විනිසුරෙක්] මට කිව්වා මම විත්තිකරු වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලා බලකළොත්, ඒගොල්ලො විත්තිකරුට වඩාත් බරපතල දඬුවමක් දෙන එක සලකා බලනවා කියලා."
තක්ටෝම් තවමත් අපේක්ෂාවන්ට එරෙහිව අපේක්ෂාවන් ගොඩනගමින්, විරෝධතාකරුවෙකු ඔවුන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත් කිරීම හෝ ඔවුන්ට ලැබෙන දඬුවම අඩුකර ගැනීම මඟින් තමන් පද්ධතිය පරදන වග සිතන්නී ය.
"නීතීඥයෙක් කොහෙත්ම නැතුව ඉන්නවට වඩා, නීතීඥයෙක් ඇතුව ඉන්න එක හොඳ යි," මුසාදික් කියයි.












