ඇමෙරිකාව සමග 'ඕනෑ ම ආකාරයක යුද්ධයකට' සූදානම් බව චීනය අනතුරු අඟවයි

Chinese President Xi Jinping in a suit attends the opening session of the National People's Congress (NPC) at the Great Hall of the People in Beijing, China, March 5, 2025

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂී ජින්පින්ගේ චීනය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමෙරිකාව සමග වෙළෙඳ යුද්ධයකට මුහුණ දී සිටී.
    • Author, ලෝරා බිකර්
    • Role, බීබීසී, බීජිං
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ භාණ්ඩ සඳහා වන තීරුබදු ඉහළ දැමීමට ප්‍රතිචාර දක්වමින්, ඕනෑ ම ආකාරයක යුද්ධයකට සූදානම් බව චීනය, ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප් සියලු චීන භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමෙන් පසු ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක වෙළෙඳ යුද්ධයකට සමීප වෙමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන් චීනය ක්ෂණිකව ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% අතර ප්‍රමාණයකින් තීරු බදු පැනවීය.

''ඇමෙරිකාවට යුද්ධයක් අවශ්‍ය නම් එය තීරුබදු යුද්ධයක්, වෙළෙඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑ ම ආකාරයක යුද්ධයක් වේවා චීනය අවසානයක් දක්වා සටන් කිරීමට සූදානම්,'' යනුවෙන් චීන තානාපති කාර්යාලය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

එය ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු චීනයෙන් මෙතෙක් එල්ල වූ ප්‍රබල ම ප්‍රතිචාරවලින් එකක් වන අතර, වාර්ෂික ජාතික මහජන සම්මේලනය සඳහා නායකයින් බීජිංහිදී රැස්වූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

චීන අගමැති ලී කියැං (Li Qiang) බදාදා නිවේදනය කළේ, චීනය මෙම වසරේදී සිය ආරක්ෂක වියදම් 7.2%කින් ඉහළ නංවන බව ය. "සියවසක් තුළ නොදුටු වෙනස්කම් ලොව පුරා වඩාත් වේගයකින් සිදුවෙමින් පවතිව," බවට ඔහු අනතුරු ඇඟවීය. චීනයේ මෙම වියදම් ඉහළ දැමීම අපේක්ෂා කළ අතර පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළ සංඛ්‍යාවට අනුරූප වේ.

වෙළෙඳ යුද්ධයක තර්ජනය මධ්‍යයේ වුව ද, රටේ ආර්ථිකය තවදුරටත් වර්ධනය විය හැකි බව බීජිං නායකයෝ චීන ජනතාවට සහතික කිරීමේ පණිවුඩය යැවීමට උත්සහ කරති.

ඇමෙරිකාව, මැද පෙරදිග හා යුක්‍රේනයේ යුද්ධවලට සම්බන්ධ බවට චීනය චෝදනා කරන අතර, චීනයට අවශ්‍ය වන්නේ ස්ථාවර, සාමකාමී රටක් ලෙස පෙනී සිටීමට ය.

තීරුබදුවලට මුහුණ දී ඇති කැනඩාව සහ මෙක්සිකෝව වැනි ඇමෙරිකානු මිත්‍ර පාර්ශවවලට එරෙහිව ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට චීනයට ද අවශ්‍ය විය හැකි ය. කෙසේ වෙතත්, නව ගෝලීය හවුල්කරුවන් බිය ගැන්විය හැකි රළු භාෂාවක් භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත.

බදාදා බීජිංහි පැවති සිය කතාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ, චීනය ඕනෑ ම අයෙකුට විවෘත වන බවත්, වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අරමුණු කරන බවත් ය.

අතීතයේදී ද චීනය යුද්ධයකට සූදානම් බව පවසා තිබිණි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, තායිවානය අසල සිදු කළ යුද අභ්‍යාස අතරතුර යුද්ධයට සූදානම් වන ලෙස ජනාධිපති ෂී, හමුදාවෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, යුද්ධයට සූදානම් වීම ඇත්ත වශයෙන් ම යුද්ධයට යාමට සූදානම් වීමට වඩා වෙනස් ය.

An Air Force aircraft takes part in military drills by the Eastern Theatre Command of China's People's Liberation Army (PLA) around Taiwan, in this screengrab from a handout video

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය මේ වසරේ සිය ආරක්ෂක වියදම් 7%කට වඩා වැඩි කිරීමට නියමිත ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පෙර දින (මාර්තු 04) විදේශ අමාත්‍යාංශයේ ඉංග්‍රීසි ප්‍රකාශයක් උපුටා දක්වමින්, ෆෙන්ටනයිල් මත්ද්‍රව්‍ය ගලා ඒම සම්බන්ධයෙන් චීනයට දොස් පවරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර තිබිණි.

"ෆෙන්ටනයිල් පිළිබඳ ගැටලුව චීන ආනයන සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තීරුබදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දුර්වල නිදහසට කරුණක්," චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

"මැදිහත්වීම්වලින් අපව බය ගන්වන්න බැහැ. හිරිහැර කිරීම්වලින් අපට රිදවන්න බැහැ. පීඩනය එල්ල කිරීම, බලහත්කාරකම් කිරීම හෝ තර්ජන කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිවැරදි ක්‍රමය නොවෙයි," ඔහු තවදුරටත් පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ​​සම්බන්ධතාව ලෝකයේ වඩාත් ම විවාදයට ලක්වන සම්බන්ධතාවලින් එකකි. X සමාජ මාධ්‍යයේ පළවූ මෙම සටහන පුළුල් ලෙස හුවමාරු වී ඇති අතර, ට්‍රම්ප්ගේ උපදේශකයින් විසින් චීනය, වොෂින්ටනයේ විශාලතම විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික තර්ජනය බවට සාක්ෂියක් ලෙස භාවිත කිරීමේ ඉඩකඩක් පවතී.

සිය පදවි ප්‍රාප්ති උත්සවයට චීන ජනාධිපතිට ආරාධනා කිරීමෙන් පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ දෙරට අතර, ​​සබඳතා සුමටව ආරම්භ වනු ඇතැයි බීජිං නිලධාරීන් බලාපොරොත්තු විය. ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට දින කිහිපයකට පෙර චීන ජනාධිපති ෂී සමග "යහපත් දුරකතන සංවාදයක්" පැවැත්වූ බව ට්‍රම්ප් ද සඳහන් කළේ ය.

පසුගිය මාසයේ නායකයින් දෙදෙනා අතර තවත් දුරකතන ඇමතුමක් පැවැත්වීමට නියමිතව තිබූ බවට වාර්තා පළවූ නමුත් එය සිදු නොවී ය.

අඛණ්ඩව වාර්තා වන අවම පරිභෝජනය, දේපළ අර්බුද සහ විරැකියාව යන ගැටලු සමග චීන ජනාධිපතිවරයා පොරබදමින් සිටියි.

තම අරගලකාරී ආර්ථිකය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීමට චීනය පොරොන්දු වී තිබේ. මෙම සැලැස්ම හෙළිදරව් කරන ලද්දේ, දහස් ගණනක් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් රහස්‍ය අයුරින් පැවැත්වෙන සංකේතාත්මක පාර්ලිමේන්තුවක් ලෙස සැලකෙන ජාතික මහජන සම්මේලනයේදී ය.

චීනය ලෝකයේ දෙවන විශාලතම ආරක්ෂක අයවැය හිමි රට වන චීනය ඩොලර් බිලියන 245ක් වැය කරන අතර, එය ඇමෙරිකා එක්සත් ජනපද අයවැයට වඩා බෙහෙවින් කුඩා ය. ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව, චීනය එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක් හමුදාව සඳහා වැය කර යි. එය ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ රුසියාවට වඩා බෙහෙවින් අඩු ය.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් අනුමාන කරනුයේ චීනය ආරක්ෂාව සඳහා වැය කරන මුදල පහළ අගයකින් වාර්තා කරන බව ය.