කොළඹ කැළඹූ තද සුළං ඇති වීමට බලපෑ හේතුව
- Author, බීබීසී සිංහල
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ (මැයි 29) වැසි සමග බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී නිවාසවලට හානි සිදුවීම් වාර්තා වී තිබේ.
කොළඹ ගාලු පාර, මැරයින් ඩ්‍රයිව් ප්‍රදේශය, කොල්ලුපිටිය සහ ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශවල ගස් කඩා වැටීම්, නිවාසවලට හානි සිදුවීම්, දැන්වීම් පුවරුවලට හානි සිදුවීම් ආදිය ඒ අනුව නිරීක්ෂණය විය.
ගස් කඩා වැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවාස 5කට පමණ හානි සිදුව ඇත. ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් මාර්ගයේ, කිරිවන්එළිය ප්‍රදේශයේ විදුලි රැහැන් සහ ගස් කඩා වැටී මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.
සාමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැම් පිරිස් වැසි සහ තද සුළං තත්ත්වය පිළිබඳ තම අත්දැකීම් බෙදාගෙන තිබිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් එම තත්ත්වය ඇතිවීමට පෙර සිට ම ජනතාව වෙත නිකුත් කළ බව ය.
එකවර සුළං තත්ත්වයක් ඇති වූයේ ඇයි?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ, දිවයිනට ඈතින් ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිසාවෙන් මුහුදේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් බවට පත් වී බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වීම තද සුළං තත්ත්වයක් ඇති වීමට හේතු වූ බව ය.
"පහළ පෘෂ්ඨයන් වෙනස් වෙනකොට ඔය ආකාරයේ සුළං තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා තමයි අධික සුළං තත්ත්වයක් නිර්මාණය වුණේ. නමුත් ඒක දැන් බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වෙලා ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා," ඔහු පැහැදිලි කළේ ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
වැසි සහ සුළං තවදුරටත්

පීඩන අවපාතය බංග්ලාදේශය වෙත ගමන් කළ ද ශ්‍රී ලංකාවට තවදුරටත් ඉන් වක්‍ර බලපෑම් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.
"මේ බලපෑම හේතුකොට ගෙන තමයි දිවයිනේ බස්නාහිර, සබරගමු, වයඹ, මධ්‍යම සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්නේ. වැස්සත් එක්ක සූර්යාලෝකය වැටෙන අවස්ථාත් තියෙනවා," ඔහු පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, සබරගමු පළාත, නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් පවතින බව ය.
"මීට අමතරව දිවයින තුළ තියෙන සුළං තත්ත්වයේ වැඩි වීමකුත් තියෙනවා. සුළඟ වැඩි වෙන්නේ විශේෂයෙන් ම වයඹ, උතුරු මැද, ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, පුත්තලම සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල. සුළඟ ප්‍රධාන වශයෙන් නිරිත දිශාවෙන් හමනවා."
ඔහු අනතුරු ඇඟවූයේ, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව ය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වයේ අඩුවීමක් ජූනි 2 වන දා වන විට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්
හලාවත සිට පුත්තලම හරහා ත්‍රිකුණාමලය දක්වාත්, ගාල්ලේ සිට පොතුවිල් දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය.
"එම මුහුදු සීමා රළු වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සුළඟේ වේගය 60-70 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. අනෙකුත් මුහුදු තීරවලත් සුළඟේ වේගය පවතිනවා පැයට කිලෝ මීටර 50-60 වගේ," ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව ඔහු පැහැදිලි කළේ ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, හලාවත සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළබඩ තීරයට ඔබ්බෙන් ඇති මුහුදු තීරවල මුහුදු රළ මීටර් 2-2.5ක පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ය.
විදුලි බිඳවැටීම් ඉහළට

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් විදුලි බිඳවැටීම් ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එවැනි බිඳවැටීම් CEBCare ජංගම යෙදුම හරහා හෝ 1987 කෙටි අංකයට ඇමතීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය වාර්තා කළ හැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ ය.
අද දවසේ වැසි සහ සුළං තත්ත්වය

අද (මැයි 30) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ය.
උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.















