ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂිත ඇප අයැදුම්පතට අධිකරණය දුන් තීන්දුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්: 12) නියෝග කළේ ය.
පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළව, සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ඉල්ලමින් ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ගොනු කර තිබිණි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා විසින් එම ඇප අයැදුම්පත සලකා බලනු ලැබූ අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිගනිමින් එම අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ගොනු කර තිබිණි.
මෙම ඇප අයැදුම්පත පසුගිය 6 වන දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (ඔක්: 12) අධිකරණය හමුවේ පෙනී සිට අදාළ කරුණු වාර්තා කරන ලෙස නොතීසි ද නිකුත් කෙරිණි.
මේ අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම සම්බන්ධයෙන්, දූෂණය සිදු කිරීම, ඊට ආධාර අනුබල දීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.






























