කඩුගන්නාව නායයෑමෙන් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

කඩුගන්නාවේ නායයමෙන් සිරවූ පුද්ගලයන් සොයා ඩෝසර් රථයකින් පස් ඉවත් කරන අකාරය
    • Author, බීබීසී සිංහල

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නොවැම්බර් (22 වැනිදා) සිදුවූ නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 4කි.

එමෙන් ම එම ප්‍රදේශයේ තවත් එවැනි නායයෑම් සිදුවීමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශය ආශ්‍රිතව ගැවසීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ මෙම ප්‍රදේශයේ අවදානම සම්බන්ධයෙන් මීට පෙර ද වාර්තාවක් නිකුත් කර තිබූ බව යි.

"පහළ කඩුගන්නාව කිලෝමිටර් 98ට කණුවට මීටර් 100කට පමණ පෙර ගල් පෙරලීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා එම ස්ථානයේ තිබුණු කඩ සහ නිවාස කිහිපයකට හානි වෙලා තියෙනවා," ඔහු පැවසීය.

"මේ ප්‍රදේශයේ කිලෝමීටර් 97 සිට 99 දක්වා අනතුරුදායක බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිරීක්ෂණය කරලා වාර්තාවක් නිකුත් කරලා තියෙනවා," ඔහු පැවසුවේ ය.

එමෙන් ම එම ප්‍රදේශයට ඉහළින් දුම්රිය මාර්ගය ද ගමන් කිරීම හේතුවෙන් අවදානමක් පවතින බව ඔහු පැවසුවේ ය.

එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සහ වෙළඳාම් කරන පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මාර්ගය භාවිත කරන්නන් සැලකිලිමත් වන්න

තවදුරටත් ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්වී බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින නිසා එයට බාධා සිදු නොවන අන්දමින්, නායයෑම සිදුව ඇති ගනේතැන්න මංසන්ධිය මගහැර යන ලෙස එම මාර්ගය භාවිත කරන්නන්ගෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

අනතුරු හැඟවීම් නිකුත් කර ඇති දිස්ත්‍රික්කවල ජනතාව නිරන්තරයෙන් සැලකිලිමත්ව සිටින ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

නායයෑම් පෙර ලක්ෂණ මතුවී ඇති අවස්ථාවල තාවකාලිකව එම ප්‍රදේශවලින් පිටව යන ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උසස් පෙළ සිසුන් 35ක් යුද හමුදා මැදිහත්වීමෙන් විභාග මධ්‍යස්ථානවලට

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊයේ දිනයේ [නොවැම්බර් 21] ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර එම නිසා මේ වන විට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම් ඇතිව තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව,

  • කළු ගඟේ මගුර ප්‍රදේශය
  • නිල්වලා ගඟේ මාතර දිස්ත්‍රික්කයේ පානතුගම ප්‍රදේශවල ජලමට්ටම් වැඩිවීම් වාර්තා වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 35 දෙනෙකු පමණ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් යුද හමුදාව විසින් විභාග මධ්‍යස්ථානවලට ගෙන ගොස් තිබේ.

දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක සිටින උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හෝ විභාග මධ්‍යස්ථානවලට යා යුතු ගුරුවරුන් හට විභාග මධ්‍යස්ථානවලට යාමට අපහසුතාවයක් පවතින්නේ නම් 117 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

නෙළුව නගරයේ, නෙළුව-දෙල්ලව මාර්ගයේ මීටර් 150ක පමණ කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති අතර, එම ප්‍රදේශය හරහා ගමනාගමනයට උපකාර කිරීම සඳහා යුද හමුදා ට්‍රක් රථ සහ ට්‍රැක්ටර් යොදවා ඇත.

මේ අතර, අකුරැස්ස ප්‍රදේශයේ, අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ මීටර් 200ක කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇති අතර එම ප්‍රදේශ හරහා ගමනාගමනය සඳහා යුද්ධ හමුදා යුනිබෆල් රථ යොදවා ඇත.

යුද හමුදා රථයකින් පිටතට බසින පාසල් සිසුන්

ඡායාරූප මූලාශ්‍රය, SL ARMY

ඡායාරූප ශීර්ෂ වැකිය, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 35 දෙනෙකු පමණ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් යුද හමුදාව විසින් විභාග මධ්‍යස්ථානවලට ගෙන ගොස් තිබේ

නායයෑම් නිවේදනය නිකුත් කර ඇති දිස්ත්‍රික්ක

මේ වන විට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති දිස්ත්‍රික්ක පහත පරිදි ය.

  • බදුල්ල
  • කෑගල්ල
  • රත්නපුර
  • කුරුණෑගල
  • මහනුවර
  • නුවරඑළිය

එමෙන් ම නායයෑමේ ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි දිනවලදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අද (නොවැම්බර් 22 වැනිදා) දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.