උත්සව සමයේ පැණි රස සහ තෙල් අධික ආහාර ගන්නා ඔබේ සෞඛ්‍යයට වැදගත් කරුණු 7ක්

Smiling woman serving roasted turkey to family at table

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

බොහෝ දෙනෙකු උත්සව සමයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැන සැලකිලිමත් වන්නේ ඉතා අවම වශයෙනි.

පැණි රස සහ තෙල් අධික ආහාර බොහෝමයක් මේ දිනවල දී අප ආහාරයට ගන්නා අතර ඉන් අපගේ ශරීරයට යම් බලපෑමක් සිදුවේ.

"උත්සව සමයේ දී අපිට ආහාර පාලනය කරගන්න අමාරුයි, ඒක උත්සව දවස් ටිකට සීමා කරගන්න එක තමයි වැදගත්," යැයි උත්සව සමයේ ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුතු ආකාරය ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමට විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවා ය.

මෙවන් උත්සව සමයක පැණි රස හෝ තෙල් අධික ආහාර ලබා ගැනීම මගහැරීම අපහසු අතර එවන් ආහාරවලින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම වන කර ගන්නා ආකාරය ගැන බීබීසී සිංහල සේවය සොයා බැලී ය.

1.දියවැඩියාව සහ කොලෙස්ටරෝල් ඇති අය කළ යුත්තේ කුමක් ද?

දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග සහිත පුද්ගලයන් ගැන මෙන් ම, එලෙස රෝගීන් නොවන සමාන්‍ය දිවි පෙවතක් ගෙවන අයවලුන් ද උත්සව සමයේ ප්‍රවර්ධන කරන ආහාර සම්බන්ධයෙන් මේ දිනවල සැලකිල්ලක් දැක්විය යුතු බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යාතනයේ, ආහාර හා පෝෂණ අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය සමග කතාබහකට එක්වෙමින් කියා සිටියා ය.

"තමන්ට දැනටමත් රෝගී තත්ත්වයක් තියෙන අය සාමාන්‍යයෙන් ආහාර ගැනීමේ දී සුළු ප්‍රමාණයක් ආහාරයට ගත්තට කමක් නැහැ, නමුත් ඒ දිනය ඇතුළත ඒක බැලන්ස් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ," ඇය පැවසුවා ය.

"අපි අද සීනි තියෙන කේක් කෑල්ලක් කනවා, එතකොට අපි දැනගන්න ඕනේ ඒකේ සීනි වැඩි ප්‍රමාණයක් තියෙනවා, එදා දවසේ ඊට අමතරව වෙන සීනි දාපු ආහාරයක් නොගෙන ඉන්න ඕනේ. එහෙම තමයි අපි ඒක සමතුලිත භාවයට පත් කරගන්නේ. ඊට අමතරව අධික තෙල්වල බැදපුවා කන්න වුණොත්, අපි එදා දවසේ අනිත් ආහාර වේල්වල තෙල් තියෙන කෑමවලින් වැළකී සිටින්න ඕනේ. ඒ දවස තුළ ඒක සමතුලිත කරගත්තොත් ඒකෙන් ලොකු ප්‍රතිවිපාකයන් එන්නේ නැහැ. මොකද පොඩි කාල සීමාවකදි කාපුවා ම ඒක ලොකුවට බලපාන්නේ නැහැ, නමුත් දෙසැම්බර් පටන් ගත්ත දවසේ ඉඳන් ජනවාරි වෙනකම්ම ඒ විදියට මාස ගාණක් ආහාරයට ගන්නවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ," ඇය පෙන්වා දුන්නා ය.

බෝ නොවන රෝගයක් නොමැති, සාමාන්‍ය දිවි පෙවතක් ගෙවන පුද්ගලයකු එවැනි ආහාර වේලක් ලබා ගතහොත් ශරීරය තුළින් ම එය පාලනය වන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරිය එවැනි පුද්ගලයන් සිටින කාණ්ඩ ගණන ඉතා අඩු බව පැවසුවා ය.

2.ප්‍රවර්ධනය කරන ආහාර ලබා ගැනීම සුදුසු ද?

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පෙන්වා දෙන්නේ උත්සව සමයේ ප්‍රවර්ධනය කරනු ලබන ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව යි. එලෙස ප්‍රවර්ධන කරනු ලබන බොහෝ ආහාරවල අධික ලෙස සීනි සහ තෙල් සහිත බව ද ඇය අවධාරණය කළා ය.

"තෙල් සහ සීනි අධික ආහාර තමයි මාකට් වෙන්නේ මේ කාල සීමාවේදී. තමන් ඒ ආහාර කොච්චර ආහාරයට ගන්නවා ද කියන එක ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත් ම වැදගත් වෙනවා. මොකද මේවායේ තියෙන තෙල් සහ සීනි ප්‍රමාණය අපි ගෙදර කන කෑමවලට වඩා අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අපිට බැලන්ස් කරගන්නත් බැරි තත්ත්වයකට පත් වෙනවා," ඇය පවසයි.

එවැනි ආහාර එක් වරක් ආහාරයට ගනු ලැබීම ගැටලුවක් නොවන මුත් එම ආහාර වැඩි ප්‍රමාණයක් කෑම වේලට එක්කරගනු ලැබුවහොත් එය ශරීරයට බලපෑම් කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

3.උත්සවය සමය අවසන් වූ පසු ආහාර රටාව කෙසේ විය යුතු ද?

උත්සව සමයක දී එවන් ආහාර ලබා ගත් පසුව එය සමතුලිත කරගන්නා ආකාරය ද විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැහැදිලි කළා ය.

"උත්සව සමය ඉවර වෙච්ච ගමන් අපි ගෙදරක තියෙන නිරෝගී ආහාර රටාවකට යන්න ඕනේ. ඒ නිරෝගී ආහාර රටාවක් කියන්නේ, අපි කියන්නේ පිඟානකින් තුනෙන් එකක් විතර බත් ප්‍රමාණයක් තියෙනවා, ඉතිරි තුනෙන් දෙක එළවලු වර්ග සහ පලා කොළ, ඊට අමතරව මස් හෝ මාළු වර්ගයක් එක්ක තමයි අනිත් තුනෙන් දෙක එන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ නිරෝගී ආහාර රටාවක් කියලා. ඊට අමතරව පලතුරු ජාති දෙකක්. ඒ විදිහේ නිරෝගී ආහාර වේලකට ගියා නම් අපේ වැඩි වෙච්ච ප්‍රමාණය අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා," ඇය පෙන්වා දෙයි.

4.සීනි හෝ කොලෙස්ටරෝල් පරික්ෂා කිරීම සුදුසු කුමන අවස්ථාවේ ද?

උත්සව සමය අවසන් වූ වහා ම රුධිරයේ සීනි හෝ කොලෙස්ටරෝල් පරික්ෂා කිරීම සුදුසු නොවන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරිය, සති දෙකක කාල සීමාවක නිරෝගී ආහාර වේල් ලබා ගැනීමෙන් පසුව රුධිර පරික්ෂා කිරීම සුදුසු බව කියා සිටියා ය.

"උත්සව සමය ඉවර වෙච්ච ගමන් ඒවා ටෙස්ට් කරන්න යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සති දෙකක් විතර සාමාන්‍ය ආහාර වේලකට ගිහිල්ල ඊට පස්සේ ටෙස්ට් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ."

"අනිත් රටවල අය ඩීටොක්ස් කියලා එහෙම තත්ත්වයකට යනවා. දැන් පර්යේෂණවලින් කියන්නේ එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ, ඒක ඉවර වෙලා සමාන්‍ය ආහාර වේලකට ගියා නම් මේ තත්ත්වය හරි යනවා කියලා," යැයි විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.

5.සීනි සහිත බීම සහ මත්පැන් පානය සිදු කළ යුත්තේ කොහොම ද?

සීනි සහිත බීම සහ මත්පැන් පානය ශරීරයේ සීනි මට්ටම වැඩි වීමට හේතුවක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස, උත්සව සමයේදී ඒවා භාවිතා කළහොත් ඉන් පසුව ස්වාභාවික පානවලට මෙන්ම ජලය වැඩියෙන් පානය කළ යුතු යැයි අවධාරණය කළා ය.

"සීනි බීම ප්‍රමාණය වැඩී මේ දවස්වල. අනිත් එක ඇල්කොහොල්. ඇල්කොහොල්වලත් ඇඟ ඇතුළේ සීනි හැදෙන තත්ත්වය වැඩි කරනවා. මේ දෙක තමයි අනිත් ලොකු ම ගැටලුව එන්නේ උත්සව සමයේ," ඇය පෙන්වා දෙයි.

"උත්සව දවස් දෙක තුනේ ඒවා පාවිච්චිය අවම කරගෙන ඊට පස්සේ පිපිඤ්ඤා යුෂවලට මින්ට් දාලා වගේ ස්වාභාවික පානයක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. අනිත් ඒවායින් මිදිලා වතුර විතරක් බොන්න පටන් ගන්න ඕනේ උත්සවය සමය ඉවර වෙච්ච ගමන් ම."

6.කුඩා දරුවන්ගේ ආහාර කෙලෙස විය යුතු ද?

නත්තල් සමයේ පැණි රස ආහාර රැසක් සකසන අතර කුඩා දරුවෝ ඒව කෑමට දැඩි රුචිකත්වයක් දක්වති. ඒ පිළිබඳව දෙමව්පියන් අවදානය යොමු කළ යුතු ආකාරය ද විශේෂඥ වෛද්‍යවරිය විස්තර කළා ය.

"අම්මලා බලන්න ඕනේ දරුවෝ පැණි රස කනවා නම්, අනිත් ආහාර වේල් ටික කොහොම ද, පැණි රස නැති, කෙදි වැඩිපුර තියෙන ආහාරයක් දරුවට දෙන්නේ කියලා. උදාහරණයක් විදියට ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා නම් බත් කෝප්ප භාගයක් දාලා, එළවලු කෝප්පයක් දාලා, ඒකට මස් හෝ මාළු කෝප්ප භාගයක් දානවා. අන්න එහෙම ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි හදලා දෙන්න ඕනේ, නැතුව බත් ගොඩක් වැඩියෙන් දාපු එකක් නෙමෙයි," ඇය පැවසුවා ය.

එළවලු යොදා ගැනීමේ දී තන්තු බහුල ගොටුකොළ, කංකුන් වැනි කොළ වර්ග මෙන් ම බෝංචි සහ කැරට් යොදා ගැනීම ද යොදා ගැනීම සුදුසු බවත් ඇය පැවසුවා ය.

7.වැඩිහිටියන්ගේ ආහාර රටාව සහ ව්‍යායාම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කුඩා දරුවන්ට මෙන් ම වැඩිහිටියන් ද තම ප්‍රධාන ආහාර වේල් පිළිබඳව මෙම කාල වකවානුවේ අවදානය යොමු කළ යුතු බවත්, කෙඳි බහුල ආහාර කෑම වේල් සඳහා එක් කර ගැනීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

"එළවලු දාපු සුප් එකක් වගේ හදාගන්න පුළුවන්. බත් වෙනුවට බතල වගේ ආදේශ කරන්න පුළුවන්, බතල වගේ ඒවා ෆයිබර් තියෙනවා. ගොඩාක් හොඳ කෑමක්," ඇය පවසයි.

"විශේෂයෙන් ම කහ බතල වගේ එක්ක, චිකන් හරි මාළු එක්ක කන්න පුළුවන්. බතල නැතිනම් අර්තාපල් පාවිච්චි කරන්න පුළුවන්. බත් කනවා නම් සුදු බත් නැතිව දුඹුරු පාට හාල් තියෙන බත් ගත්තා නම් හරි, අපේ තියෙන දේශීය හාල් වර්ග, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ වගේ බතක් පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට බත් එකෙන් අවශ්‍ය කෙදි ප්‍රමාණය ඒකෙන් ගන්න පුළුවන්."

උත්සවය සමයේ ශරීරයට ලබා ගන්නා සීනි ප්‍රමාණය දහනය වීමට අවම වශයෙන් පියවර දහ දාහකට වැඩි ප්‍රමාණයක් ඇවිදීම කළ යුතු බවත් කණ්ඩායම් වශයෙන් ඇවිදීමට යාම ද උත්සව සමයේ විනෝදයට මෙන් ම, ශරීර සුවතාවයට වැදගත් වනු ඇති බව විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා ය.

"තමන් දැනගන්න ඕනේ තමන් ආහාරයට ගන්නේ මොනවා ද, ආහාර පානවල තියෙන්නේ මොනවා ද, ඒක අද දවසේ බැලන්ස් කරන්නේ කොහොම ද කියන එක, ඒක තමයි වැදගත්," යැයි ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යාතනයේ, ආහාර හා පෝෂණ අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළා ය.