මහා සංඝරත්නයේ දැඩි බලපෑම නිසා ආණ්ඩුව ආගමික සිද්ධස්ථානවලට විදුලිබිල සහනයක් ලබාදෙයිද?

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ මෙරට ඇති ආගමික සිද්ධස්ථාන 48,000 න් 36,000කට විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව ගෙවීමට සිදුව ඇති උපරිම විදුලි බිල රුපියල් 3,990ක් පමණක් බවයි.

විශාල මුදලකින් විදුලිබිල වැඩිවූ සිද්ධස්ථාන 12,000ක් ඇති බව තමා පිළිගන්නා බවට අමාත්‍යවරයා පවසයි.

මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ ශ්‍රී ලංකාවේ ආගමික සිද්ධස්ථාන 48,000 ක් පමණ පවතින බවත් ඉන් 38,000ක් පමණ විදුලි ඒකක 180ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අතර එම ආගමික සිද්ධස්ථාන වලට මේ වන විටත් සියයට 50ක් දක්වා වූ සහනාධාරයක් ලබාදී ඇති බවයි.

ඔහු තවදුරටත් පැවසුවේ තම කොමිසම රජයට පවසන්නේ ආගමික සිද්ධස්ථාන වලට යම් සහනයක් ලබාදෙන්නේ නම් එය මහ භාණ්ඩාගාරය හරහා හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා ලබදිමට පියවර ගන්නා ලෙසයි.

"විදුලිබල මණ්ඩලය ලාබ ලබන්නේ නෑ. සී.ඊ.බී එක සාමන්‍ය ජනතාවගෙන් ලබාගන්නා සල්ලි වලින් පුජනීය ආයතන වල බිල ගෙවීම කොමිසමක් වශයෙන් අපි අනුමත කරන්නේ නෑ," ජනක රත්නායක පැවසීය.

"මහජනතාවගෙන් ලබාගන්නා සල්ලි වලින් තමයි මේ පුජනීය ස්ථාන වල බිල ගෙවන්න වෙන්නේ එකට අපි කැමති වෙන්නේ නෑ. යම්කිසි සහනාධාරයක් ලබාදෙනවා නම් රාජ්‍ය මඟින්, මහ භාණ්ඩාගාරය මඟින් හෝ සංස්කෘතික අරමුදල මඟින් නැත්නම් අදාළ අමාත්‍යංශය මඟින් ලබාදිය යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නේ."

"ලංකාවේ තියෙන පොඩි පන්සල් වලින් සියයට 99ක් ඔක්කොම බිල හරි වෙලාවට ගෙවනවා ප්‍රශ්නය තියෙන්නේ ලොකු පන්සල් වල ලොකු බිල් තමයි ගෙවන්නේ නැත්තේ." පැවසුවේය.

විදුලිබිල වහා අඩු කරන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගෙන් ආණ්ඩුවට එල්ලවන බලපෑම තිව්‍ර මුහුණුවරක් ගෙන තිබේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ, අද පන්සල් ගැන වැඩියෙන්ම කතා කරනු ලබන්නේ V8 වාහනවල යන හාමුදුරුවරුන් බවයි.

තවත් පාර්ශව පෙන්වා දෙන්නේ ඇතැම් සිද්ධස්ථාන දෛනිකව විශාල ආදායමක් ලබන බවයි. ඇත්තටම ආගමික සිද්ධස්ථානවලට විදුලිබිල සඳහා සහනයක් ලබා දිය යුතුද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

මහාසංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින් පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආගමික සිද්ධස්ථාන දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බවයි.

ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහ සහනදායී විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සම්පාදනය කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුහු ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියෝය.

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපති ට ලිපියක්

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාව පිළිබඳව දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පවතින ගැටලුව ජනාධිපතිවරයාගේ අවදානයට යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක්කල් ලබාදී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවයි.

ආගමික සිද්ධස්ථාන මඟින් සිදුකරන සාමාජීය සේවය අවතක්සේරුවට ලක්කරමින් මූල්‍යමය ලාභ උපදවන කර්මාන්තශාලා මට්ටමෙහිලා සළකමින් සිදුකර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් අතිශ්‍ය දුෂ්කර තත්ත්වයක් උද්ගතව ඇති බවද ලිපිය මඟින් මහනාහිමිවරු පෙන්වා දී තිබේ.

ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රකොට ගනිමින් සූර්යබල පද්ධති දිරිගැන්වීමට කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් මෙම විදුලි අර්බුදය සඳහා දිගුකාලීන විසඳුමක් ලබාදිය හැකි බවද අදාළ ලිපියෙන් යෝජනා කර ඇත.

මහජන මුදල් අවභාවිතව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් නොකොට ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙයි.

ඒ හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මඟින් සමාජයට සිදුවෙන සේවය සලකා ක්‍රමවත් සහනශීලි නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවද මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවධාරණය කර සිටිති.

ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායාක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල , අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන, අමරපුර මහනිකායේ මහනායාක අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි සහ රාමඤ්ඤ මහානිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

විදුලිබල ඇමති දැඩි ස්ථාවරයක

විදුලි ගාස්තු ඉහළ නැංවීම සහ විදුලි ගාස්තු අඩු කරන ලෙසට ආගමික නායකයින්ගෙන් කෙරෙන ඉල්ලීම් පිළිබඳව (සැප්තැම්බර් 20 වැනිදා) පාර්ලිමේන්තුවේදී ද සංවාදයට ලක්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අවධාරණය කළේ, පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ණය සහන ලබා දිය හැකි වුවත්, විදුලිබල මණ්ඩලය මුල්‍යමය වශයෙන් පරිහානියට පත් කළ නොහැකි බවයි.

"අපි විදුලිබල මණ්ඩලය හැටියට, විදුලිබල අමාත්‍යංශය හැටියට සූර්ය පැනලයන්ට කව්රු හරි යනවා නම්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය දෙන්න, සූර්ය පැනවලවලට කවුරු හරි යනවා නම් ඒ සඳහා ණය යෝජනා ක්‍රමයක් දෙන්න. එවැනි ක්‍රමවලට යන්න පුලුවන්කම තියෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුළින් කරන්න පුලුවන් කියලා." ඔහු පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කළේ, "මම දැක්කා ඊයේ පෙරේදාත් මට චෝදනා එල්ල කරමින් සංඝ ආඥාවක් ඉදිරිපත් කරන්න යනවා මට විරුද්ධව. මට ඡන්දය දෙන්න එපා කියලා කියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මට විරුද්ධව මොන ප්‍රකාශ කළත් මට කියන්න තියෙන්නේ, විදුලිබල ඇමතිවරයා හැටියට විදුලිබල මණ්ඩලය තවදුරටත් මුල්‍යමය වශයෙන් පරිහානියට පත් කරන්න බැහැ."

මේ අතර සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් "බුදුසසුන බැබලේවා කියලා ආපු මේ ගොල්ලෝ දැන් මේ බුදු සසුන ඕෆ් කරලා දාන්න හදන්නේ." යැයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් චෝදනා කළේය.

කෙසේවෙතත් සමගිජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමර වෙල්ගම කියා සිටියේ විදුලිබිල පිළිබඳ ප්‍රශ්නය ඇත්තේ V8 වල යන හාමුදුරුවරුන්ට බවයි.

"දැන් අද පන්සල් ගැන වැඩියෙන්ම කතා කරන්නේ V8එකේ යන හාමුදුරුවෝ. V8 එකේ යන හාමුදුරුවෝ තමයි පන්සල් ගැන කතා කරන්නේ"

ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විදුලි බිලට සහනාධාර ලබා දිය නොහැකි බවයි.

"පොඩි උපදෙසක්, මෙතුමව අමාරුවේ දාන්න නෙම් කියන්නේ. විදුලිබිල සහනාධාර දෙන්න බැහැ. සහනාධාර කියන එක නැහැ කියලා මහ බැංකු අධිපති කියනවා. සහනාධාර දෙන්න ගිහිල්ලා තමා අපි හුඟක් අමාරුවේ වැටුණේ. හොරකම නවත්තන්නත් ඕනේ."

විහාරස්ථාන සඳහා අඩු පොලියට සෝල පැනල ලබා දීම පිළිබඳවද ඔහු අදහස් පළ කළේය.

"මම කියන්නේ මේකට ක්‍රමයක් හදන්න අඩුපොලියට. වැඩි පොලියක් ගන්න එපා. සාමාන්‍යයෙන් 4%ක් වගේ අඩු පොලියක් ගන්න. එතකොට හැම එක්කෙනෙක්ටම ගන්න පුලුවන්. ලොකු පන්සල් ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් පොඩි පන්සල්වලට දෙනකොට 4% පොලියට දෙන්න."

ගෙවන්න බැහැ...ගෙවන්නේ නැහැ

විදුලි බිල වහා අඩු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සර්ව ආගමික නායකයින් සැප්තැම්බර් 20 වැනිදා කොළඹට රැස්විය.

කොටුව දුම්රිය පොල ඉදිරි පිටින් ආරම්භ වූ සර්ව ආගමික නායකයින්ගේ පා ගමනට වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම මහජන සභාවේ නියෝජිතයින්ද සහභාගි වූහ.

"ගෙවන්න බැහැ. ගෙවන්නේ නැහැ" වැඩි වූ විදුලි බිලට එරෙහි මහජන විරෝධය යන්න තේමා කරගනිමින් විරෝධතාව පැවැත්විණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි අවධාරණය කළේ, විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම සඳහා යෝජනා 12ක් සකස් කර ඇති බවයි.

ඒ පිළිබඳ පැහැදිලි කළ පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කළේ, "විදුලි බල මණ්ඩලයට පාඩු නම්, විදුලි බල මණ්ඩලයේ සල්ලි නැත්නම්, අපි කියන්නම් විදුලිබල මණ්ඩලයට සල්ලි හම්බකරන විදිහ. විදුලිබල මණ්ඩලයේ තියෙන පාඩු පියවා ගෙන අතිශයින් විශිෂ්ට ආකාරයෙන් ලාභ ලබන ක්‍රමය අපි කියන්නම්. ඒ කියන ක්‍රම යෝජනා 12ක් අපි හරි ගස්සලා තියෙනවා. ඒ 12 අරගෙන අපි සූදානම් වෙනවා විදුලිබල ඇමතිතුමා හමුවෙන්න."

සොභිත නාහිමියන් පෙන්වා දුන්නේ, "රුපියල් බිලියන 36ක් අතහැරලා තියෙනවා, දේශපාලන හොරුන්ට, තක්කඩින්ට. ඇමතිතුමා කියනවා විදුලි බලය පිරිමහන්නලු, පිරිමහන්න ඒගොල්ලෝ කියන්න ඕනේ නෑනේ. මේ සල්ලි යන්නේ අපේ අතින් නම් අපි දන්නවා පිරිමහන්න. සෝලා පැනල් හයි කරගන්න, කරුණාකරලා ආණ්ඩුවෙන් කරලා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට නම් ඒසා විශාල මුදලක් වැය කරන්න සල්ලි නැහැ."

ජනතාවද පවසන්නේ, ගෘහස්ථ විදුලි ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, කිසිලෙසකින් තම ආදයම වැඩි වී නොමැති බවයි. ආහාර ඇතුලු සියලු ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම හමුවේ විදුලි බිලද වැඩි විම තමන්ට අමතර බරක් වී ඇතැයි මහජනතාව පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ මහජනතාවට ඔවුන්ගේ වැඩිවූ විදුලි බිලට සහනාධාර ලබාදිය යුතු බවයි.

ආගමික ස්ථානවලට නොදෙන සහන ව්‍යාපාරිකයන්ට දෙන්නේ කුමන පදනමකින් ද?

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසන්නේ මේ දක්වා තමන් ගෙවමින් සිටියේ රුපියල් 12,000 ක විදුලිය බිලක් බවත් මේ වන විට එම බිල රුපියල් 60,000 ක් වී ඇති බවත්ය.

ඒ අනුව වැඩි වූ 60,000 ක බිල නොගෙවා දිගටම රුපියල් 12,000 ක් පමණක් ගෙවීමට තීරණය කර තිබෙන බව උන් වහන්සේ පැවසූහ.

වැඩි වූ විදුලි බිල නොගෙවීමට භික්ෂූන් වහන්සේලා තීරණය කර ඇති බව පවසන මැදගොඩ අභයතිස්ස හිමියෝ පන්සලේ විදුලිය විසන්ධි කළහොත් ඊට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වගකිව යුතු බවද පවසති.

උන්වහන්සේ පෙන්වා දුන්නේ විද්‍යාලංකාර පිරිවෙන සදහා මසකට රුපියල් පනස් දහසක පමණ විදුලි බිලක් ලද බවත්, මේ වන විට එම බිල රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වී ඇති බවත්ය .

විහාරස්ථානවල විදුලි ඒකක 180 ඉක්මවූ විට ඒකකයකට රුපියල් 65ක් බැගින් අය කරද්දී ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයකට අය කරන්නේ රුපියල් 32ක් වැනි මුදලක් බවත් උන් වහන්සේ සඳහන් කළහ.

ආගමික ස්ථානවලට නොදෙන සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමකින්දැයි උන් වහන්සේ තව දුරටත් ප‍්‍රශ්න කළහ.

"විහාරස්ථානවල නඩත්තුව පිළිබඳ ලබා දීලා තියෙන පහසුකම් කපා හැරීම එකපැත්තකින් 9 වැනි වගන්තියේ ව්‍යවස්ථාවේ, බුදුසසුන විතරක් නෙමේ සෙසු ආගම්වලටත් මේවා දීල තිබුණා. විශේෂත්වය අත්හැරීමක්ද ? දායකත්වය අත්හැරීමක්ද? කියලා අපිට කල්පනා කරන්න වෙනවා." අභයතිස්ස හිමියෝ පැවසූහ.

''බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා ඉස්සර වගේ බෝධි පූජාව කරමු''

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, විදුලිබිලි වැඩි කිරීම රජය කැමැත්තෙන් කරන කාර්යයක් නොවන බවයි.

"අද වන විට ජනතාවගේ විදුලි බිල, ජල බිල වැඩිවෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් යම්කිසි අපහසුතාවන්වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ආර්ථිකයක් ගොඩනගන්නේ නැතිව ණය මත පදනම් වෙච්ච ආර්ථිකයට යන්න ගියාම මෙවැනි දෙයකට රටක් විදිහට මුහුණ දෙන්න සිදුවෙනවා." ඔහු පෙන්වා දුන්නේය.

"විදුලි බිල වැඩිවිම ගැන පහුගිය දවස්වල ලොකු කලබගැනියක්, විවේචනයක් එල්ලවෙලා තිබෙනවා. විදුලි බිල වැඩිවීම තෝරගත් පිරිසකගේ නොවේ. අපි හැමෝගෙම විදුලිබිල වැඩිවෙලා තිබෙනවා. මේ රටේ තිබෙන වත්මන් ආර්ථික තත්ත්වය අනුව අපි ටික කාලයකට හරි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ජනතාව හැටිය කටයුතු කරමු කියලා ඉල්ලීමක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ලොකු විරෝධයක් තිබෙනවා පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා. ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මේ දේ කැමැත්තෙන් රජය විසින් සිදු කරනවා නොවේ. මේ දේ කරන්නේ මේ තිබෙන ආර්ථික තත්ත්වය මතයි," යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ "අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු. ආයිත් අපිට පුළුවන් වෙයි නොදුරු අනාගතයේදී ලස්සනට විදුලි ආලෝකයෙන් ඒ දේ කරන්න. එතකන් රට වෙනුවෙන් ඉවසමු කියන ඉල්ලීම කරනවා."