ඇමෙරිකාවේ තීරුබදු බලපෑම අඩු කිරීමට ඉන්දියාවෙන් විශේෂ උපක්‍රමයක්

Customers holds rupee banknotes at a grocery store in Mumbai, India, on Saturday, Jan. 7, 2023. India is scheduled to release consumer price index (CPI) figures on Jan. 12. Photographer: Dhiraj Singh/Bloomberg via Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව GST අනුපාත මගින් එදිනෙදා භාවිත වන භාණ්ඩවල මිල පහළ යනු ඇත
    • Author, චෙරිලන් මෝලන්
    • Role, බීබීසී, මුම්බායි

පරිභෝජනය ඉහළ නැංවීම සහ අධික තීරුබදුවල බලපෑම අඩු කිරීම සඳහා ඉන්දියාව බොහෝ භාණ්ඩ සඳහා පනවා ඇති බදු අඩු කර තිබේ.

භාණ්ඩ හා සේවා බදු (GST) මණ්ඩලය පරිභෝජන බද්ද 5%ක් සහ 18%ක් ලෙස කාණ්ඩ දෙකක් යටතේ සරල කර ඇති බවත්, පෙර පැවති ස්ථර හතරේ ව්‍යුහය ඉවත් කර ඇති බවත් මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් බදාදා (සැප්: 03) පැවසීය. කෙසේ වෙතත්, සිගරට් වැනි භාණ්ඩ සඳහා වෙන ම 40%ක බද්දක් අය කෙරේ.

ආහාර ද්‍රව්‍ය, පාසල් උපකරණ සහ රක්ෂණ වැනි භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීමට නියමිත අතර ආනයනික මත්පැන් සහ සුඛෝපභෝගී මෝටර් රථවල මිල ඉහළ යනු ඇත.

මෙම නිවේදනයෙන් පසුව කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය නමුත් විශේෂඥයින් පවසන්නේ, බදු කප්පාදුව නිසා රජයට ඩොලර් බිලියන 6ක් දක්වා ආදායමක් අහිමි විය හැකි බව ය.

ඉන්දියාවේ උත්සව සමයට පෙර එනම් සැප්තැම්බර් 22 වන දින සිට නව බදු අනුපාත ක්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් ජනතාව වායුසමීකරණ, රූපවාහිනී ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ වැඩිපුර මිල දී ගන්නා කාලය මෙය යි. මිල ගණන් අඩුවීමත් සමග එම භාණ්ඩවල මිල විකුණුම් තවත් වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් බිලියන 12ක ආදායම් බදු සහනයෙන් පසුව මෙම බදු කප්පාදුව ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන්දියාවේ මහ බැංකුව ණය ගැනීමේ පිරිවැය අඩු කිරීමට පටන් ගෙන තිබේ.

කොටාක් සුරැකුම්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීපාල් ෂා පවසන්නේ, නව බදු කප්පාදුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60%ක් වන පරිභෝජනය ඉහළ නංවන බව ය.

"ඍජුව ම මේ නිසා ඉල්ලුම වැඩි වෙනවා, වැඩි භාණ්ඩ ගණනක් විකුණා ගැනීමට හැකි වන නිසා ඊළඟ කාර්තුවේදී වෙළෙඳුන්ගේ සහ ව්‍යාපාරවල ආදායම ඉහළ යනවා. ඒකෙන් උද්ධමනය අඩු කිරීමේ හැකියාව තිබෙනවා," ඔහු පැවසුවේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

භාණ්ඩ හා සේවා බදු අනුපාත අඩුවීම ඉන්දියාවේ ආර්ථිකය නංවනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, මෙම බදු මුදල මත යැපෙන ඇතැම් ප්‍රාන්ත ආදායම අහිමි වීම ගැන කනගාටුවට පත්ව සිටියි.

නමුත්, ඇතැම් ආර්ථික විද්‍යාඥයින් තර්ක කරන්නේ, පරිභෝජනය වැඩි දියුණු කිරීමෙන් මෙම පාඩු අවම කර ගත හැකි බවත් එමගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි බවත් ය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි 50%ක තීරු බදුවල බලපෑමෙන් ඉන්දියාව ආරක්ෂා කිරීමට ද ඔවුන්ට එය උපකාරී විය හැකි ය.

රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ඉන්දියාවට 25%ක තීරුබදු සහ අමතර 25%ක දඬුවම් බද්දක් පනවා තිබේ. ඉන්දියාව රුසියාවෙන් තෙල් මිල දී ගැනීම නතර නොකළහොත් තවත් "සම්බාධක" පැනවිය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

වසර අටකට පෙර හඳුන්වා දුන් GST බද්ද හරහා, අනුකූලතාව සහ ව්‍යාපාර කිරීමේ පිරිවැය සරල කිරීම සඳහා වක්‍ර බදු රාශියක් ප්‍රතිස්ථාපනය කළේ ය.

ඒකාකාර බදු ක්‍රමය ඉන්දියාවේ ආදායම වැඩි කිරීමට උපකාරී වී ඇති නමුත් එය ඕනෑවට වඩා බදු සීමාවන් සහ නිදහස් කිරීම් සමග සංකීර්ණ වීම හේතුවෙන් විශේෂඥයින්ගේ විවේචනයට ලක්ව ඇති අතර එය සරල කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.

නව භාණ්ඩ හා සේවා බදු ව්‍යුහය මෙම සංකූලතා බොහොමයක් ඉවත් කරනු ඇත.

අගෝස්තු 15 වන දින සිය නිදහස් දින කතාවේදී අගමැති මෝදි සාමාන්‍ය ජනතාවට සහ කුඩා ව්‍යාපාර සඳහා විශාල බදු සහන දෙන බවට පොරොන්දු විය. නව භාණ්ඩ හා සේවා බදු කප්පාදුව හරහා ඔහුගේ රජය එම පොරොන්දුව ඉටු කරන බවක් පෙනී යයි.

නව භාණ්ඩ හා සේවා බද්දට සිදු කරන වෙනස්කම් ගොවීන්ට, මධ්‍යම පන්තියට, කාන්තාවන්ට, තරුණයින්ට සහ කුඩා ව්‍යාපාරවලට උපකාරී වනු ඇතැයි මෝදී සිය X ගිණුමෙහි සටහනක් තබමින් පැවසුවේ ය.

සහය: මුම්බායිහි නිඛිල් ඉනම්දර්