විදුලි බිල වැඩි කිරීම අසාධාරණ ද?

අගෝස්තු 10 වැනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදුන්නේය.

ඒ බව දැනුම් දෙමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සාමාන්‍යයක් ලෙස 75%කින් විදුලිගාස්තු ඉහළ නංවා ඇති බවයි. එසේ වෙතත් බොහෝ පාරිභෝගිකයින් පවසන්නේ මෙම ගාස්තු වැඩි කිරීම අසාධාරණ බවයි.

පාරිභෝගිකයින් මොකද කියන්නේ?

පාරිභෝගිකයින් පවසන්නේ මෙම ගාස්තු වැඩි කිරීම අසාධාරණ බවයි.

"මේක ආසාධාරණයක්, මණ්ඩලයේ නිලධාරීන්ගේ දුෂණ, අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි හන්දා තමා විදුලිබල මණ්ඩලය මෙච්චර පාඩු ලබන්නේ. දැන් මේ පාඩුව මහජනයගේ කර පිටට පැටවීමක් තමා මේ කරලා තියෙන්නේ" මහනුවර ප්‍රදේශයේ පදිංචි පාරිභෝගිකයෙකු වන තිලකා බණ්ඩාර සඳහන් කළේය.

පාරිභෝගකයින් පෙන්වා දෙන්නේ ඉන්ධන, අහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිම සහ ඉහළ උද්ධමනය හමුවේ මෙම ගාස්තු ඉහළ නැංවීම දරාගත නොහැති තරම් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද අවධාරණය කළේ මෙම විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බවයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ පවත්නා අකාර්යක්ෂමතාව කෙරෙහි සැළකිල්ලක් නොදක්වමින් මණ්ඩලයේ දුර්වලතා කෙළින්ම ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියා කර ඇතැයි ඔහු පැවසීය.

"විදුලි බිල වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත මහජන උපයෝගීතා කොමිසම ක්‍රියා කරන බව ප්‍රකාශ වී තිබෙනවා. මේ අනුව ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සමස්තයක් හැටියට 95% කින් දෙගුණයකින් පමණ විදුලි බිල වැඩි වීමට නියමිතයි. ඒකක 30 ට අඩු ඒ කියන්නේ ඉතාමත්ම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන කණ්ඩායම් සඳහා ඒක 264% පමණ ප්‍රමාණයක්. ඒ වගේම ඒකක 180 ට වැඩියෙන් ඉහළ ගණයේ විදුලි පාරිභෝගිකයන් සඳහා 75% ක පමණ වැඩිවීමක්. වාණිජ ස්ථාන සඳහා වැඩිවීම 37% ක්. කර්මාන්ත සඳහා 86% ක්, හෝටල් වලට 67% ක්, ආණ්ඩුවේ ආයතන සඳහා 90% ක්, ආගමික මධ්‍යස්ථාන සඳහා වැඩිවීම 489% ක් හැටියට මේ වැඩිවීම වෙලා තිබෙනවා. මේක තමයි දැනට ඉදිරිපත් වෙලා තිබෙන සූත්‍රය," චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙවර විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුයේ වසර 10 කින් පමණය.

ලංකා විදුලිබල මණ්ඩලයද මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන අතරින් මුල්පෙළ ආයතනයක් වන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද විශාල වශයෙන් මුල්‍ය අර්බුදයකට මුහුණ දී තිබුණි. එපමණක් ද නොව මහ භාණ්ඩාගාරය නිරන්තරයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට මුල්‍ය පහසුකම් ලබාදීම හමුවේ රටේ සමස්ත ආර්ථිකයටම විශාල බලපෑමක් එල්ල කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එම පාඩුව තවත් වර්ධනය වෙමින් ඇත.

චම්පික රණවක මන්ත්‍රීවරයා කියා සිටියේ "විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා පාඩු ලබන බව ඇත්තක්. නමුත් මේ සඳහා මහජන උපයෝගිතා කොමිසම රැස් කරපු අවස්ථාවේදීත් මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය මේ සමාජයට කරන්නේ ලොකු සේවයක්. අද තියෙන විදුලි ඉල්ලුමත් එක්ක බැලුවහම වැඩි ඉල්ලුම තියෙන අය පාලනය වෙන විදියට වැඩි ඉල්ලුම තියෙන අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන්න කියන එක."

"අද ආර්ථික අර්බුදය හමුවේ විදුලි ඉල්ලුම ඉතා බරපතල විදිහට කඩා වැටිලා තියෙනවා. ඇත්තටම මේ වර්ෂා සහගත තත්ත්වයත් එක්ක ගල් අඟුරු සහ ජල විදුලියෙන් පමණක් විදුලි සැපයුම ලබා දෙන්න පුළුවන් මට්ටමකට 20% - 25% ක් අතර ප්‍රමාණයකින් විදුලි ඉල්ලීමේ කඩාවැටීමක් අපිට පේන්න තියෙනවා."

"මේ තත්ත්වය යටතේ ඒ කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ඇතිව තියෙන ආර්ථික ගරා වැටීම. දැන් මේ විදිහට මේ කර්මාන්ත සඳහා 86% කින් මේක වැඩි කළාට පස්සේ ඒ ක්ෂේත්‍රවලට ඉතාම බරපතල ප්‍රශ්ණයක් උදාවෙනවාට සැකයක් නැහැ මේක. ඉතින් ඒ නිසා මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒක එච්චර යුක්ති සහගත තත්ත්වයක් වෙන්නේ නැහැ." ඔහු පෙන්වා දුන්නේය.

ජනතාව පිට පැටවීම යුක්ති සහගත නැහැ

විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම විදුලිබල මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ඇගයීම් පද්ධතියකින් තොරව විදුලිබල මණ්ඩලයේ සියලුම වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නොවන බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේය.

ඔහු කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම්වලට සමානව එය සිදු කළ යුතු බවයි.

"අපි 2015 දි අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළා. විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වා දීමක් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව විධිමත් මිල සූත්‍රයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම සකස් කර ගනිමින් මේ කටයුත්ත කරන්න."

"ඒ සඳහා දැනටමත් අවශ්‍ය කරන ඒ කාර්යක්ෂමතා කඩයිම්, අපි අඳුන්වලා දීලා තියෙනවා විදුලිබල මණ්ඩලයට 2015 දි. ඒ අනුව, ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි නැත්නම් මේ විදුලිබල මණ්ඩලයේ සියලුම අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් ජනතාව පිට පැටවීම තමයි මේ ආකාරයට සිදුවන්නේ."

භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව විදුලි බිල වැඩිවන ආකාරය

  • ඒකක 30 ට අඩු: 264% කින්
  • ඒකක 31-60: 200% කින්
  • ඒකක 61-90 : 125% කින්
  • ඒකක 91-120: 89% කින්
  • ඒකක 121-180: 79% කින් වශයෙනි.

කැපිටල් එලයන්ස් සිකුරිටිස් ආයතනය මෙම මිල වැඩිවන ආකාරය සඳහන් කර ඇති ආකාරය:

මහජන උපයෝගීතා කොමිසමේ කාර්යභාරය මේකද?

මහජන උපයෝගීතා කොමිසම 2002 වසරේදි පිහිටවනු ලැබුවේ ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජල සම්පාදන මණ්ඩලය කියන රජයට අයත් උපයෝගීතා ආයතන පිළිබඳ නියාමන ආයතනයක් ලෙසය.

ඒ එම ආයතන කලින් සම්පූර්ණ රජයේ අයිතිය තිබියදී එම ආයතන කොටස් වලට කැඩීමට එවකට පැවති ආණ්ඩුව ගත් තීරණයක් අනුවය.

"ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය කඩන්න තීරණය කළා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදාහැරීම් ක්ෂේත්‍රයේ කොටස් තුනකට කඩන්න තීරණය කළා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයටත් එවැනි යෝජනාවක් තිබුණා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ, පෞද්ගලික අංශයේ අයත් යම් විදිහකට මේ ක්ෂේත්‍රවල ජලය, තෙල් හා විදුලිය සැපයීම් කරනවා නම් ඒගොල්ලන්ව නියාමනය කරන්න ඕනේ."

"ඒ සඳහා තමයි මහජන උපයෝගිතා කොමිසම මතු වුණේ. නමුත් අනික් ආයතන කිසිවක් මහජන උපයෝගිතා කොමිසමට ඉඩ දෙන පරිද්දෙන් තමන්ගේ අණ පනත් වෙනස් කළේ නැහැ. විදුලිබල මණ්ඩලය පමණක් 2009 දි තමන්ගේ අණ පනත් වෙනස් කරපු නිසා දැන් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය, විදුලිබල මණ්ඩලයේ ගාස්තු වගේ දේවල් සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීම නීත්‍යානුකූල ප්‍රතිපාදනයක්." චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය සියයට 183%ක හා සියයට 229%ක් වශයෙන් ගාස්තු ඉහල දැමීමේ යෝජනා 2ක් කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණි.

මේ යෝජනා දෙක අනුමත කිරීමෙන් තොරව ඒ වෙනුවට සාධාරණ ගාස්තු වැඩිකිරීමකට පියවර ගත් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසීය.

"ඒකකයක් ජනනය සඳහා රුපියල් 32ක් වැය වුණත් ගෘහස්ත අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් ආරක්ෂා කිරීම සඳහා එම සමස්ත පිරිවැයේ බර ඔවුන් මත පටවා නැහැ. ඒකක 30 වඩා අඩු පරිභෝජනයක් සහිත කාණ්ඩයෙන් තවමත් අය කරන්නෙ පිරිවැයෙන් සියයට 25ක්".

ඔවුන්ට තවමත් සියයට 75ක සහනාධාරයක් හිමි වන බව ජනක රත්නායක කියා සිටියේය.

"ඒකක 31ට වැඩි 60ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන් සියයට 40ක ප්‍රමාණයක්. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබෙනවා. ඒකක 61ට වැඩි 90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ සියයට 50ක ප්‍රමාණයක් පමණයි. එම කාණ්ඩයටද සියයට 50ක සහනාධාරයක් ලබාදෙනවා."

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75ක සංඛ්‍යාවකට තවමත් සහනාධාර ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 48ක් ඒකක 90 ට අඩුවෙන් භාවිතාකරන කාණ්ඩයට අයත් බවයි.

ජනක රත්නායක වැඩිදුරටත් පැවසුවේ මේ වන විට මහ භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 85ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති අතර එයින් බිලියන 60ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතුව තිබූ ණය පියවීමට කටයුතුකර ඇති බවයි. එම නිසා මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය තවදුරත් පාඩු ලබන තත්ත්වයෙන් මිදී ඇති බවයි.