තංගල්ලේදී ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අපරාධයක් කිරීමට උත්සාහ කළ බවට හිමිනමකට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Reddit | Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අරමුණින් පැමිණ සිටින ප්‍රංශ ජාතික තරුණියක්, ඇයට තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් ලිංගික අපරාධයක් සිදු කිරීමට උත්සහ කරන ලද බවට චෝදනා කරයි.
එම තරුණිය සහ ඇගේ ජර්මානු ජාතික සහකරු විසින් තංගල්ල පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලට අනුව අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක්
මීට දින කිහිපයකට පෙර රෙඩිට් සමාජ මාධ්‍යයේ r/srilanka සබ්රෙඩිට් සමූහයේ පළ කර තිබූ සටහනක් බීබීසී සිංහල නිරීක්ෂණය කළ අතර එහි නිර්නාමිකව තමා මුහුණදුන් සිදුවීම සම්බන්ධයෙන් එම කාන්තාව සඳහා කර තිබිණි.
ඇය සම්බන්ධ කරගැනීම සඳහා බීබීසී සිංහල උත්සහ කළ ද එම සමූහයේ නීතිරීතිවලට අනුව එම සටහන තැබූ පුද්ගලයා සම්බන්ධ කරගැනීමේ හැකියාවක් නොමැති විය.
ඉන්පසුව නැවත වරක් ඔවුන් ඔක්තෝබර් 07 වන දින Sri Lanka Tourism & Travel Guide නමැති ෆේස්බුක් සමූහයක ඔවුන් මුහුණදුන් අත්දැකීම විස්තර කර තිබිණි.
ඒ අනුව, ඔවුන් සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල වෙත හැකිවූ අතර ඔවුන් මුහුණදුන් අත්දැකීම ඔවුහු අප වෙත විස්තර කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Tourism & Travel Guide | Facebook
තරුණිය පවසන්නේ කුමක්ද?
මෙම සිදුවීමට මුහුණ පෑ බව කියන 32 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාව පසුගිය ඔක්තෝබර් 02 වන දින ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට මිනිත්තු 10කින් පමණ ළඟා විය හැකි දුරකින් පිහිටි විහාරස්ථානයකට භාවනා කිරීමේ අරමුණින් ගිය බව පවසයි.
ඉන්පසුව ඇයට භාවනා කිරීමේ කුටියක් සොයාගැනීමට නොහැකි වූ නිසා ඇය ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ හිමිනමකගෙන් විමසා තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්පසුව ඇය මුහුණ පෑ බව කියන සිදුවීම ඇය අප වෙත මෙසේ පැහැදිලි මෙසේය.
"මට භාවනා කරන හෝ වන්දනා කරන ස්ථානය හොයා ගන්න බැරි වුණ නිසා, මම භික්ෂූන් වහන්සේ නමකගෙන් ඒ පිළිබඳව විමසුවා. උන්වහන්සේ මා සමග එන ලෙස පවසා, විශාල බුද්ධ ප්‍රතිමාවක් සහිත කුඩා ගොඩනැගිල්ලක් වෙත මා කැඳවාගෙන ගියා. එම ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් වසා තබන එකක් බවට පෙනී ගියා...
[ගොඩනැගිල්ල] ඇතුළතදී එම භික්ෂුව මගේ පිටුපසින් ම ඉතා ළඟට ආවා, ඔහු හුස්ම ගන්නවා මට දැනුණා. මට අපහසුතාවක් දැනුණු නිසා මම එම කාමරයෙන් පිටතට ආවා. ඉන්පසු වන්දනා කරන කාමරය වෙනත් තැනක බව පැවසූ ඔහු, නැවතත් තමා පසුපස එන ලෙස මට කිව්වා. ඔහු දිගු, අඳුරු කොරිඩෝවක් ඔස්සේ මා ගොඩනැගිල්ලේ තවත් ඇතුළතට එක්කගෙන ගියා.
මට දැනුණු අපහසුතාවය එන්න එන්න ම වැඩි වුණ නිසා, ආපසු හැරී එළියට යන්න මම තීරණය කළා. එතකොට එම භික්ෂුව මගේ පස්සෙන් දුවගෙන ඇවිත් මගේ මැණික් කටුවෙන් අල්ලා ගත්තා. මම පොරබදලා බේරුණා.
මම ගොඩනැගිල්ලෙන් එළියට යන්න දුවගෙන ගියා. ඔහු කෙළින් ම මගේ පස්සෙන් දුවගෙන ඇවිල්ලා නැවතත් මාව අල්ලගත්තා. මම මහ හයියෙන් කෑගහන ගමන් ගැලවී යන්න උත්සාහ කළා. "ෂට්, ෂට් / චට්" කිය කිය ඔහු නැවත නැවතත් මට නිශ්ශබ්ද කරන්න හැදුවා. ඔහු මාව බිත්තියකට තද කරලා, මගේ උරහිස බිත්තියට තද වන සේ රඳවාගෙන මම එතනින් එළියට යන එක නැවැත්වුවා.
මට හැකි උපරිමයෙන් මම පොරබදා සටන් කළා, අවසානයේදී ඔහුගෙන් ගැලවිලා ගොඩනැගිල්ලෙන් පිටතට යාමට සමත් වුණා. ඔහු මගේ පස්සෙන් එළියට ආවේ නෑ."
ඉන්පසුව ඇය වහා ම ඇයගේ 32 හැවිරිදි ජර්මානු ජාතික සහකරුට දුරකතනයෙන් අමතා සිදුවූ දේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන්පසුව ඔහු ස්කූටරයකින් එම ස්ථානයට පැමිණ තිබේ.
"අදාළ භික්ෂුව හඳුනා ගැනීම සඳහා අපි නැවත පන්සලට ගිය විට, ඔහු මගේ සහකාරයා දැකලා පැනලා ගියා. අපි පොලිසියට දැනුම් දුන්නා, නමුත් පොලිසිය පන්සලට නොපැමිණි නිසා අවසානයේ අපිම පොලිස් ස්ථානයට ගියා," එම කාන්තාව පවසයි.
"පොලිස් ස්ථානයේදී මම මගේ ප්‍රකාශය ලබා දුන්නා, එම භික්ෂුව මා දූෂණය කිරීමට උත්සාහ කළ බවට විශ්වාස කළ නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව පැහැදිලිවම ප්‍රකාශ කළා. අනාගතයේදී ඔහු නිසා මෙවැනිම තත්වයකට මුහුණ දීමට ඉඩ ඇති වෙනත් කාන්තාවන් ගැනත් මම කනස්සල්ලට පත්ව හිටියේ."
ඔවුන් චෝදනා කරන්නේ පොලිසියේදී විහාරාධිපති හිමි සහ පොලිසිය විසින් ඔවුන්ට එම පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස පවසන බවක් දැනුණු බව ය.
"සංචාරකයෙකු ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට වසර ගණනාවක් ගත විය හැකි නිසා, අදාළ භික්ෂුවට සමාව ඉල්ලීමට හෝ ඔහුව නැවත ඔහුගේ පවුල වෙත යැවීමට පුළුවන් කියලා කිව්වා. එම භික්ෂුව "අසනීප" තත්ත්වයක පසුවන බවත් ඔහුට බෙහෙත් කරන්න අවශ්‍ය බවත් විහාරාධිපති භික්ෂුව මට කිව්වා."
"අවසානයේදී එම භික්ෂුව සොයාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආවා. ඔහු මාව දැකලා හිනා වුණා. ඔහුව දැකපු ගමන් මගේ සහකරුට තරහා ගියා. ඉන්පසු පොලිසිය මගේ සහකරුගේ හැසිරීම ගැන අවධානයක් යොමු කරන්න ගත්තා. පොලිස් ස්ථානයේ ඇති CCTV දර්ශන පරීක්ෂා කරන බව ඔවුන් අපට කිව්වා. මම දන්න විදිහට එතන CCTV තිබුණේ නැති නිසා එහෙම රෙකෝඩින් එකක් තියෙන්න බෑ."
"පසුව එම භික්ෂූන් වහන්සේ ප්‍රකාශයක් කළා, තමන් සිදු කළේ තම සිවුර සකස් කර ගැනීමක් හෝ එය එහාට කිරීමක් පමණක් බවත්, ඒ අතරතුර අහම්බෙන් මාගේ ශරීරයේ ගෑවුණු බව. මේක මාගේ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් එකක්."
සැකකාර භික්ෂුව අධිකරණයට
මෙම සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සිදු කළ විමසීමකදී තහවුරු කළේ ය.
"සිද්ධිය වෙලා තියෙන්නේ 2026.10.02. ප්‍රංශ ජාතික කාන්තාවක්. ඇය ගිහින් තියෙනවා කදුරුපොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයකට සිරි නරඹන්න. ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ හිටපු හිමි නමගෙන් අතවරයක් සිද්ධ වෙලා තියෙනවා මේ කාන්තාවට. ඉන්පසුව විදේශ ජාතික කාන්තාව තංගල්ල, ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කරලා තියෙනවා," පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ තොරතුරු ලබා දුන් නිලධාරිනිය ප්‍රකාශ කළා ය.
"ඉන්පසුව එදින ම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉන්පසුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරලා ඇප මත නිදහස් කරලා තියෙනවා එදා.ඉන්පසුව 2026.10.07 දින නැවත තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරලා ඇප මත මුදාහැරලා තියෙනවා."
මෙම නඩුව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී 2027 පෙබරවාරි 02 දින නැවත කැඳවීමට නියමිත ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? පහත අංක අමතා සහය ලබා ගන්න.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
- දුරකතන අංකය - 011-2444444
- හදිසි ඇමතුම් අංකය - 109



































