ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය 2024 : ඔබ මේ කරුණු දැන සිටියා ද?
- Author, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම සහ බීබීසී සිංහල
- Role, නව දිල්ලිය සහ කොළඹ සිට
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ.
මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන් අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු විය.
එහිදී, පුළුල් විරෝධතා ඇති වූ අතර, එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.
ආණ්ඩුවේ ව්‍යුහය
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ අර්ධ-ජනාධිපති රාමුවක් තුළ වන අතර එහිදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයෙකු සහ අගමැතිවරයා විසින් යෝජනා කරන ලද කැබිනට් මණ්ඩලයක් සමග වැඩ කරන අතර ජනාධිපතිවරයා විධායක බලයක් දරයි.
ඡන්දය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජනපතිවරයෙකු තෝරා ගැනීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබති.
50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි. ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා තිබේ.
ඒ, කිසිදු අපේක්ෂකයෙකු 50%ක ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන වර ඡන්දය ගණනය කිරීමෙන් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ය.
ප්‍රධාන අපේක්ෂකයින් කවුද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා විය. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරයි.
ඊට අමතරව, ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් වන්නේ, සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ය.
ජනාධිපතිවරණය අබිමුව ඇති අභියෝග
එක් එක් දිස්ත්‍රික්කය අනුව ලියාපදංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව
මිලියන 17ක් වන ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද දායකයින් අතරින් වැඩි ම ඡන්ද දායකයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර, කොළඹ සහ කුරුණෑගල දෙවන සහ තෙවන ස්ථානවල පසු වෙයි.
මිලියන 17ක සමස්ත ඡන්ද දායකයින් අතරින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇත්තේ, බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමිනි.
ආර්ථික තත්ත්වය කෙබඳු ද?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වයත් සමග බදු සංශෝධන හා දුර්වල ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් තවදුරටත් බිඳ වැටිණි.
රට බංකොලොත්භාවයට පත් වීමත් සමග රජය ලබාගෙන තිබුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් හරහා මේ වන විට ශ්‍රී ලංකාවට ණය වාරික තුනක් හිමිව තිබේ.
රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම උදෙසා වක්‍ර බදු පමණක් නොව ඍජු බදු ද රජය විසින් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමනු ලැබ තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය කෙබඳු ද?
ජූනි මාසයේදී පමණක් සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එය 2023 වසරේ ජූනි මාසයේ සංචාරකයින්ගේ පැමිණීමට සාපේක්ෂව 13%ක වර්ධනයකි.
එවැනි වර්ධනයක් පැවතිය ද, එම අගය, 2018 වසරේ ජූනි මාසයේදී පැවති ලක්ෂ 1.4ක් වූ සංචාරකයින් සංඛ්‍යාවට වඩා පහළ අගයක පවතී.
ශ්‍රී ලංකාව, මෙම වසරේ මුල් භාගයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ චීනය යන රටවල සංචාරකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් අත්විඳි අතර, මෙම රටවල් ඉහළ ම ජාත්‍යන්තර වෙළෙඳපළ 5 බවට පත් විය.
ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය කුමක් ද?
දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ (Reporters Without Borders) ආයතනය වාර්ෂිකව පළ කරන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ 2024 වාර්තාව අනුව රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, 150 වන ස්ථානය යි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව 135 වන ස්ථානයේ පසු වූ අතර, මෙවර ස්ථාන 15කින් පසුබැස තිබේ.
මෙම දර්ශකය 2002 වසරේ සිට ප්‍රංශය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන දේශසීමා විරහිත මාධ්‍යවේදියෝ ආයතනය විසින් පළ කරනු ලබන ශ්‍රේණිගත කිරීමකි.
ශ්‍රී ලංකාවේ දූෂණ දර්ශකය කෙබඳු ද?
2023 වසරේ දූෂණ සංජානන දර්ශකයේ (CPI) රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 115 වන ස්ථානයේ ය. පසුගිය වසරේ ශ්‍රී ලංකාව 101 වන ස්ථානයේ පසු විය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නිකුත් කරන ලද දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලකුණු 34/100ක් හිමි කරගෙන තිබේ.
දූෂණ සංජානන දර්ශකය රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් සැලකිල්ලට ගනිමින් ලෝකයේ රටවල් 180ක ශ්‍රේණිගත කරයි. මෙහිදී, 0 (අතිශයින් දූෂිත) සිට 100 (ඉතා යහපත්) දක්වා ලකුණු මට්ටම් ලැබේ.