රටට ඩොලර් ගේන ඇඟලුම් සේවකයින්ට රුපියල් 1000ක දෛනික වැටුපක් දිය නොහැකිද?

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රමුඛතම ආදයම් මාර්ගයක් වන්නේ ඇඟලුම් කර්මාන්තයයි.

පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාව ඉහළම අපනයන ආදයම ඉපයීමට සමත්වු අතර ඉන් වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ ඇඟලුම් කර්මාන්තයි.

මෙම වසර අවසන් වන විට ඇඟලුම් කේෂ්ත්‍රයේ අපනයන ඉලක්කය ඩොලර් බිලියන 6 කි.

ඇඟලුම් යනු ශ්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ ආදායම් උපයන කේෂත්‍රයක් වන අතර එය රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයයි. මෙම අංශය පුද්ගලයන් 350,000 කට සෘජු රැකියා සපයන අතර තවත් 700,000 කගේ ජීවනෝපාය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංසඳය පෙන්වා දෙයි.

එසේවුවත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇඟලුම් සේවකයින් පවත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය.

පවතින දුෂ්කරතා හමුවේ වුවද ඇඟලුම් සේවකයින්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමට මෙතෙක් එකඟතාව පළවී නැතැයි ඇඟලුම් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මසකට ඇති දින 30න් නිවාඩු දින 04 ඉවත් කර තමන් වැඩ කරන දින 26 සඳහා දෛනිකව රුපියල් 1000 බැගින්, රුපියල් 26000ක වැටුපක් ලබා දෙන ලෙස වෘත්තීය සමිති බලධාරින්ගෙන් ඉල්ලා ඇත.

නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සේවකයින් මේවන විට බරපතල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බවයි.

"අපි කිව්වා අඩු වශයෙන් දවසකට ඇඟලුම් සේවකයින්ගේ වැටුප රුපියල් 1000ක් කරලා. රුපියල් 26000ක මාසික පඩියක් දෙන්න කියලා. දැන් තියෙන්නේ රුපියල් 16000යි මාසික පඩිය. දැනට ජාතික අවම වැටුප රුපියල් 16000යි. අපි යෝජනා කරන්නේ 26000 කරන්න, දවසකට රුපියල් 1000 ගාණේ."

"දවසකට රුපියල් 1000කිනුත් අද මොනවා කරන්නද? අපි ඉල්ලුවාම 26000ක් දෙන්න බැහැලු. අඩු සේවක සංඛ්‍යාවකගෙන් වැඩි නිෂ්පාදනයක් ගන්නවා. අනික් පැත්තෙන් රුපියල අවප්‍රමාණය වීම නිසා වැඩි අදායමක් ලබනවා."

"ඩොලරය රුපියල් 200 ට තිබ්බ මිලට අද 375ක් හම්බ වෙනවා. මේ ඔක්කෝම ලාභය භුක්ති විදිනවා. නමුත් සේවකයින්ට යමක් ඉල්ලපුවාම දෙන්න සූදානම් නැහැ." අන්ටන් මාර්කස් කියා සිටියේය.

කෙසේවෙතත් ඇතැම් ආයතනවල ඇඟලුම් සේවකයින්ගේ වැටුප රුපියල් 16000 ඉක්මවයි.

කෙසේවෙතත් ඇන්ටන් මාර්කස් කියා සිටියේ "සමහර ආයතනවල ඊට වැඩිය ගෙවනවා. දිරි දීමනා, අතිකාල දීමනා වශයෙන් ගෙවනවා. නමුත් ඒ දීමනා හැමදාම තියෙන ඒවා නෙමේ. මූලික වැටුපට එල්ලලා තියෙනවා."

ඔහු කියා සිටියේ ජාතික කම්කරු උපදේශක සභාවේදී වැටුප් වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

"අපි ඉල්ලුවා 26000ක්. නමුත් ඒගොල්ලෝ තීරණය කළා 21000ක්. දවසට 1000ක් ගත්තෝත් මාසයට දින 30ක් තියෙනවා. අපි ඉල්ලුවේ වැඩකරන දින 26ට 26000ක්.

"වැඩිම අපනයන කරන සේවකයින්ට දවසකට රුපියල් 1000ක් දෙන්න සූදානම් නැහැ. ඕඩර්ස් නැති එක ගැන තමා කතා කරන්නේ. සේවකයින්ට බරපලත ප්‍රශ්නයක් තියෙනවා." ඇන්ටන් මාර්කස් අවධාරණය කළේය.

ඇණවුම් පහත වැටිලා

ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි ඇඟලුම් කර්මාන්තකරුවෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ හා යුරෝපයේ උද්ධමනය ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

කෙසේවෙතත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවන් එසේ ප්‍රකාශ කළ ද කලාපයේ සෙසු රටවල මෙවැනි තත්ත්වයක් බලපා ඇතැයි තමන්ට වාර්තා වී නොමැති බවයි.

වෘත්තීය සමිති සැක පළ කරන්නේ මේ හරහා යළි ඇඟලුම් කේෂත්‍රයේ සේවක කප්පාදුවක් සිදුවේද යන්න පිළිබඳවයි.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පවසා සිටියේ මේවන විට සේවකයින් වැඩට නොපැමිණීමේ ප්‍රතිශතය වැඩි වී ඇති බවයි. "සේවකයෝ තෙල් පෝලිම්වල ඉන්නේ." ඔහු කියා සිටියේය.

"ගැණුම්කරුවන් ඇත්ත දැනගත්තොත් කර්මාන්තයට බලපායි කියලා කර්මාන්තකරුවන් ඇත්ත ගැටලුව කියන්නේ නැහැ." මාර්කස් පෙන්වා දුන්නේය.

"කොවිඩ් කාලේ සේවකයෝ 150,000ක ගේ රැකියා අහිමි කෙරුවා. කෝව්ඩ් ආරම්භ වෙද්දි 2020 මුල් කාර්තුවේ ඇත්තටම ලංකාවේ හිටියා ඇඟලුම් සේවකයෝ ලක්ෂ 5ක් සෘජුව සේවය කරන. දැන් ඉන්නේ 350000."

"150000කගේ රැකියා නිල වශයෙන් අහිමි කෙරුවේ නැහැ. සේවකයින්ට වැඩට එන්න එපා වෙන තත්ත්වයට වැඩ කෙරුවා. ඔවුන්ගේ පැමිණිමේ දීමනාව කැපුවා. ප්‍රවාහනය කැපුවා, කෑම නොදී හිටියා. ඒ ඔක්කමත් එක්ක ගම්වල ගිය සේවකයෝ ආපහු ආවේ නැහැ" ඇන්ටන් මාර්කස් පැවසීය.

"අඩු සේවක සංඛ්‍යාවක් දැනටමත් ඉන්නේ. මේ අඩු සේවක සංඛ්‍යාවෙන් තමයි, ඊයේ පෙරේදා අපි දැක්කා වාර්තා වුණා මේ අවුරුද්දේ ජූනි මාසයේ තමා වැඩිම අපනයන කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අඩු සේවක සංඛ්‍යාවකගෙන් වැඩ කොටස වැඩි කරලා තමා ඒ නිෂ්පාදනය දීලා තියෙන්නේ. නමුත් ඒ ප්‍රමාණයට සේවකයින්ගේ වැටුප් වැඩි වුනේ නැහැ නේ."

වාර්තාගත අපනයන ආදයමක්

2022 වසරේ ජුනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1248 ලෙස වාර්තාවී ඇත.

2021 වසරේ ජුනි මාසයට සාපේක්ෂව එය 23.9% ඉහළ ගිය අතර ඒ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන අගය වන බව මහ බැංකුව අනාවරණය කළේය.

කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2021 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජූනි මාසයේදී 28.4% කින් ඉහළ ගියේය.

ඇඟලුම් වලින් ලද ඉහළ අපනයන ආදායම මෙම කාර්මික අපනයන ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කළේය.

මහ බැංකුව පැවසුවේ සියලුම ප්‍රධාන වෙළෙඳපොළවල් වන එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත සිදු කළ ඇඟලුම් අපනයන වර්ධනය වී ඇති බවයි.

"මේ උද්ධමනය ගෝලීය තත්ත්වයක් නම් මේක ලෝකයටම බලපාන්න ඕනේ. අපේ තරගකාරී රටවල් වන වියට්නාමයට, චීනයට ඉන්දියාවට, බංග්ලාදේශයට බලපාන්න ඕනේ. අපිට පේන විදිහට එහෙම තත්ත්වයක් වාර්තා වෙලා නැහැ." ඇන්ටන් මාර්කස් පැවසීය.

"අපිට වාර්තා වන විදිහට මෙහෙ තියෙන ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ට තියෙනවා, ඉන්දියාවේ බංග්ලාදේශයේ කර්මාන්ත ශාලා. ඔවුන් මෙහෙ තියෙන කර්මාන්ත ශාලා වහලා සේවකයෝ එහෙ ගෙනියන්න හදනවා කියලා අපිට ආරංචියි. ඒ කියන්නේ එහේ ඇණවුම් ප්‍රශ්නයක් නැහැ කියලා නේ."

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මේ මාසයෙන් පසු ඇණවුම් නොමැති බවට ඇතැම් ආයතනවල කළමනාකරුවන් සේවකයින් කැඳවා දැනුවත් කර ඇති බවයි.

"හැම අවුරුද්දෙම මේ කාලයේ ඇණවුම් වල අඩුවීමක් තියෙනවා." ඇන්ටන් මාර්කස් වැඩිදුරටත් පැවසීය.

"හාම්පුතුන්ගේ සැලස්ම කෝවිඩ්වල කරපු දේ කරන්න යන්නේ. 50%ක් වැඩට කැඳවලා. 50%ක් පඩි දීලා ගෙදර තියෙනවා. කොවිඩ් කාලයේ කළේ ඒකනේ. ගෙදර ඉන්න 50% ආයිත් එන්නේ නැහැ වැඩට. වන්දි නොදී සේවකයින් අඩු කර ගන්නවා. තවත් වටයකින් සේවකයින් අඩු කිරීමට තමා මේ උත්සහය කියලා අපිට සැකයක් තියෙනවා." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒකාබද්ධ ඇඟලුම් සංසඳය මොකද කියන්නේ ?

විශේෂයෙන්ම මෙම පෙර නොවූ විරූ අර්බුදය මැද ඇඟලුම් සේවකයන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා කර්මාන්තය උපරිමයෙන් කටයුතු කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය පෙන්වා දුන්නේය.

ඇඟලුම් සේවකයන්ගේ වැටුප් ප්‍රමාණවත් නොවීම සහ මූලික වැටුප රු. 26,000 කළ යුත බවට වෘත්තීය සමිති කරන ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංසඳය අවධාරණය කරන්නේ මේ වන විට ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධක සහ අනෙකුත් කාර්ය සාධන දිරිගැන්වීම්වලට වඩා වැඩියෙන් වැටුප් සඳහා සැලකිය යුතු ජීවන වියදම් ගැලපීම් සිදු කර ඇති බවයි.

ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ඉල්ලා සිටින පරිදි, ඵලදායිතාව පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව එක සමාන (flat) මූලික වැටුප් අනුපාතයක් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලාංකේය ඇඟලුම්වල තරගකාරිත්වයට බාධා පමුණුවමින් ඵලදායිතාව අඩුවීමට ඉඩ ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසඳය පෙන්වා දෙයි.

තවද, මෙහෙයුම්, අමුද්‍රව්‍ය සහ නැව්ගත කිරීමේ සහ සැපයුම් වියදම්වල දැඩි වැඩිවීමක් තිබියදීත් උද්ධමනය සහ ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් 2021 වසරේ සිට 25%ක් වැනි ඉහළ ජීවන වියදම් ගැලපීමක් සේවකයන්ට ලබා දී ඇති බව එම සංසඳය සඳහන් කරයි.

සංසඳය අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම්, පුරෝකථනයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ පිරිවැයක් තිබියදීත්, වියළි සලාක බෙදා හැරීම, අමතර ආහාර, වෛද්‍ය පහසුකම් සහ විශේෂ ආහාර පැකේජ ලබා දීම සහ ප්‍රවාහනය වැනි සුබසාධන යෝජනා ක්‍රම ආරම්භ කිරීම ඇතුලු මූල්‍ය නොවන ප්‍රතිලාභ අඛණ්ඩව සේවකයින්ට ලබා දෙන බවයි.

සැබවින්ම ඇණවුම් ප්‍රතික්ෂේප වී හෝ අඩු වී නොමැති බැවින් ක්‍රියාකාරී බඳවා ගැනීම් පවතින අතර කර්මාන්තයට විවිධ කුසලතා ඇති පුද්ගලයින් අවශ්‍ය බවද ඒකාබද්ධ ඇඟලුම් සංසඳය අවධාරණය කළේය.