ඇමති බිමල් රත්නායක යටතේ සේවය කළ තවත් ආයතන ප්‍රධානියෙකු ඉවතට: හේතුව කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Ministry of Transport
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය සමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව දුම්රිය සමාන්‍යාධිකාරීවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දෙමින් කියා සිටියේ ය.
"ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමටත්, ඒ අනුව පුරප්පාඩු වන දුම්රිය සමානාධිකාරී තනතුරට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිලධාරි කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා," යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ධම්මික ජයසුන්ද ඉවත් කළේ ඇයි?
ධම්මික ජයසුන්දර දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූ කාරණා සම්බන්ධ ව බීබීසී සිංහල සේවය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් විමසීමක් කළේ ය.
"පරිපාලන ගැටලු ගොඩක් මතු වෙලා තිබුණා දිගට ම, කාර්යක්ෂමතාව නංවා ගැනීමේ අපහසුතා ටිකක් තිබුණා. ඒවත් එක්ක තමයි අපි තීරණය කළේ ඉවත් කරන්න ඕන කියලා."
'මට කියන්න දෙයක් නෑ': ධම්මික ජයසුන්දර යනු කවුද?
දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව ධම්මික ජයසුන්දරගෙන් ද බීබීසි සිංහල විමසීමක් කළ අතර ඔහු ඊට පිළිතුරු දුන්නේ, මෙලෙස ය.
"මට කියන්න දෙයක් නෑ. ඔයාල තීරණයක් ගන්න මම වැඩක් කළා ද නැද්ද කියලා. එච්චර යි."
මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී විදුලි ඉංජිනේරුවරයෙකු වන ධම්මික ජයසුන්දර රාජ්‍ය සේවයට මුල් වරට එක් වී ඇත්තේ, 2000 වසරේදී ය.
දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරුට ඉදිරිපත්ව තිබූ අයැදුම් පත් අතරින් වැඩි ම ලකුණු ලාභියා ලෙස ඔහු 2021 වසරේදී එම තනතුරට පත් කර තිබිණි.
ඉන්පසුව, 2022 වසරේ සිට වසර දෙක හමාරක කාලයක් ප්‍රවාහන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද ධම්මික ජයසුන්දර සේවයේ නිරතව සිට ඇත.
2024 දෙසැම්බර් මාසයේදී ඔහුව නැවත වරක් දුම්රිය සමාන්‍යාධිකාරී තනතුරට පත් කරන ලදී.
වැඩි ම ප්‍රධානීන් පිරිසක් ඉවත් වූයේ අමාත්‍ය බිමල් රත්නායකගේ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවලින් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය කාලය පුරාවට ම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ අමාත්‍යංශයට අයත් ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වූහ.
වත්මන් රජය පත්වීමෙන් පසුව එක් අමාත්‍යංශයකට අයත් ආයතනවලින් ප්‍රධාන තනතුරුවලින් වැඩියෙන් ම ඉවත් වූයේ හෝ ඉවත් කෙරුණේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන් බව නිරීක්ෂණය වේ.
එසේ ඉල්ලා අස්වන නිලධාරීන් ඇතැමෙකු වත්මන් ආණ්ඩුව යටතේ එම තනතුරුවලට පත්වීම් ලද පුද්ගලයන් වීම ද විශේෂත්වයකි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ මේ වසරේ ජනවාරි මාසයේදී ය.
සිව් වරක් එම මණ්ඩලයේ සභාපති ධූරය දැරූ ඔහු "අතිශය පෞද්ගලික කරුණක් නිසා ඉල්ලා අස්වූ" බව ඉල්ලා අස්වීමෙන් පසු බීබීසි සිංහල සේවයට පැවසීය.
පසුව ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ මහ නගර සභාවට තරග කළේ ය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති වෛද්‍ය රුවන් විජයමුණි පෙබරවාරි මාසයේදී තනතුරින් ඉල්ලා අස්වූ අතර ඔහු එම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය විසිනි.
මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ද එම තනතුරෙන් මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉල්ලා අස්වුණු අතර, පසුව ඔහු ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙස ආයතන ගණනාවක මුල් පුටු දැරූ නිලධාරීන් එම තනතුරු හැර යාම සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසිංහගෙන් කරුණු විමසා බැලී ය.
"ප්‍රවාහන වෛද්‍ය ඒකකයේ සභාපතිවරයා අයින් කළේ අපිට ගැටලු කීපයක් තිබුණා, එතන අර චිට් වගයක් මිල දී ගැනීමට ගැටලු තිබුණා ඔන් ද ස්පොට් ටෙස්ටින් කරන. ඒ වෙනුවට තමයි අපි පත් කළේ අලුත් සභාපති. RMV එකේ ජනරාල් අයින් කළා නමුත් ඒවා ඉතින් දැන් පේනවා. එයා අයින් කරලා මාස එක හමාරකට පස්සේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට පත් වෙනවා. ඔය වගේ ගැටලු එක්ක තමයි ඉවත් කිරීම් සිදුවෙන්නේ."
අඩුපාඩුකම් සහ ප්‍රතිපත්ති මෙන් ම ජනතාව බලපොරොත්තු වන ඉලක්කවලට යාමේ වේගය අඩු වීම වැනි කරුණු මත විකල්ප පුද්ගලයන් තනතුරු සඳහා පත් කිරීමට සිදුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.














