තවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් පවුලකට කෙසේ බලපායි ද?

ලබන වසර මුල සිට යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට රජය සූදානම් වෙයි. ඒ, විදුලි ගාස්තු වැඩිකර මාස හතරක් ගතවීමට පෙර ය.

එම විදුලි ගාස්තු වැඩි කිරීම මෙරට පවුල් ඒකකවලට මෙන්ම ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ලකර ඇත. එම පසුබිම තුළ යළි ගාස්තු වැඩිවීමක් විදුලි පාරිභෝගිකයින්ට කෙසේ බලපායි ද?

මොරටුවේ පදිංචි අචිනි ප්‍රනාන්දු සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත පවුලේ ගෘහණිය යි. යෝජිත විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳ ඇය බීබීසීය සමග අදහස් දැක්වීය. 

"විදුලි ගාස්තු වැඩි වෙන්න කලින් මීට මාස කිහිපයකට පෙර අපිට ලයිට් බිල ආවේ රුපියල් 4000- 4500ක් විතර. දැන් 7000ක් 7500ක් විතර එනවා. වතුර බිලත් වැඩි වෙලා. ටෙලිෆෝන්, ඉන්ටර්නෙට් ගත්තම බිල් ගෙවන්නම දහ පහළොස්දහසක් යනවා. වාහනයට තෙල්ගහන්න යන ඒවා. මෙහෙම බැලුවම ආයිත් විදුලි බිල වැඩි කළොත් අපි කොහොම ද දරාගන්නේ? බිල්ටික ගෙවන්න යි, කෑමට බීමට ගිහාම ළමයෙක්ට පොතක් පතක් අරන් දෙන්න බැහැ දැන්,” ඇය පැවසුවා ය.

පිළියන්දල පදිංචි ප්‍රියන්ත කුමාර සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලේ ගෘහමූලිකයා ය. යෝජිත විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවේ ය:

“ගාස්තු වැඩිවෙන්න කලින් අපිට බිල ආවේ රුපියල් 800ක් විතර. දැන් එනවා 1200 – 1500ක් විතර. අපි උපරිම උත්සහ කරනවා විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න. ඇඳුම් අයන් කරන්නේ එකවර. නිවස තියෙන්නේ කුඹුරක් අසල. අපි රාත්‍රියේ ෆෑන් දාන්නේ නැහැ. නිවසටම LED බල්බ් දාලා තියෙන්නේ. කාමරයකට යනකොට විතරයි ලයිට් දාන්නේ. කාමරයෙන් එළියට එනකොට ඒවා නිවාගෙන එන පුරුද්ද ගෙදර හැමෝටම තියෙනවා. ඒනිසා විදුලි බිල වැඩිවීම අපට ලොකු බලපෑමක් කරලා නැහැ.”

කෙසේ වෙතත් වෙළෙඳ ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් පවසන්නේ විදුලි ගාස්තු වැඩිවීම තම නිෂ්පාදන පිරිවැයට විශාල බලපෑමක් කර ඇති බව ය.

"මෙහෙම නිෂ්පාදන වියදම වැඩිවෙනකොට කොහොමද අපි තරගකාරීව ව්‍යාපාර කරන්නේ? අපනයන වෙළෙඳපොළට යන්නේ?" නම හෙළිකිරීමට අකමැති වූ කර්මාන්තකරුවෙකු විමසා සිටියේ ය.

විදුලි ගාස්තු වැඩි කිරීමට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද විදුලි බිල්පත්වලට එක්කර තිබේ.

සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත්වනබව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිල දී ගැනීම මත එම බද්ද 2022 ඔක්තෝබර් මස 01 වැනිදා සිට අයකිරීමට ලංකා විදුලි බලමණ්ඩලය කටයුතු කර ඇත.

මෙම පසුබිම තුළ යළි විදුලි ගාස්තු වැඩි කිරීමකට අවසර නොදෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අවධාරණය කර තිබේ.

දැනට ඇති දත්ත අනුව එවැනි අවශ්‍යතාවක් නැති බවත්, ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු හා බොරතෙල් මිල පහළ ගොස් ඇතිබවත් ඔහු පැවසීය.

“හැමදයෙක්ම ලෝක වෙළෙඳපොළේ මිල අඩුවෙලා තියෙනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය දකින්න නැහැ. විදුලිබල මණ්ඩලය අපි රැකගත යුතු යි. හැබැයි දැනට තියෙන දත්ත අනුව සංශෝධනයක් අවශ්‍ය නැහැ කියන පදනම මත තමා කොමිසම සිටින්නේ," ජනක රත්නායක සඳහන් කළේ ය.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට මේ සංශෝධනය කළ යුතු යි!

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ මහජන උපයෝගීතා කොමිසම පසුගිය අගෝස්තු මසයේ දී ලබාදෙනු ලැබුවේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි ගාස්තු සංශෝධනය නොවන බව ය.

ගාස්තු සංශෝධනය යාවත්කාලීන විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය. 

අමාත්‍යවරයා අවධාරණය කළේ, “එහෙම නැතිවුණොත් අපි සියලුදෙනා ලෑස්ති වෙන්න ඕනේ ලබන අවුරුද්දේ පැය හයක අටක විදුලි කප්පාදුවකට යන්න. ඒකට කැමති නම් ප්‍රශ්නයක් නැහැ. මේ ගාස්තු සංශෝධනය නොකර ඉන්න පුළුවන්. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මේ සංශෝධනය කළ යුතු යි.”

විදුලිය අඛණ්ඩව ලබාදීමට නම් ගාස්තු සංශෝධනයක් අනිවාර්යෙන් කළ යුතු බව ද ඔහු පැවසීය.

විදුලි ගාස්තු වැඩි කරන්න සිදුවෙනවා – ජනපති

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය තෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමිනි.

“අපිට විදුලි ගාස්තු වැඩි කරන්න සිදුවෙනවා. පසුගිය අගෝස්තු මාසයේත් විදුලි බිලේ වැඩිවීමක් සිදුවුණා. නමුත් එය ප්‍රමාණවත් නැහැ,” ජනාධිපතිවරයා පැවසීය. 

“දැන් තවත් බිලියන 151ක අලාභයක් ලැබෙන්න නියමිතව තිබෙනවා. ඒ වගේම 2013 සිට මේ දක්වා අපේ සම්පූර්ණ අලාභය බිලියන 300 යි. මේ කාලය තුළ අපි බිලියන 300ක් සෙවිය යුතු යි. ඒ එක්කම ලබන වස‍‍රේ නියඟයක් ඇතිවුවහොත් අපිට වැඩිපුර රුපියල් බිලියන 420ක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය පරිදි වර්ෂාව ලැබුණොත් රු. බිලියන 352ක් අවශ්‍ය වෙනවා. වැඩි වර්ෂාවක් ලැබිලා ගංවතුර තත්ත්වයක් ඇතිවුණොත් බිලියන 295ක් අවශ්‍ය වෙනවා. අපි කොහොමද මෙම මුදල් සොයා ගන්නේ? එතැන යි ගැටළුව තිබෙන්නේ.” 

"ආණ්ඩුවට ආදායමක් නැහැ. මුදල් මුද්‍රණය කළොත් රුපියලේ අගය අඩු වෙනවා. වැට් බදු වැඩි කළොත් එතනත් ප්‍රශ්න මතුවෙනවා. තෙවනුව තිබෙන්නේ විදුලි ගාස්තුව වැඩි කිරීම. අපිට පුළුවන් විදුලි බල කප්පාදුවක් කරන්න. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. මොකද අ.පො.ස. උසස් පෙළ විභාගය තිබෙන්නේ ජනවාරී, පෙබරවාරී මාසවල නිසා. ඒ නිසා විදුලි කප්පාදුවක් කරන්න බැහැ. ඒ පිළිබඳ දෙමාපියන්ගෙන් දැඩි ඉල්ලීමක් තිබෙනවා. අපි මේ පිළිබඳ කතා කළා. 

"අපි කැමති නැහැ විදුලි ගාස්තු වැඩි කරන්න. අපිත් දේශලපාලනයේ ඉන්නේ. ජනතාවට තිබෙන පීඩනය අපි දන්නවා. 

“ඒත් මොකක්ද අපිට තිබෙන විකල්පය? අපි අසීරුවෙන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. දැන් චීනය සමගත් සාකච්ඡා කරලා තිබෙනවා, එතැනින් ඊළග පියවරට යන්න අපිට පුළුවන්. එහෙත් අපිට ආදායම් පෙන්නන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නැහැ,” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. 

"ඒ නිසා කණගාටුවෙන්, අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණ ගන්න වෙනවා. අපිට රට ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. හැබැයි ඒ තීන්දු නිසා අනාගතය යහපත් වෙනවා. අපි හැමදාම ජනප්‍රිය තීන්දු ගත්ත නිසා තමයි අද මෙතන ඉන්නේ. මීට පෙර ‍මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වුණේ නැහැ. 2013න් පස්සේ අපි විදුලි ගාස්තු වැඩි කළේ නැහැ. අද අපි ඉන්න තත්ත්වය පිළිබඳව අපි සියලු දෙනාම වගකිව යුතු යි. අනිත් රටවල් අසීරු තීන්දු තීරණ ගත්තා. නමුත් අපි ඒකෙන් පැනලා ගියා. දැන් අපෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා."

මහජන උපයෝගීතා කොමිසමටත් ජනපතිගෙන් ප්‍රතිචාර

“ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන් වන අන්දමට සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ විදුලි මිල ගණන් පිළිබඳ උපදේශයන් නිකුත් කළ හැක්කේ ඇමතිතුමාට බවත්, එම ප්‍රතිපත්තීන් බදු ව්‍යුහ සිද්ධාන්තයකට අනුව හෝ වෙනත් සිද්ධාන්තයකට අනුව සැකසිය හැකියි. පනතේ 30 වන වගන්තියේ, 2 වන උප වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසම එය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. කිසිවෙකුට මෙයට පරිබාහිරව ක්‍රියාත්මක විය නොහැකියි. මහජන උපයෝගීතා කොමිසමේ කෙටුම්පත එදා සකස් කළේ මම. එහි තිබෙන බලතල කා සතුව ද තිබෙන්නේ කියා මම හොඳින් දන්නවා,” ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. 

“මම දන්නේ නැහැ ඇයි සභාපතිතුමා ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිතුමා කරපු ප්‍රකාශය පිළිබඳවත් මට පැමිණිලි කිහිපයක් ලැබිලා තිබෙනවා. මෙතුමා සඳහන් කරලා තිබෙනවා විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. එතුමා තමයි ට්‍රිලියම් සමාගමේ සභාපති. ට්‍රිලියම් සමාගම තමයි වැඩියෙන් විදුලිබලය ලබා ගන්නේ. 

"එතුමා පිළිබඳ එක් එක් සංවිධාන විසින් ලබාදුන් ලිපි මා සතුව තිබෙනවා. ට්‍රිලියම් රෙසිඩන්ස්, ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩන්ස්, ටිලියම් රෙසිඩන්ස් කොළඹ 07, ට්‍රිලියම් රෙසිඩන්ස් මීගමුව වගේ ව්‍යාපාර රැසක් ඔහුට තිබෙනවා. ඒ කියන්නේ විදුලි බිල වැඩි වුණාම එතුමාගේ වියදම් වැඩි වෙනවා. එතුමාට කරන්න තිබුණේ ඒ කොමිසමේ දි කියන්න, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මේ විදුලිබිල වැඩිවුණොත් ඒක මට බලපානවා, ඒ නිසා කරුණාකරලා මම මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. මටත් එහෙම සමාගම් තිබෙනව නම් මමත් කැමති නැහැ විදුලි බිල වැඩි කරනවට. 

"මම දුටුවා ඉංජි‍නේරු සංගමය කියලා තිබෙනවා විදුලි බිල වැඩිකරන්න උවමනා නැහැකියලා. නමුත් අපි දන්නවා එහි තිබෙන අඩුව. නොරොච්චෝලේ මෙගාවොට් 100ක සුළංවිදුලි බලාගාරයක් සඳහා ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් මිලියන 321යි, හම්බන්තොට මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයට ඉදිරිපත් කර ඇති මිල ගණන් ඩොලර් බිලියන 1.4යි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති බෆලෝ අයිලන්ඩ් බලාගාරය සඳහා ඩොලර් මිලියන 68ක් ඉදිරිපත් කර තිබෙනවා. පුත්තලමේ ඇති මෙගාවොට් 250ක සුළං විදුලි බලාගාරය සඳහා ඩොලර් මිලියන 204ක මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. මමප ළමුවෙන්ම ඉල්ලා සිටිනවා මේවා සම්මත කර දෙන්න කියලා.

"නොරොච්චෝලේ බලාගාරයට තව මාස හයකට අවශ්‍ය ගල් අඟුරු ගන්න ති‍බෙනවා. මොකද මාස හයකට නැවකට එම ප්‍රදේශයට ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. 2001 මම අගමැතිධූරයට පත්වුණාම නොරොච්චෝලේ ව්‍යාපෘතිය නතර කළා ඒ, මාස හයේ ගැටළුව නිසා. අපේ ආණ්ඩුව පරාජය වුණාට පස්සේ ඔවුන් නැවත ඊළග ආණ්ඩුවට ගිහින් කිව්වා මේක කරමු, මෙතන තමයි හරි තැන කියලා. ඒවා කරපු අය දැන් නැහැ. විශ්‍රාම ගිහින්. ඒත් මම මේවා මතක් කරන්න කැමතියි. 

“අපිට 2002 දී විදුලි බලය ගැන වාර්තාවක් දුන්නා. ඒ අනුව 2003 දී මේ දැන් තිබෙන කෙටුම්පතම තමයි කරු ජයසූරිය මහත්තයාත් විදුලිබල අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළේ. අපි 2004 පරාජය වුණාට පස්සේ එය ක්‍රියාත්මක කළේ නැහැ. ඒක ක්‍රියාත්මක නොකර, මේ අය කිව්වා 2007 පනත ගේන්න කියලා. එම පනත අනුව කිසිම විදුලි බලාගාරයක් ඇති කරලා නැහැ. 

"2017, 2018 අපි ඉන්දියාව සහ ජපානය සමග කතා කරලා එල්.එන්.ජී. විදුලි බලාගාරදෙකක් ලබා ගත්තා. අපේ ආණ්ඩුව පරාජය වුණාට පස්සේ මොකක්ද මේ අය කළේ, මේ තිබෙන ගිවිසුම් අහෝසි කරන්නෙත් නැතිව ඇමරිකාවේ නිව්‍ ෆෝට්‍රස් එකට දුන්නා. ඊට පස්සේ ඒකටත් අකමැති වෙලා චීනයට යි, පකිස්ථානයට යි ලබා දුන්නා. 

"එකම භූමියේ ඉන්දියාව, ජපානය, ඇමරිකාව, චීනය, පාකිස්ථානය ඉන්නවා. ලෝක යුද්ධයක් ඇති නොවුණ එක තමයි මෙතන නොවුණ ලොකුම දේ. රුසියාව විතරයි නැත්තේ. දැන් මේක විසඳන්න කියලා මට කියනවා. ලෝකේ හැමතැනම ඉන්න බලවතුන්ට එකම ඉඩම දීලා. ඉන්දියාව යි, ජපානය යි සමග එල්.එන්.ජී බලාගාර දෙක හැදුව නම් අද ඒකවත් ඉතුරුවෙනවා," ජනපති පැවසීය. 

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත්තේ කවුද, ඔවුන්ට ලබාදෙන දඩුවම කුමක්දැ යි මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ එකඟතාව මත ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත්කළ හැකි බව යි.