එවරස්ට් කන්ද ආශ්‍රිතව 'අසාමාන්‍ය හිමපතනයකින්' කඳු නගින්නන් සිය ගණනක් කොටු වෙති: බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, BBC Nepali බීබීසී නේපාලි සේවය
හදිසි කාලගුණ වෙනස්වීමකින් පසු එවරස්ට් කන්දේ ටිබෙට් දෙසින් ඇති ප්‍රවේශ මාර්ගයේ අතරමංව සිටි කඳු නගින්නන් 350ක් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගනු ලැබ ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
තවත් 200කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන ඇති බවත්, ඔවුන් තවමත් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් නොමැති බවත් එහි සඳහන් වේ.
එවරස්ට් කන්දේ නැගෙනහිර දෙසට දිවෙන ටිබෙට් නිම්නයේ දැඩි හිමපතනය හේතුවෙන් සංචාරකයෝ සිය ගණනක් අතරමං වී සිටිති.
මෙම සති අන්තයේ චීනයේ දින අටක ජාතික නිවාඩුවක් ආරම්භ වන අතර, මෙම කාලය තුළ සැලකිය යුතු සංචාරකයින් සංඛ්‍යාවක් කලාපයට පැමිණෙති.

ඡායාරූප මූලාශ්‍රය, CCTV
සමාජ මාධ්‍යවල පළවූ ඇතැම් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ කූඩාරම් අඩිය දැඩි හිම පතනය හේතුවෙන් වැසි ගොස් ඇති ආකාරය යි.
වැසුණු මාර්ග ආදිය පාදා දෙමින් සංචාරකයන්ට ආරක්ෂිතව ගමන් කිරීමට මුදාගැනීමේ කණ්ඩායම් සහය වී තිබේ. සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝ දර්ශනයක අදහස් දක්වන මාර්ගෝපදේශකයෙකු පවසන්නේ, වසරේ මේ කාලයේ මෙවැනි හිමපතනයක් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් බව ය.
මෙම ප්‍රදේශය මීටර් 4,900කට වඩා උන්නතාංශයක පිහිටා තිබේ. ගලවා ගැනීමේ කණ්ඩායම් මෙන් ම ප්‍රදේශවාසී පිරිස් ද සංචාරකයින් බේරා ගැනීම සඳහා කටයුතු කරමින් සිටිති.
ප්‍රාදේශීය පාලන ආයතනවලට අනුව, සෙනසුරාදා සිට අධික හිමපතනය හේතුවෙන් ප්‍රදේශයට ප්‍රවේශ වන මාර්ග අවහිර වී තිබේ.
මෙම කාලයේ සාමාන්‍යයෙන් කාලගුණය මෘදු වන අතර අහස ද පැහැදිලි බැවින් ඔක්තෝබර් මාසය එවරස්ට් කන්ද සහ අවට ප්‍රදේශ නැරඹීමට වසරේ හොඳ ම කාලය ලෙස සැලකෙයි.
නමුත්, මේ වසරේ තත්ත්වය උඩු යටිකුරු වූ අතර, සිකුරාදා [ඔක්. 03] ආරම්භ වූ හිමපතනය එවරස්ට් කන්දේ නැගෙනහිර ප්‍රදේශයේ ටිබෙට්හි කර්මා නිම්නය ආශ්‍රිතව තීව්‍ර වීමත් සමග කඳු නගින්නෝ සහ මාර්ගෝපදේශකයෝ එහි කොටු වූහ.
"කඳුවැටිය හරි ම සීතලයි සහ තෙත් වෙලා තිබුණේ. හයිපොතර්මියා [ශරීරයේ උෂ්ණත්වය පහළ යාමෙන් සිදුවන රෝගී තත්ත්වයක්] සැබෑ ම අවදානමක් වෙලා තිබුණා," වොදාන්ග් ප්‍රදේශයෙන් බේරා ගැනුණු කඳු නගින්නෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.
"මේ අවුරුද්දේ කාලගුණය සාමාන්‍ය එකක් නෙවෙයි. මගපෙන්වන්නා කිව්වා එයා ඔක්තෝබර් මාසයේ මේ වගේ කාලගුණයකට මුහුණ දීලා නෑ කියලා. ඒක එක පාරට ම වුණේ."














