ෂැංහයි සමුළුව: ශ්‍රී ලංකාව සහභාගි නොවීම ගැන අමාත්‍යංශයෙන් සහ කැබිනට් ප්‍රකාශකගෙන් හේතු දෙකක්

Leaders pose for a family photo as they arrive for a reception in the Great Hall of the People, following a military parade marking the 80th anniversary of victory over Japan and the end of World War II, in Beijing on September 3, 2025

ඡායාරූප මූලාශ්‍රය, 'SERGEY BOBYLEV / HOST PHOTO AGENCY RIA NOVOSTI / HANDOUT

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

චීනය කෙරෙහි ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුවී ඇති මොහොතක ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි අවධානයක් චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සමුළුව කෙරෙහි යොමුවී තිබේ.

ඒ, එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගි නොවීම සම්බන්ධයෙනි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් විවිධ අදහස් පළ කර තිබේ.

'හිතල හරි නොහිතා හරි ගත්ත හොඳ තීරණයක්'

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයෙකු පෙන්වා දී තිබුණේ, සමුළුවට සහභාගි නොවීමට රජය ගත් තීරණය 'හොඳ තීරණයක්' බව ය.

එම සමුළුවට ශ්‍රී ලංකාව සහභාගි වූයේ නම්‍, 'ට්‍රම්ප්ගෙ බදු මීටරේ ආයෙ වැඩිවීවැඩි වීමෙහි අවදානම බැහැර කරන්න බැහැ,' යන්න ඔහුගේ අදහස විය.

මේ අතර, අදාළ සමුළුවට සහභාගි කරවීම සඳහා සුදුසු පුද්ගලයෙකු ආණ්ඩුවට නැති බවට වන මත ද ඉදිරිපත් කර තිබිණි.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

'ලෝක දේශපාලන කුණාටුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ නැව ඔහේ පාවෙනවා'

කෙසේ වෙතත්, සමුළුවට සහභාගි නොවීම 'හොඳ තීරණයක්' ලෙස හඳුන්වන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන නීතිඥ ආචාර්ය විරංජන හේරත් සිය ෆේස්බුක් සටහනේ මෙසේ ද සඳහන් කර තිබිණි.

'මට හිතෙන විදිහට නම්, මේ වෙලාවෙ කරකවල අතඇරල තියන ගෝලීය දේශපාලනය ඇතුළෙ අපි වගේ හුංඩු රටවලට දුවන්න වෙන්නෙ එදා වේල මෙතඩ් එකකින් මිසක් මැදට හරි එක පැත්තකට හරි ලයින් වුණු විදේශ ප්‍රතිපත්තියක නෙමෙයි.'

ලෝක දේශපාලනයේ මේ වන විට පවතින ව්‍යාකූල තත්ත්වය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක හඳුන්වන්නේ, කුණාටුවක් ලෙස ය.

ඔහු පෙන්වා දෙන්නේ, ලෝක දේශපාලන කුණාටුව මැද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිසි දිශාවක් නැති නෞකාවක් සේ අරමුණක් නොමැතිව යාත්‍රා කරමින් සිටින බව ය.

"ලෝක දේශපාලනය ගැන කිසි ම වැටහීමකින් ආණ්ඩුව ක්‍රියාකරන බවක් පෙන්නෙ නෑ. ලෝක දේශපාලන කුණාටුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව නිශ්චිත දිශාවක් නැතුව ඔහේ පාවෙනවා. මේක වැරදි ක්‍රියාමාර්ගයක්."

"ශ්‍රී ලංකාව වගේ රටක ආණ්ඩුවක් උත්සහ කරන්න ඕනෙ අපට ලැබෙන හැම අවස්ථාවකදී ම වෙනත් රටවල් සමග සමීප වෙන්න යි. මොක ද අපට ඒ හැම රටක් ම වටිනවා. දකුණු ආසියාවේ පරම හතුරුකම් තියෙන ඉන්දියාවයි පකිස්ථානයයි මේ සමුළුවට සහභාගි වුණා නම් ඇයි ශ්‍රී ලංකාවේ නියෝජියෙක් යවන්න බැරි?" ආචාර්ය දයාන් ජයතිලක විමසයි.

'අපි නොගියේ ආරාධානා නොකළ නිසා' - විදේශ කටයුතු අමාත්‍යංශය

තර්ක විතර්ක කෙසේ ගොඩ නැගුණ ද, සමුළුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කරන්නේ, වෙනත් ම හේතුවකි.

ඒ බව අනාවරණය වූයේ, බීබීසී සිංහල සේවය විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රුද්‍රිගුගෙන් කළ විමසීමකදී ය.

"ආරාධනාවක් නැතුව ඒකට සහභාගි වෙන්න අපට බෑනෙ. අපට ආරාධනා කළේ නැති නිස යි අපි නොගියේ. අපට චීනය ආරාධනා කළේ නැත්තේ, අපිත් එක්ක පවත්වන සබඳතා පළුදු වීමකින් නෙවෙයි. ඔවුන් අපි සමග ඉතා හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒ නිසයි, ජනාධිපතිතුමාත් චීනයට ගියේ. දැන් ලබන මාසේ අගමැතිතුමියත් චීනයේ සංචාරයක නිරත වෙන්න නියමිත යි."

"චීනය කාලෙන් කාලෙට ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා අලුත් කර ගන්නවා විවිධ රටවල් එක්ක. අපි එක්ක කොහොමත් හොඳ සබඳතා පවත්වන නිසා ඔවුන් මේ සමුළුවට වෙනත් රටවලට ආරාධනා කරන්න ඇති."

කැබිනට් ප්‍රකාශකගෙන් වෙනත් උත්තරයක්

ෂැංහයි සහයෝගිතා සමුළුවට සහභාගි නොවීමට බලපෑ හේතුව කුමක් ද? යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාට විදෙස් සංචාර කිහිපයකට සහභාගි වීමට ඇති හෙයින් කාර්ය බහුලත්වය මත එම සමුළුවට නොයාමට තීරණය කරන්නට ඇතැයි කියා ය.

එහෙත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රුද්‍රිගු මෙම ලිපිය සඳහා තොරතුරු විමසූ අවස්ථාවේ පැවසූ පරිදි, ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූයේ, සමුළුවට ආරාධනයක් නොලැබුණු හෙයිනි.

ඒ සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදිනිය කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ, තමන් ඒ පිළිබඳව දැනුවත් නැති බව ය.

විදේශ ඇමති විජිත හේරත්ගෙන් චීන ජනපතිට ප්‍රතිචාර

මේ අතර, ෂැංහයි සහයෝගිතා සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං යෝජන කළ 'ගෝලීය සංවර්ධන, ආරක්ෂාව සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම' ද ධනාත්මකව භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් X පණිවුඩයක් පළ කරමින් සඳහන් කර තිබිණි.

එහි ආසන්න සිංහල පරිවර්තනය මෙසේ ය.

'ස්වෛරී සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය, බහුපාර්ශ්විකත්වය, ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය සහ ක්‍රියාකාරී-නැඹුරු සහයෝගීතාවය යන මූලධර්ම මත පදනම් වූ, ටියැන්ජින් හි පැවති SCO Plus රැස්වීමේදී අතිගරු ජනාධිපති ෂී ජින්පිං විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන, ආරක්ෂාව සහ ශිෂ්ටාචාර මුලපිරීම් මෙන්ම ගෝලීය පාලන මුලපිරීම ද මම ධනාත්මකව සටහන් කර ගතිමි.'

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ෂැංහයි සහයෝගිතා සමුළුව යනු කුමක් ද?

Shanghai Five ලෙස මෙය 1996 වසරේදී ආරම්භ වූයේ, චීනය, රුසියාව, කසක්ස්ථානය, කිර්ගිස්ථානය සහ තජිකිස්ථානය යන රටවල් 5 අතර සමුළුවක් ලෙසිනි.

එය ෂැංහයි සහයෝගිතා සංවිධානය බවට පත්වූයේ, 2001 වසරේදී උස්බෙකිස්ථානය එකතු වීමෙන් පසුව ය.

2017 දී ඉන්දියාව සහ පකිස්ථානය, 2023 දී ඉරානය සහ 2024 දී බෙලරුස් ඇතුළත් වීමෙන් සංවිධානය පුළුල් වූ අතර, මුළු සාමාජික රටවල් දහය දක්වා වර්ධනය විය.

එහි නිරීක්ෂණ රාජ්‍යයන් 2ක් (මොංගෝලියාව සහ ඇෆ්ගනිස්ථානය (දැනට අක්‍රීය අය) සහ සංවාද හවුල්කාර රටවල් 14ක් ද ඇතුළත් වේ.

එම රටවල් අතරට, ශ්‍රී ලංකාව, තුර්කිය, කාම්බෝජය, අසර්බයිජානය, නේපාලය, ආර්මේනියාව, ඊජිප්තුව, කටාර්, සෞදි අරාබිය, බහරේන්, කුවේට්, මියන්මාරය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වන බව Britannica විශ්ව කෝෂයේ සඳහන් වෙයි.

එය භූගෝලීය වශයෙන් සහ ජනගහනය අනුව ලොව විශාලතම කලාපීය සංවිධානය වන අතර, යුරේසියානු භූමි ප්‍රමාණයෙන් 80%ක් සහ ලෝක ජනගහනයෙන් 40%ක් පමණ ආවරණය කරයි.

එහි 25 වන සමුළුව සැප්තැම්බර් 01 වන දා චීනයේදී ආරම්භ විය.