ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පක්ෂ විනය කඩ කිරීම නිසා අධිකරණ නියෝග වලින් මන්ත්‍රී ධුර අහිමි වූ මන්ත්‍රීවරු කවුද?
1978 වසරේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසුව දේශපාලන පක්ෂවල විනය කඩ කිරීමේ චෝදනා මත අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේ මන්ත්‍රි ධුර අහිමි කර ඇත බව අධිකරණ වාර්තා පිරික්සීමේදී පෙනී යයි. එලෙස මන්ත්‍රී ධුර අහිමි වූ මන්ත්‍රීවරු කවුද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙරපීමේ නීතිමය ප්‍රතිපාදන
යම් දේශපාලන පක්ෂයක් විසින් තම පක්‍ෂයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය නෙරපා හරින ලද අවස්ථාවක එම නෙරපීමේ ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය පිරික්සීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබේ.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ " 99(13) අ" දරන ව්‍යවස්ථාවේ මේ පිළිබඳ නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ.
එම ව්‍යවස්ථාවට අනුව යම් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කළ දින සිට මසක් ගතවීමෙන් පසුව ඔහුගේ මන්ත්‍රී ධුරය හිස්වන බව සඳහන් කර ඇත.
එසේ පක්ෂ සාමාජිකත්වය නෙරපා හරින ලද දිනයේ සිට මසක් ඇතුළත එම නෙරපා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව විභාගයක් පවත්වන ලෙස ඉල්ලා එම මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතී.
එම පෙත්සම ඉදිරිපත් වූ දින සිට මාස දෙකක් තුළ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයක් පවත්වා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුය.
අදාළ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවේ සිට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිස් වන බවත් අදාළ ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ.
මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන
උතුරු නැගෙනහිර යුද්ධයට විසඳුමක් වශයෙන් පළාත් සභා හඳුන්වා දෙමින් හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් 88 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දුන්නේය.
එම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් තේරී පත්ව සිටි මහින්ද යාපා අබේවර්ධන (වත්මන් කථානායකවරයා) සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන යන මහත්වරුන්ට එරෙහිව පක්ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලදී.
එම විනය පරීක්ෂණය අවසානයේදී මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍රකුමාර විජේ ගුණවර්ධන විසින් පක්ෂ විනය කඩ කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය.
ඉන් අනතුරුව තමන්ව පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාළ මන්ත්‍රීවරු දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.
එම පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එක්සත් ජාතික පක්ෂය විසින් මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවට තීන්දු කළහ.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ මන්ත්‍රීධූර අහිමි විය.
ගාමිණී දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනෙකු නෙරපීම
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ එවක අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණි දිසානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට මුල්වී ක්‍රියා කළහ.
එම සිද්ධිය තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි , ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න , සමරවීර වීරවන්නී, චන්ද්‍රා ගංකන්ද , ප්‍රේමරත්න ගුණසේකර, වින්සන්ට් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනෙකුට එරෙහිව විනය පරීක්‍ෂණයක් කරන ලදී.
එම විනය පරීක්‍ෂණයේදී අදාළ මන්ත්‍රීවරු පක්ෂ විනය කඩ කර ඇති බවට තීන්දු කෙරුණු අතර ඉන් අනතුරුව ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කළේය.
ඉන් අනතුරුව තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගාමිණී දිසානායක, ලලිත් අතුළත් මුදලි ඇතුළු මන්ත්‍රීවරු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළහ.
එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ගාමිණී දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවත් ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වී යන බවත් 1991 වසරේ තීන්දු කළේය.
ආරියරත්න ජයතිලක සහ ඒ.එස්.මුතුබන්ඩා
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයට සහයෝගය පළ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කළ ආරියරත්න ජයතිලක සහ ඒ.එස් මුතු බණ්ඩා යන මන්ත්‍රීවරුන්ට එරෙහිව එම පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී.
එම විනය ක්‍රියාමාර්ග අවසානයේදී අදාළ මන්ත්‍රීවරු දෙදෙනා පක්ෂයේ විනය කඩ කර ඇති බවත් ඒ අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කිරීමටත් එක්සත් ජාතික පක්ෂය විසින් තීන්දු කරන ලදී.
තමන්ට සාධාරණ පරීක්ෂණයක් ලබා නොදී පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ආරියරත්න ජයතිලක සහ මුතු බණ්ඩා යන මන්ත්‍රීවරු දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.
එම පෙත්සම්, විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණ නීත්‍යානුකූල බව 1992 වසරේ තීන්දු කළේය.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහිමි විය.
රාමේශ්වරන් හා රාම මූර්ති
1994 වසරේ පැවති මහ මැතිවරණයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. සංවිධානය යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරග වැදුනේය.
එම පක්ෂය සඳහා ආර්. රාමේශ්වරන් සහ ආර්. රාම මූර්ති යන දෙදෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් තේරී පත් වූහ.
පසුව එම මන්ත්‍රීවරු දෙදෙනා පක්ෂ නායකත්වය විසින් ගනු ලබන තීන්දු වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා පක්ෂ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඊ.පී.ඩී.පී සංවිධානය ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට තීන්දු කළේය.
ඒ අනුව සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ඊ.පී.ඩී.පී සංවිධානය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා රාමේශ්වරන් සහ රාම මූර්ති යන මන්ත්‍රීවරු දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.
ඒ පිළිබඳව විභාගයක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ඊ. පී.ඩී.පී සංවිධානය ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බව තීන්දු කළේය.
ඒ අනුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනාගේ මන්ත්‍රී ධූර අහෝසි විය.
අමාත්‍ය නසීර් අහමඩ්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී වත්මන් රජයට එක්ව අමාත්‍ය ධූරයක් ලබා ගැනීම තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි නෙරපන ලද හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීන්දු කර තිබුණි.
2021 වසරේ එවක ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීන්දු කර තිබියදී මන්ත්‍රී නසීර් අහමඩ් රජය සමග එක්ව අදාළ පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ තුළින් නසිර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ විනය සහ ප්‍රතිපත්ති උල්ලංඝණය කළේ යයි චෝදනා කරමින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම කොංග්‍රසය විසින් තීන්දු කරන ලදී.
මුස්ලිම් කොංග්‍රසය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නසිර් අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ නසිර් අහමඩ් මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නීත්‍යානුකූල ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය ගනු ලැබූ තීරණය නීතිය ඉදිරියේ වලංගු බවත් ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.
මනුෂ නානායකාර සහ හරීන් ප්‍රනාන්දු
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය (අගෝස්තු 9 වැනිදා) තීන්දු කළේය.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.
අචල වෙංගප්පුලි, විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තමන්ට සාධාරණ විනය පරීක්‍ෂණයක් සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුන් බවත් ඒ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝණය වන බවත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරන්ට ඉදිරිපත් කළ පෙත්සමෙන් පැමිණිලි කර තිබුණි.
එහෙත් එම තර්කය පිළිගත නොහැකි බව සඳහන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම්කරුවන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවත් සඳහන් කළේය.
ඒ අනුව ගාස්තු රහිතව අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා පැවසීය.
‘මන්ත්‍රී ධුර අහෝසි වෙනවා’
මෙම තීන්දුව පිළිබඳව අදහස් පළ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශාරදයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ මෙම තීන්දුවත් සමගම හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වන බව ය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව මෙම මන්ත්‍රී දුර අහෝසි වෙනවා. ඒ අනුව මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මහජන චන්දයෙන් තේරී පත්වූ අයෙකු බැවින් ඔහු තේරී පත් වූ දිස්ත්‍රික්කයේ ලැයිස්තුවේ සිටින ඊළඟ වැඩිම මනාප ලැබූ අපේක්ෂකයා පුරප්පාඩු වූ මෙම මන්ත්‍රී ධුරයට තේරී පත්වෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පත්ව සිටියේ ජාතික ලැයිස්තුවෙන්. එම නිසා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය සඳහා ඇතිවෙන පුරප්පාඩුව වෙනුවෙන් සුදුසු අයකු නම් කිරීමට පක්ෂ මහ ලේකම්වරයාට බලය පැවරෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න සඳහන් කළා.