දුම්රිය රැකියා 'පිරිමින්ට පමණයි' ගැසට්ටුව සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකා දුම්රිය සේවයට ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා අද (අගෝස්තු 27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධික විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මෙම දැනුම් දීම සිදු කළා ය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව ය.
එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ද නීතිඥවරිය ඉල්ලා සිටියා ය.
ඒ අනුව, පෙත්සම යළිත් ඔක්තෝබර් මස 30 වන දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළහ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේ ජූලි 11 වන දා ය.
පෙත්සමේ සඳහන් වන්නේ කුමක් ද?
පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ජූනි මස 13 වන දා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබූ බව එදින (ජූලි 11) සඳහන් කළේ ය.
එම ගැසට් නිවේදනයේ අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව වෙනත් සුදුසුකම් යටතේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයැදුම් කළ හැකි බවට දක්වා තිබූ බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දුන් නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12 (1) සහ 12 (2) ව්‍යවස්ථා යටතේ පෙත්සම්කාර කාන්තාවන්ට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය සහ ලිංගිකත්වය මත වෙනස් ආකාරයේ සැලකිල්ලකට භාජනය නොකළ යුතු බව සඳහන් මූලික අයිතිය උල්ලංඝණය වන බව අවධාරණය කළේ ය.
එමෙන් ම, තමන් කැමති රැකියාවක් කිරීමට තිබෙන මූලික අයිතිය ද මෙම ගැසට් නිවේදනය තුළින් උල්ලංඝණය වන බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
'මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වනවා'
මේ තුළින් සිය සේවාදායකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, අදාළ ගැසට් නිවේදනයේ පිරිමි පුද්ගලයින්ට පමණක් මෙම තනතුරු සඳහා අයැදුම් කළ හැකි බවට සඳහන් කොටස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් රැකියා පිරිමින්ට පමණක් විවෘතව පැවතීම සම්බන්ධයෙන් 2025 ජූලි 01 වන දා බීබීසී සිංහල සේවය ලිපියක් පළ කළේ ය.














