චීනය ප්‍රදර්ශනය කළ නව අවි ආයුධ ඔවුන්ගේ හමුදා ශක්තිය ගැන පවසන්නේ කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: චීන හමුදා පෙළපාලියේදී නව ICBM මිසයිල ප්‍රදර්ශනය කෙරෙන අයුරු
    • Author, තෙසා වොං
    • Role, බීබීසී, ආසියානු ඩිජිටල් වාර්තාකරු

චීනය දැවැන්ත පෙළපාළියකදී නව අවි ආයුධ, ඩ්‍රෝන යානා සහ යුද්ධ උපකරණ රැසක් එළිදැක්වීය. එය බොහෝ දෙනෙකු දකින්නේ එක්සත් ජනපදයට සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ට ලබා දෙන පැහැදිලි පණිවිඩයක් ලෙස ය.

මෙම අවස්ථාවේදී ෂී ජින්පිං ආර්ථික සහයෝගය සහ තවත් බොහෝ දේ සඳහා චීනය මත යැපෙන රුසියාවේ ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් 20කට වැඩි පිරිසකට සත්කාරකත්වය සැපයුවේ ය.

එය ලෝක වේදිකාවේ ෂී ජින්පිංගේ වර්ධනය වන බලය සහ චීනයේ හමුදා ශක්තිය විදහා දැක්වීමක් විය. මෙම ප්‍රදර්ශනයට "ගුවාම් කිලර්" මිසයිල, "ලෝයල් වින්ග්මන්" ඩ්‍රෝන යානා සහ රොබෝ වෘකයන් පවා අන්තර්ගත විය.

මතුපිටින් පෙනෙන මෙම ආකර්ෂණීයත්වයෙන් ඔබ්බට යමින් අප අවබෝධ කර ගත්තේ කුමක් ද?

මේ, ඔබ දැනගත යුතු කරුණු 5කි.

1. චීනයට තම අවි කෙතරම් සාර්ථකව භාවිත කළ හැකි ද?

බදාදා ප්‍රදර්ශනයෙන් පැහැදිලි වූයේ, චීනයට විවිධාකාර ආයුධ ඉක්මනින් නිෂ්පාදනය කිරීමට හැකි වී ඇති බව ය.

මීට වසර දහයකට පෙර, ඔවුන් ප්‍රදර්ශනය කළ හමුදා තාක්‍ෂණය, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද බොහෝ දියුණු උපකරණවල "ප්‍රාථමික මට්ටමේ පිටපත්" බවට පත් වූ බව සිංගප්පූරුවේ නැන්යැං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ හමුදා පරිවර්තන වැඩසටහනේ සහකාර මහාචාර්ය මයිකල් රස්කා සඳහන් කරයි.

නමුත් මෙම පෙළපාළියේදී වඩාත් නව්‍ය හා විවිධාකාර ආයුධ පරාසයක්, විශේෂයෙන් ඩ්‍රෝන යානා සහ මිසයිල එළි දැක්වීම සිදුවිය. එය ඔවුන්ගේ යුද්ධ උපරකණ නිෂ්පාදන කර්මාන්තය කෙතරම් දියුණු වී ඇතැයි ද යන්න පිළිබිඹු කරයි.

චීනයේ ඉහළ සිට පහළට ඇති ව්‍යුහය සහ සැලකිය යුතු සම්පත් නිසා අනෙකුත් බොහෝ රටවලට වඩා වේගයෙන් නව ආයුධ නිපදවීමට හැකි වන බව පැසිෆික් සංසදයේ අනුබද්ධ සාමාජිකයෙකු වන ඇලෙක්සැන්ඩර් නීල් පෙන්වා දෙයි.

ඔවුන්ට ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ හැකි අතර එමගින් ඔවුන්ට යුද්ධ පිටියේදී සතුරා යටපත් කළ හැකි වීමේ වාසිය ලබා දෙයි.

"චීනයට යුධෝපකරණ, නැව්, මේ හැම දෙයක් ම නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා... රාජ්‍යයට කරන්නේ නියෝගය නිකුත් කරන එක. ඒ සැණින් නිෂ්පාදන කටයුතු පටන් ගන්නවා," නීල් පවසයි.

නමුත් චීන හමුදාවට මෙම ආයුධ සියල්ල කොතෙක් දුරට ඵලදායී ලෙස භාවිත කළ හැකි ද?

"ඔවුන්ට මේ ආකර්ෂණීය යුද්ධ උපකරණ ප්‍රදර්ශනය කරන්න පුළුවන්. හැබැයි අවශ්‍යතාවකදී මේවා අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ඔවුන් සංවිධානාත්මක ද?" ආචාර්ය රස්කා ප්‍රශ්න කරයි.

චීන හමුදාව දැවැන්ත හා පරීක්ෂාවට ලක් නොවී ඇති බැවින් එය පහසු නොවනු ඇතැයි ඔහු තවදුරටත් පවසයි. මන්ද එය දශක ගණනාවක් තිස්සේ සැලකිය යුතු යුද්ධයකට සම්බන්ධ වී නොමැති බැවිනි.

2. ඇමෙරිකාවට මුහුණ දීම සඳහා චීනය මිසයිල කෙරෙහි අවධානය යොමු කරයි

චීනය නව මිසයිල ප්‍රභේද කිහිපයක් ඇතුළුව බොහෝ මිසයිල නිපදවා ඇත.

මේවාට ඩොංෆෙන්ග්-61 මිසයිලය, එහි කේතු ආකාර ඉදිරිපස කොටසේ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එකවර රැගෙන යා හැක; චීනයේ උතුරු ප්‍රදේශයෙන් දියත් කළ හැකි සහ එක්සත් ජනපදයට පහර දිය හැකි ඩොංෆෙන්ග්-5C අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය; සහ ගුවාම්හි පිහිටා ඇති ප්‍රධාන ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දිය හැකි "ගුවාම් කිලර්" ඩොංෆෙන්ග්-26D අතරමැදි පරාස මිසයිලය ඇතුළත් වේ.

A graphic with annotation for the DF-61 missile reads "China's new intercontinental missile capable of carrying nuclear warheads"
ඡායාරූප ශීර්ෂ වැකිය, DF-61 මිසයිල පළමු වරට ප්‍රසිද්ධියට පත් කළේ, හමුදා පෙළපාළියේදී ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉතා වේගයෙන් පියාසර කළ හැකි සහ මිසයිල නාශක පද්ධති මග හරිමින් ඉතා සුළු කාලයකින් තම ගමන් මග වෙනස් කළ හැකි YJ-17 සහ YJ-19 වැනි හයිපර්සොනික් නෞකා නාශක මිසයිල කිහිපයක් ද එහිදී දක්නට ලැබිණි.

මිසයිල කෙරෙහි මෙතරම් අවධානය යොමු කිරීමට හේතුවක් තිබේ.

චීනය මිසයිල සහ රොකට් බළකායන් ගොඩනගමින් සිටින්නේ සිය සතුරන් අධෛර්යවත් කිරීමේ උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් ලෙස සහ එක්සත් ජනපදයේ නාවික ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම සඳහා බව නීල් පවසයි.

ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකා බළඇණිය සහ ප්‍රහාරක නෞකා සහිත එක්සත් ජනපද නාවික හමුදාවට සම කළ නොහැකි හමුදාවක් වෙන නැත. ඒ සංඛ්‍යාව අනුව ගත් කල චීනය තවමත් සිටින්නේ පසුපසිනි.

මිසයිල ප්‍රහාරවලදී මෙම ප්‍රහාරක නෞකාවලට තමාව ආරක්ෂා කර ගැනීමට නොහැකි බැවින් ඒවා අවදානමට ලක්විය හැකි බවට බටහිර ආරක්ෂක ප්‍රජාවේ ඇතැමුන් තර්ක කරන්නේ යැයි නීල් පෙන්වා දෙයි.

චීනය සතුරන් අධෛර්යවත් කිරීමේ උපායමාර්ග ශක්තිමත් කරනවා පමණක් නොව, "ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්" ද නිර්මාණය කරමින් සිටින බව ඔහු පවසයි.

අනෙකුත් කැපී පෙනෙන ආයුධ අතරට වැඩි වශයෙන් කතාබහට ලක් වූ LY-1 ලේසර් අවිය ඇතුළත් වේ. එයට මූලික වශයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ පුළුස්සා දැමීමට හෝ අක්‍රිය කිරීමට හෝ ගුවන් නියමුවන්ගේ පෙනීම යම් කාලයකට අහිමි කිරීමට පවා හැකි යෝධ ලේසර් වර්ගයකි. තව ද J-20 සහ J-35 ගුවන් යානා ඇතුළු පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා එකතුවක් ද ඊට ඇතුළත් වේ.

3. චීනය AI සහ ඩ්‍රෝන යානා සමග ඉදිරියට

මෙම පෙළපාලියේදී පුළුල් පරාසයක ඩ්‍රෝන යානා දක්නට ලැබුණු අතර ඇතැම් ඒවා කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ ඒවා විය. නමුත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේ AJX-002 නමැති යෝධ සබ්මැරීන් ඩ්‍රෝන යානයයි.

මීටර් 20 දක්වා දිගකින් යුත් extra-large uncrewed underwater vehicle (XLUUV) [මිනිසුන් රහිත දිය යට ගමන් කළ හැකි විශාල යාත්‍රාවක්] ලෙස ද හැඳින්වෙන මෙමගින්, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සිදු කළ හැකි ය.

A graphic with annotation for the AJX-002 drone reads "A giant, 60-foot (18m) underwater nuclear-capable unmanned vehicle"

චීනය "ලෝයල් වින්ග්මන්" ලෙස හඳුන්වන ඔවුන්ගේ GJ-11 ස්ටෙල්ත් ප්‍රහාරක ඩ්‍රෝන යානය ද ප්‍රදර්ශනය කළේ ය. එයට මිනිසුන් සහිත ප්‍රහාරක ජෙට් යානයක් සමග පියාසර කළ හැකි අතර එහි ප්‍රහාර සඳහා සහය විය හැකිය.

සාම්ප්‍රදායික ගුවන් ඩ්‍රෝන යානා මාලාවකට අමතරව, "රොබෝ වෘකයන්" ද දක්නට ලැබිණි. විශේෂඥයින් පවසන්නේ, මේවා ඔත්තු බැලීමේ සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ සිට සතුරු සෙබළුන් ලුහුබැඳ යාම දක්වා විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැකි බව ය.

ඩ්‍රෝන යානා ප්‍රදර්ශනයෙන් පෙනී යන්නේ චීනයට තම හමුදා උපාය මාර්ග ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව වන අතර එහිදී ඔවුන්ට ඒවා "වැඩි දියුණු කිරීමට පමණක් නොව, එමගින් සාම්ප්‍රදායික ව්‍යුහයන් (සෙබළුන් ආදිය) ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද" ඉස්මතු කරයි.

ඔවුන් යුක්‍රේන යුද්ධයෙන් පැහැදිලිව ම පාඩම් ඉගෙන ගෙන තිබේ. එනම්, "සතුරා වෙත ඩ්‍රෝන යානා විශාල ගණනක් යවා" ඔවුන්ගේ යුද්ධ ශක්තිය හීන කිරීම කළ හැකි බව ආචාර්ය රස්කා සඳහන් කරයි.

"ඝාතන දාමයකදී කඩිසරකම වැදගත්," යැයි පවසන නීල් තවදුරටත් සඳහන් කරන්නේ, ඉතා ඉක්මනින් සිදුවන සටනකදී, සතුරා පරාජය කර වාසිය ලබා ගැනීමට "නැනෝ තත්පර" කිහිපයකින් තීරණ ගත යුතු බව ය. කෘත්‍රිම බුද්ධියට කළ හැක්කේ එයයි.

බොහෝ රටවල් තවමත් තම හමුදා පද්ධති තුළ කෘත්‍රිම බුද්ධිය යෙදවීම ගැන සැලකිලිමත් වන අතර "ඝාතන දාමයට AI ඇතුළත් කිරීම අපට කොතරම් පහසු ද" යන්න ඔවුන් ප්‍රශ්න කරනවා," ඔහු තවදුරටත් පවසයි.

නමුත් චීනයට ඉතා එය පහසු බව ආචාර්ය රස්කා පවසයි. "ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ට කෘත්‍රිම බුද්ධිය පාලනය කළ හැකි බවයි. ඔවුන් එය ඔවුන්ගේ පද්ධතිවලට ඒකාබද්ධ කිරීමට හැකි සෑම දෙයක් ම කරනවා."

A graphic with annotation for the robot wolves reads "Can be equipped to perform different roles alongside soldiers, such as reconnaissance and transporting ammunition"

4. චීනයට තාක්ෂණය තිබිය හැකි නමුත්, තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාවයි

චීනය සිය මිලිටරි තාක්‍ෂණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග වේගයෙන් ඉදිරියට යමින් සිටින බවත්, දැවැන්ත අවි ගබඩාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය සම්පත් ඔවුන් සතුව ඇති බවත් පෙළපාළියෙන් පැහැදිලිව පෙන්නුම් කෙරේ.

නමුත් මෙහෙයුම් අතින් එක්සත් ජනපදය තවමත් ඉදිරියෙන් සිටින බව විශේෂඥයෝ පවසති.

එක්සත් ජනපද හමුදාවට "ඉහළ නියෝග පැමිණෙන තුරු සිටීමට අවශ්‍ය නොවන" සංස්කෘතියක් පවතින නිසා, තතත්වය වෙනස් වන විට භූමියේ සිටින ඒකකවලට එම තත්ත්වය මත තීරණ ගත හැකි අතර ඔවුන්ගේ සටන් උපාය මාර්ග වෙනස් කළ හැකි බව ආචාර්ය රස්කා සඳහන් කරයි. මෙය ඔවුන් සටනකදී වඩාත් කඩිසර කරයි.

A graphic with annotation for the GJ-11 stealth drone reads "Part of China's fleet of unmanned combat aerial vehicles"

අනෙක් අතට, චීනය "ඉහළ සිට පහළට" නියෝග නිකුත් කෙරෙන සංස්කෘතියක සිටින අතර එහිදී "ඔවුන්ට ආකර්ෂණීය යුද්ධ උපකරණ සහ පද්ධති තිබිය හැකි නමුත් ඉහළින් නියෝගයක් ලැබෙන තුරු ඔවුන් ඇඟිල්ලක් හෝ චලනය නොකරනු ඇත", ඔහු තවදුරටත් පවසයි.

"චීනය හිතන්නේ තමන් සතු තාක්ෂණය නිසා සතුරු ප්‍රහාරවලින් වළකින්න පුළුවන් කියලා. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් එක්සත් ජනපදයේ ප්‍රහාර වළක්වනවා කියලා... නමුත් මෙහෙයුම් මට්ටමින්, ඔවුන් පවසන තරම් හොඳ නොවිය හැකි අවස්ථා තිබෙනවා," යැයි ආචාර්ය රස්කා පවසන්නේ, පසුගිය මාසයේ පිලිපීන වෙරළාරක්ෂක භටයින් සමග ගැටුණු අවස්ථාවේදී චීන යුද්ධ නෞකාවක් තමන්ගේ ම කුඩා යාත්‍රාවක ගැටීම වැනි මෑත කාලීන සිදුවීම් පෙන්වා දෙමිනි.

5. පෙළපාළිය ආයුධ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් සහ ඇමෙරිකාවට එරෙහි එක්සත් පෙරමුණක් පෙන්වීමක් විය

රටවල් 12කට අධික සංඛ්‍යාවක නායකයින්ට උත්සවයට ආරාධනා කර තිබූ අතර, අවි සහ යුද්ධ ටැංකි පෙළපාළිය අත්‍යවශ්‍යයෙන් ම ගැනුම්කරුවන්ට චීන අවි අලෙවි කිරීම සඳහා විශාල වේදිකාවක් වූ බව නීල් පෙන්වා දෙයි.

මියන්මාරය වැනි ඊට සහභාගී වූ ඇතැම් රටවල් දැනටමත් චීන අවි විශාල ගණනක් මිල දී ගන්නා බව දන්නා කරුණකි. නමුත් නව ගනුදෙනුකරුවන්ට විකිණීමට හෝ ඇණවුම් වැඩි කිරීමට ඇති අවස්ථාව චීන රජයට ගෝලීය වශයෙන් තම බලපෑම ව්‍යාප්ත කළ හැකි ආකාරයක් බව ආචාර්ය රස්කා සඳහන් කරයි.

A graphic with annotations that highlight President Xi and his wife, Russian Putin, North Korean leader Kim, Iranian President Pezeshkian, Azerbaijiani President Aliyev in a group photo

චීනයේ ප්‍රමුඛ පෙළේ ආයුධ ගැනුම්කරුවන් අතර පුටින් සහ කිම් උත්සවයේදී ෂී සමග ඉදිරියෙන් සිටගෙන සිටිනු දක්නට ලැබිණි.

පෙළපාළියට එක්ව ඇවිද ගොස් වේදිකාවේ සිටගෙන සිටියදී ඔවුන් තිදෙනාගෙන් එක්සත් පෙරමුණක් දැක ගන්නට හැකි විය.

එය ඇමෙරිකාවට පණිවිඩයක් යැයි නීල් පවසයි: ඇමෙරිකාවට සත්‍ය වශයෙන් ම ඔවුන්ට අභියෝග කරන්න අවශ්‍ය නම් ඉන් අදහස් වන්නේ: "කොරියානු අර්ධද්වීපය, තායිවාන් සමුද්‍ර සන්ධිය සහ යුක්‍රේනය වැනි ස්ථාන කිහිපයක බොහෝ දුරට ඔවුන්ට එකවර සටන් කරන්න" වනු ඇතැයි යන්න ය.

"තවදුරටත් කිව්වොත්, එක්සත් ජනපදයට මේ ස්ථාන තුනේදී ම පීඩනය යොදන්නේ නම්, බොහෝ දුරට ඔවුන් ඉන් එක් තැනකදී අසාර්ථක වෙන්න පුළුවන්."